ජනප්‍රිය පොත්වල ජනප්‍රිය නැති ඉතිරි කොටස්

ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය අපේ රටේ ජනප්‍රියතම තුන් ඈඳුතු නවකතාව. මේ පොත් තුන ලිව්වේ අපේ මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ මහතා වීමත්, ඒ වගේම මේ නවකතා තුනෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා චිත්‍රපටි තුනක් හැදුව නිසාත් අපි මේ පොත් තුන ගැන දන්නවා. ඒ වගේම මේ නවකතා තුනම විවිධ විභාග සඳහා නිර්දේශ ග්‍රන්ථ බවට පත්වෙලා තියෙනවා. ඒත් සමහර කතුවරුන්ගේ ඇතැම් නවකතාවල කොටස් දෙකක් හෝ කීපයක් තිබ්බත් විවිධ හේතු නිසා පළමු කොටස ඇරුණම අනිත් පොත් ජනප්‍රිය වෙලා නෑ. අපි දැන් හොයලා බලමු මේ වගේ ජනප්‍රිය පොත්වල ප්‍රසිද්ධ නැති කොටස් මොනවද කියලා.

 

1. ශිෂ්‍යත්වය (අඹ යහළුවෝ)

Image Source – amazon.co.uk

අඹ යහළුවෝ තරම් අපේ පුංචි කාලෙට සමීප වෙන පොතක් නැතුව ඇති. මොකද කියනවා නම් මඩොල් දූවේ වගේ දූපතකට ගිහින් පදිංචි වෙන්න අපි හැමෝටම බෑ. ඒත් අපි හැමෝටම අඹ යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යයත් අපි නොවරදවා බැලුවා. ඒත් අපි කවුරුවත් හිතුවද? නිමල් පරිවාස භාරයට පත්වුණාට පස්සේ මොකද වුණේ කියලා. ඒ වගේම තාත්තව හිරබාරයට ගැනීමත් එක්කම සුනිල්ගේ පවුලට මොකද වුණේ කියලා. මේ ප්‍රශ්න ගැන අපි හිතුවේ නැති වුණාට ටී.බී  ඉලංගරත්න මහත්තයා හිතලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට එතුමාගේ උත්තර අපිට හම්බ වෙන්නේ “ශිෂ්‍යත්වය” කියන නවකතාව හරහා. නිමල්ට පරිවාස භාරයේදී ලැබෙන ශිෂ්‍යත්වයක් හරහා තමන්ගේ ජීවිතය වගේම සුනිල්ගේ ජීවිතයත් වෙනස් කරන හැටි ගැන ඒ කතාවෙන් කියනවා.

 

2. මනෝ මන්දිර (තුන්මං හන්දිය)

Image Source – leftlibrary.net

මහගමසේකර මහත්තයගේ තුන්මං හන්දිය ජනප්‍රිය නවකතාවක්. නවීනත්වය එක්ක මුහු වෙන්න බැරි වුණු ගැමි කලාකරුවෙකුගේ ඉරණම ඒ නවකතාවෙන් විස්තර කෙරෙනව. තුන් මං හන්දිය චිත්‍රපටියට නැගෙද්දි ජෝ අබේවික්‍රම මේ ගැමි කලාකාරයගේ චරිතය නිරූපණය කරනවා. නවකතාව අවසාන වෙන්නේ නව කතාවේ කතකයා වුණු සිරිසේන තුන්මංහන්දියෙන් කොළඹ එන්නට බස් එකට නැගීමෙන්. සිරිසේන බස් එකේ යද්දි පාඨකයෝ විදිහට අපි නවතිනවා. ඒත් මහගමසේකර සිරිසේනව එතනින් නවත්තන්නෙ නෑ. සිරිසේනට ඊට පස්සේ මුහුණ දෙන්න වුණු ඉරණම ගැන මනෝ මන්දිර තුළින් කතා කරනවා. සිරිසේන මාමා ගිය අඩිපාරේම ගමන් කරලා ජයග්‍රහණයක් ලැබුවද කියන එක ඔබට මනෝ මන්දිර කියවලාම තේරුම් ගන්න පුළුවන්

 

3. බඹා කෙටූ හැටි (ගොළු හදවත)

Image Source – aniwa.lk

කරුණාසේන ජයලත් මහත්තයා දම්මි සුගත් ආදර කතාව විදිහට ගොළු හදවතේ ලියන්නේ තමන්ගෙම ආදර කතාව කියන එක ප්‍රසිද්ධ රහසක්. ගොළු හදවත පස්සේ කාලෙක චිත්‍රපටියකට වගේම ටෙලි නාට්‍යයකටත් නැගෙනවා. ඒත් අනුලා කරුණාතිලක සහ වික්‍රම බෝගොඩ දම්මි සහ සුගත් විදිහට අපිට හැමදාම මතක තියෙන්නේ ගොළු හදවත චිත්‍රපටියේ විශිෂ්ටත්වය නිසා. සුගත්ට අන්තිමට ඉතිරි වුණේ පරාජයක්ම විතරයි නේද කියලා ගොළු හදවත කියවලා ඉවර වෙද්දි අපි හිතනවා. ඒත් කරුණාසේන ජයලත් මහත්තයා ඒ ගැන හිතන්නේ වෙනමම විදිහකට. ඒ ගැන දැන ගන්නනම් අපිට ගොළු හදවතේ දෙවෙනි කොටස වුණු බඹා කෙටූ හැටි කියවන්නම වෙනවා. නවකතාවේ නමෙන්ම අපිට සුගත්ගේ ඉරණම ගැන අදහසක් ගන්න පුළුවන්. බඹා කෙටූ හැටි ඇසුරිනුත් චිත්‍රපටියක් හැදිලා තියෙනවා… ඒ චිත්‍රපටියේ දම්මි විදිහට මාලනී ෆොන්සේකාත් සුගත් විදිහට ධර්මසිරි බණ්ඩාරනායකත් රඟපානවා.

 

4. හතුරු හිතක් සහ පිරුණු හදක් (ගැහැනු ළමයි)

 Image Source – kathapothak.blogspot.com/goodreads.com

කරුණාසේන ජයලත් මහත්තයගේ ගැහැනු ළමයි පොතත් ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනප්‍රිය පොතක්. කුසුම්, පද්මිණි සහ නිමල් ගැන අපි එකෙක්කෙනාට තියෙන්නේ විවිධ කියවීම්. ගැහැනු ළමයි නවකතාවත් චිත්‍රපටියකට නැගුණා වගේම අවස්ථා දෙකකදී ටෙලි නාට්‍යය විදිහටත් විකාශනය වුණා. ඒත් ගැහැනු ළමයි පොතටත් සම්බන්ධ වෙන තවත් පොත් දෙකක් තියෙනවා. එකක් හතුරු හිතක්. අනෙක  පිරුණු හදක්. හතුරු හිතක් ලියවිලා තියෙන්නේ නිමල්ගේ දෘෂ්ටිකෝණයෙන්, ඒ වගේම පිරුණු හදක් ලියවිලා තියෙන්නේ කුසුම්ගේ දෘෂ්ටිකෝණයෙන්. ඇතැම් රසිකයන් නම් පිරුණු හදක් පොතට එතරම් ප්‍රිය කරන්නේ නෑ. එයාලගේ තර්කය වෙන්නේ හතුරු හිතක් පමණක් ගැහැනු ළමයින්ට ඌන පූරණයක් විදිහට ඇති කියලා.

 

5. අග්නි චක්‍ර (තඹර විල)

Image Source – reviewpdfbook.com

කැත්ලීන් ජයවර්ධන මහත්මිය රචනා කරපු තඹරවිල නවකතාව ජනප්‍රිය නවකතාවක් වුණා වගේම විවිධ සම්මාන උලෙළවල අවසන් වටය නියෝජනය කරන්නත් සමත් වුණා. මේ නවකතාව ලියවෙන්නේ සුප්‍රකට මහාචාර්යවරයකුගේ බිරිඳක් බවට පත්වෙන තරුණියකට ජීවිතයේ මුහුණ දෙන්න වෙන ගැටලු සම්බන්ධයෙන්. මේ නවකතාවෙම දෙවෙනි කොටස විදිහට ඒ මහාචාර්යවරයාගේ දෘෂ්ටිකෝණයෙන් කැත්ලීන් ජයවර්ධන මහත්මිය “අග්නි චක්‍ර” ලියනවා. නමුත් මේ පොත නම් පළවෙනි පොත තරම් ජනප්‍රිය වෙන්නේ නෑ. ඒත් තඹරවිල නවකතාවට ප්‍රිය කෙනෙක් නම් අග්නි චක්‍ර හොයාගෙන කියෙව්වට පාඩු නෑ.

 

6. බලදේවගේ ලෝකය (යශෝරාවය)

Image Source – mybookclub4ever.blogspot.com

යශෝරාවය සෝමවීර සේනානායක මහත්තයා ලියපු ජනප්‍රියතම නවකතාව කියලා කිව්වොත් ඔයාලා බොහෝ දෙනෙක් ඒ කතාවට එකඟ වේවි. ඒ වගේම යශෝරාවය ටෙලිනාට්‍යයක් විදිහටත් අපිට සමීප වුණා. ඒත් යශෝරාවය නවකතාවටත් දෙවෙනි කොටසක් තියෙනවා කියලා ඔයාලා බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ “බලදේවගේ ලෝකය” නමින්. යශෝරාවය ටෙලිනාට්‍යයේ දෙවෙනි කොටසට පදනම් වුණේ  “බලදේවගේ ලෝකය” ඒත් ඒ ටෙලිනාට්‍යය යශෝරාවය 2 කියලා නම් කරලා තිබ්බ නිසා රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ඒ  නවකතාව ගැන දැනුනේ නෑ.

 

7. අබිරහස් දූපතේ නිධානය (මඩොල් දූව)

Image Source – fragmenteyes.blogspot.com

කලින් අවස්ථාවල අපි කතා කළේ එකම ලේඛකයෙකු විසින් ලියන ලද පොත්වල කොටස් ගැන. ඒත් දැන් කියන්න යන කතාව වෙනස්. ඔයාලා නිකමටවත් හිතුවද මඩොල් දූවට දෙවෙනි කොටසක් තියෙනවා කියලා. හැබැයි මේ දෙවෙනි කොටස ලියන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි, අපි දන්න කියන චන්දන මෙන්ඩිස් මහත්තයා. ඒ “අබිරහස් දූපතේ නිධානය” කියන නමින්. මේ නිර්මාණය ඔහු කරන්නේ හැබැයි හිතුමතේ නෙමෙයි. ඒ සඳහා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ අවසරය අරගෙන.

 

මේ වගේ ඔබ දන්න ජනප්‍රිය පොත්වල ජනප්‍රිය නොවූ කොටස් ගැන Comment එකකින් අපිට කියන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *