ලෝකයේ ස්වභාවික පුදුම 7 ගැන දන්නවද?

මීට කලින්  අපි පුරාණ ලෝකයේ පුදුම හත ගැන ලිපියක් ඔබ වෙත ගෙන ආවා. අද වෙනකොට විවිධ මාතෘකා යටතේ විවිධ ආයතන සහ පුද්ගලයින් විවිධ ක්ෂේත්‍රයන් යටතේ පුදුම හතවල් නම් කරලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ස්වාභාවික ලෝකයේ පුදුම හත ලෙස සැළකෙන ස්වභාවධර්මයේ විශ්මිත නිර්මාණ හතක් පිළිබඳවයි.

පුරාණ ලෝකයේ පුදුම හත ගැන දන්නවද?

 

1. අවුරෝරා බොරීලිස්

 

උතුරු අර්ධගෝලයේ රටවල්වල දකින්නට ලැබෙන මෙම ආලෝක ධාරා නැරඹීම සඳහා ලොව දස දෙසින් සංචාරකයන් රැස්වෙනවා. ආක්ටික් ධ්‍රැවය ආශ්‍රිතව චුම්භක ක්ෂේත්‍ර වල ඇතිවන වෙනස්කම් නිසා මෙම ආලෝක ධාරා අහස මත දිස්වන අතර අභියෝගය වන්නේ එසේ දිස්වීම පුරෝකථනය කළ නොහැකි වීමයි. මේ නිසා බොහෝ සංචාරකයන්ට කෙටි සංචාරයකදී මෙම ආලෝක ධාරා දැකීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

 

2. ද ග්‍රෑන්ඩ් කැන්‍යොන්

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම ප්‍රදේශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොබා දහමෙහි විශ්මිත නිර්මාණයක්. මේ බව වටහා ගැනීමට ඔබට එම කඳු තරණය කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ දකින අයුරින් ඡායාරූපයකින් පවා මෙහි අද්භූත විස්මයජනක ස්වභාවය ඔබට වටහා ගැනීමට පුළුවන්. ඔබ යහපත් සෞඛ්‍ය  තත්ත්වයේ පසුවන්නේ නම් සහ ත්‍රාසජනක ක්‍රීඩා වලට ප්‍රිය කරන අයෙක් නම් මෙම කඳු තරණය කිරීම සඳහා වුවත් එක් වන්නට පුළුවන්.

 

3. පරිකුටින්

මෙක්සිකෝවේ පිහිටා තිබෙන දැනට අක්‍රීය මෙම ගිනි කඳු ශිඛරය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 1952 දී අවසාන වරට විදාරණය වූ ගිනි කන්දේ හැඩ ගැසීම මානව වර්ගයා විසින් සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමට සමත් වීම තවත් විශේෂත්වයක්. මෙම කඳු ශිඛරය මතට යෑම කඳු තරණය  කිරීමෙන් හෝ අසුපිට යෑමෙන් සිදුකරන්න පුළුවන්. යම්තාක් දුරකට විඩාබර ගමනක් වුවත් අවසානයේ දී ගමනාන්තයට ළඟා වීමෙන් පසුව එය සම්පූර්ණයෙන්ම වටිනා අත්දැකීමක් බව ඔබට වටහා ගැනීමට පුළුවන්.

 

4. වික්ටෝරියා ඇල්ල

සිම්බාබ්වේ සහ සැම්බියා දේශ සීමාව හරහා වැටී ඇති මෙම ලෝකප්‍රකට දිය ඇල්ලේ ආරම්භය සිදුවන්නේ සැම්බසි නදියෙනුයි. මේ නිසා දෙරට හරහාම සංචාරකයන්ට මෙම දිය ඇල්ල නැරඹීමට අවස්ථාව ලැබෙනවා. නමුත් මෙහි අති දැවැන්ත ස්වභාවය නිසාම විවිධ සීමා වලදී දිය ඇල්ලේ  විවිධ දර්ශන දැක බලා ගැනීමට පුළුවන්. එසේම ගුවන් මගින් මෙම ඇල්ල නැරඹීම මේ වන විට තවත් ජනප්‍රිය වෙමින් පවතිනවා. 

 

5. එවරස්ට් කන්ද

ගොඩබිම මත පිහිටා තිබෙන උසම කන්ද වන එවරස්ට් කන්ද පිළිබඳව අපි ඕනෑ තරම් අසා තිබෙනවා. මීට වසර කීපයකට පෙර ජයන්ති කුරුඋතුම්පාල එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වුණා. බොහෝ සංචාරකයන් අහසේ සිට එවරස්ට් කන්ද නැරඹීම සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ එය තරණය කිරීම අභියෝගාත්මක දෙයක් වීම නිසයි. ඒ වගේම ඒ අවට ජනතාව එවරස්ට් කන්ද පූජනීයත්වයෙන් සළකනවා. ඔවුන් මේ කන්ද සඳහා සාගර මාතා යන නම භාවිතා කරනවා.

 

6. මහා බාධක පරය 

ලෝකයේ ඇති අති දැවැන්තම කොරල් පරය වන මහා බාධක පරය ඇසුරුකොටගෙන නම සියයක පමණ දූපත් ප්‍රමාණයක් විසිරී තියෙනවා. මීට අමතරව තුන්දහසක පමණ කේවල කොරල් පර සමූහයක්ද මේ සමග එක්වීමෙන් ලෝකයේ ඇති ජෛව විවිධත්වයෙන් අනූන සුවිශාල ජෛව පද්ධතියක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. මේ නිසා මෙම කොරල් පර ආශ්‍රිතව කිමිදීම සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රියයි .කෙසේ නමුත් ලෝකයේ අනෙකුත් කොරල් පර සේම  මහා බාධක පරයත් පරිසර දූෂණයේ තර්ජනයට ලක්ව පවතිනවා. මේ කොරල් පරය රැකගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි වෙහෙසක් ගන්නා බවද කිව යුතුයි.

 

7. රියෝද ජැනයිරෝ වරාය

දැන් ඔබත් සමහර විට කල්පනා කරනවා ඇති වරායක් කොහොමද ස්වාභාවික ලෝකයේ පුදුම හතට එකතු වුණේ කියලා. තියෙන්නේ සරල උත්තරයක්. මේ වරාය ස්වභාවික වරායක්. මේ වරායේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සමුද්‍ර ඛාදනයට ලක්වීම නිසා ඉතිරි වුණු කඳු දකින්නට ලැබීමයි. මේ නිසාම බෝට්ටුවකින් මේ වරාය වටා සංචාරය කිරීමට අමතරව අහසේ සිට මෙම වරාය දෙස නැරඹීමෙන් වෙනස්ම ආකාරයේ දර්ශනයක අත්දැකීමක් ඔබට ලබාගැනීමට පුළුවන්

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *