ඉපදුණොත් අපි හැමෝටම උරුම එක දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි මරණය. හරි, එච්චර දුර යන්න ඕන නෑ. ඉපදුණොත් අපි ඕනම කෙනෙක් තරුණ වියට පා තබනවා, වැඩිහිටි වෙනවා, ඒ වගේම වයසට යනවා. අන්න ඒකත් ඉපදීමේ තියෙන උරුමයක් තමයි. දැන් වයසට යන එක අවුලක් ද? සමහරුන්ට නම් ඔය වයස අවුරුදු 30 විතර පැන්නට පස්සේ උපන් දිනයක් ආවහමත් සතුටකට වඩා තියෙන්නේ දුකක්. හද්දෙයියනේ මම තව අවුරුද්දකින් වයසට ගියා නේද, තව අවුරුදු දහයකින් මට හතළිහයි නේද, ඊටත් දහයකින් පණහයි, ඊටත් දහයකින් හැටයි නේද. ඒ කියන්නේ මම නාකියි නේද කියලා වැලපෙන ඩයල් අපි ඕන තරම් දැකලා තියෙනවනේ.
හරි, ජීවිතේ කියන්නේම පොදුවේ දුකක් කියලා බුදුහාමුදුරුවොම කියලා තියෙනවා. ඒක හරි. හැබැයි එහෙමයි කියලා, අපි ජීවිතේ දුකක් විදියටම ගන්න ඕනැද? ඒ කියන්නේ, අපිට බැරිද ජීවිතේ කියන්නේ මුල ඉඳන් අගට විඳින්න පුලුවන් දෙයක් විදියට ගන්න? ඒ කියන්නේ මහළු වයස එහෙම නැතිනම් වයසට යෑම කියන්නෙත් විඳින්න පුලුවන් දෙයක්. හරි, ලෙඩදුක්, අබල දුබල වීම් වගේ ප්‍රශ්නත් මේ වයස්ගත වීමත් එක්ක එනවා තමයි. හැබැයි ඒ ප්‍රශ්නත් කලින් හිතලා ප්ලෑන් කරලා සෑහෙන්න දුරට අවම කරගන්න දැන් කාලේ පුලුවන්. ඇයි දැකලා නැද්ද එක්සයිස් කරලා, ජීවිතේ ෆන් එක අරගෙන, කොල්ලො වගේ කෙල්ලො වගේ ඉන්න සීයලා ආච්චිලා.
දැන් උඩ කියපු විදියට වයසට යෑම කියන්නෙත් විඳින්න පුලුවන් දෙයක් කියලා අපි ආයෙමත් කියනවා. එහෙම කියන්න හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ, වයසට යෑමේ හොඳ දේවලුත් තියෙනවා. එහෙමනම් අන්න ඒ වයසට යෑමේ හොඳ හේතු කාරණා කියවලා බලලා කියන්න, වයස්ගත වෙනවා කියන්නේ ඇත්තටම වින්දනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයිද කියලා!
01. දන්න දේවල් භාවිතයේ හැකියාව
දැන් අපි ළමා කාලෙදී දේවල් ඉගෙන ගන්නවා. තරුණ කාලේ වෙනකොටත් දේවල් ඉගෙන ගන්න ගමන්, වෘත්තිය ජීවිතේකට එහෙම පය තියනවා. එතකොට අපිට ඉගෙන ගත්තු දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබුණට, අපිට තරුණ කාලෙදී ප්‍රවීණත්වය නැහැනේ. හැබැයි අපි වයස්ගත වෙනකොට, අපිට ඉගෙන ගත්තු දේවල් භාවිතා කිරීමේ හොඳ හැකියාවක්, ප්‍රවීණත්වයක් ලැබෙනවා. ඒක තවත් වැඩිදියුණු වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. ක්‍රිස්ටලයිස්ඩ් ඉන්ටෙලිජන්ස් (crystalized intelligence) කියලා එකක් අහලා තියෙනවද? ඒ කියන්නේ කලින් ඉගෙනගත්තු දේවල් සහ අත්දැකීම් එක්ක ලැබෙන ඥාණවන්ත භාවය. අන්න ඒක, හරියට වයසට ගියපු කෙනෙක් ගාව තියෙනවා. ඒ නිසාම, වයස්ගත කෙනෙක් දිගටම රැකියාවක හරි මොකක් හරි ක්ෂේත්‍රයක හරි නිරත වෙලා ඉන්නවා නම්, එයාට තමන්ගේ ප්‍රවීණත්වය නිසාම එතන වැඩි දෙයක් කරන්නත් ඉඩක් ලැබෙනවා. වැඩි සැලකිල්ලකුත් ලැබෙනවා.
02. නයිස් අංකල්, නයිස් ආන්ටි
සාමාන්‍යයෙන් වයස්ගත වෙන අයව අනික් අය අවබෝධ කරගන්න විධි දෙකක් තියෙනවා. එකක් තමයි කේන්ති යන, කොයි වෙලෙත් බුම්මගෙන ඉන්න අංකල් කෙනෙක් නැතිනම් ඇන්ටි කෙනෙක් විදියට. එහෙම නැතිනම් “හානේ හරිම ස්වීට්, ඩාලින්, ජොලිගුඩ්” ආන්ටි කෙනෙක් නැතිනම් අංකල් කෙනෙක් විදියට. දැන් අපි මුලින් තෝරගන්න ඕන අපිට ඕන ඔය දෙවිදියෙන් කොයි විදියේ වයසක මනුස්සයෙක් වෙන්නද කියලා. ඒක ඉතින් තෝරාගැනීම විතරක් නෙවෙයි, අපේ ආකල්ප, අපේ ජීවන තෝරාගැනීම් වගේ හැම දෙයක් එක්කම තමයි එන්නේ. හරි, කොහොමහරි, අපි ඔය තෝරාගැනීම් හරියට කරලා, අපේ ආකල්ප හදාගෙන හැමෝම ආදරේ වෙන විදියේ නයිස් අංකල් කෙනෙක්, නයිස් ආන්ටි කෙනෙක් වෙන එකේ තියෙන ප්‍රධානතම හොඳ තමයි, අපිට සමාජයේ අනික් අයත් එක්ක සතුටින් ඉන්න ලැබෙන හැකියාව. අපිට පහළ පරම්පරාවල උදවිය අපිට ආදරේ කිරීම සහ අපිටත් ඒ ආදරේ පෙරළා ලබාදෙන්න පුලුවන් වීම. ඒක ජීවිතේ ලස්සන කරන දෙයක්.
03. විශේෂ පහසුකම් සහ සැලකුම්
ලෝකේ ගොඩක් සමාජයන් වල වැඩිහිටි අයට, ඒ කියන්නේ වයස්ගත අයට සෑහෙන්න ගරුත්වයකින් යුතුව සැලකෙනවා. ඒ වගේම, වයස්ගත අයට විශේෂ පහසුකම් සහ සැලකීම් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදියට ඕනම බැංකුවක තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්. ඒ ගිණුම් වලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ප්‍රතිලාභ හිමිවෙනවා. එතකොට ඔය සමහර සේවා සහ භාණ්ඩ සපයන තැන් වල තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ප්‍රතිලාභ ලබාදීම්. ඔන්න ඔය වගේ දේවල් වයස්ගත වෙනකොට ලැබෙන බෝනස් වගේ!
04. දෙවෙනි වෘත්තියක්
සාමාන්‍යයෙන් වයස්ගත වෙනවා කියන්නේ විශ්‍රාම යන්න වයස හරි කියලනේ ගොඩක් අය හිතන්නේ. ඒක වැරදි නෑ. ජීවිත කාලයක් වැඩ කරලා විවේක ගන්න තියෙන්නේ ජීවිතේ සැඳෑ සමයේ තමයි. හැබැයි, සමහරු ඉන්නව, ඒ අය වයස්ගත වුණත් වැඩ කරන්න කැමතියි. එහෙම අයට පුලුවන්, දෙවෙනි වෘත්තියක් ජීවිතේ වයස්ගත කාලෙදී පටන් ගන්න. ඒ කියන්නේ අට-පහ ජොබ් එකක් නෙවෙයි. ඊට වඩා තමන්ට සතුට ලබාදෙන නව වෘත්තියක්. උදාහරණයක් විදියට පොත් ලිවීම වෙන්න පුලුවන්. එහෙම නැතිනම් ගෙදර හදපු සබන් විකුණන බිස්නස් එකක් වෙන්න පුලුවන්. ඒ වගේ තමන්ට සතුට සහ විනෝදය ගෙන දෙන ඕනම දෙවෙනි වෘත්තියක්. අපි පටන් ගන්නකොටත් කිව්වනේ, වයස්ගත වීමත් එක්ක අර ක්‍රිස්ටලයිස්ඩ් ඉන්ටෙලිජන්ස් කියන එකත් ඇතිවෙනවා කියලා. ආන්න ඒකත් මේ දෙවෙනි වෘත්තිය ආරම්භ කරන්න ප්‍රයෝජනවත්. ඒ වගේම, අර මිනිස්සු කලබලේ දුවන රැට් රේස් එකෙන් මිදිලා, තමන්ට ආස කරන දෙයක්, ආස කරන විදියට කරන්න ලැබෙන එකත්, වයස්ගත වීමේ ප්‍රයෝජනයක්.
05. බකට් ලිස්ට්
සාමාන්‍යයෙන් අපේ සිහින සෑබෑ කරගන්න වයස්ගත වෙනකල් ඉන්න අවශ්‍ය නෑ තමයි. හැබැයි හිතන්න. මධ්‍යම පංතියේ මනුස්සයෙක්ට, මේ තියෙන රටේ තත්වය, ආර්ථිකය එක්ක පුලුවන්ද තමන් ආසම රටක ඇවිදින්න යන්න වගේ අපේ බකට් ලිස්ට් එකේ තියෙන සිහින සැබෑ කරගන්න? කවදාහරි ඒ සිහින සැබෑ කරගන්න බැරි නෑ. අන්න ඒකත් වයස්ගත වීමේ තියෙන වාසියක්. අපි තරුණ සහ වැඩිමහළු කාලේ වෙහෙස මහන්සි වෙලා, ස්මාට් විදියට හිතලා වෘත්තිය ජීවිතය දියුණු කරගන්නවා කියන්නෙම, වයස්ගත වෙනකොට අපිට ස්ථාවරත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ ඉතින් ඔය දරුවන් දීග තලග දීම වගේ සමාජීය යුතුකම් එහෙමත් ඉවර කරන්න තියෙනවා. ඒවත් ඉවර කළා කියමුකෝ. අන්න එතකොට පුලුවන් තමන්ගේ ජීවිතේ වයස්ගත කාලේ තමන්ගේ සිහින සැබෑ කරගන්න පටන් ගන්න. ඒකට එතකොට ආර්ථික ශක්තියත් තියෙනවා, කාලයත් තියෙනවා.
06. බෙටර් සෙක්ස්
සාමාන්‍යයෙන් වයස්ගත වීම සහ සෙක්ස් සම්බන්ධයෙන් සමාජයේ තියෙන මතය වෙන්නේ, වයස්ගත වෙනකොට සෙක්ස් කරන්න තියෙන හැකියාව දුර්වල වෙලා යනවාය, තරුණ කාලේ වගේ සෙක්ස් කරන්න තියෙන ආසාවත් නැතිවෙලා යනවාය, ඒ නිසා කරගන්න සෙක්ස් එකක් තරුණ කාලෙදි තමයිය කියන එකනේ. හැබැයි පර්යේෂකයෝ කියනවා, හරි විදියට වයස්ගත වෙනවා නම් ඇත්තටම වෙන්නේ ඕකේ අනික් පැත්ත කියන එක. ඒ කියන්නේ වයස්ගත වෙනකොට, වඩාත් වැඩි ලිංගික තෘප්තියක් ලබාගන්න පුලුවන් වෙනවා කියන එක. මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කරලා හොයාගෙන තියෙනවාලු, වයස් අවුරුදු 40 ට වැඩි කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වයසත් එක්ක වැඩි වෙනවා කියලා. හරි, ඒක පැත්තකින් තිබ්බත්, වයසට යනකොට තවදුරටත් සෙක්ස් කියන්නේ එක්ස්පෙරිමන්ට් කරමින් ඉගෙනගන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ගේ ලිංගිකත්වය ගැන වයස්ගත කෙනෙක් හොඳටම දන්නවා වගේම, තව කෙනෙක්ව ලිංගිකව තෘප්තිමත් කරන ආට් එක ගැනත් වයස්ගත කෙනෙක් හොඳට දන්නවා. ඉතින් මේක වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ, නේද?
07. ලෝක දැක්මක්
හරි විදියට මනුස්සයෙක් වයසට යනවා කියන්නෙම, ඒ මනුස්සයා සෑහෙන්න ලෝකේ දකින්න, ලෝකේ වෙනස් වෙන විදිය දකින්න, පරම්පරා පහුවෙන විදිය දකින්න වාසනාවන්ත වෙලා තියෙනවා කියන එක තමයි. මෙන්න මේ ජීවත් වීමත් එක්ක ලැබෙන ඥාණය සුළු පටු දෙයක් නෙවෙයි. ඒ ඥාණයත් එක්ක ලැබෙනවා බොහොම අපූරු දාර්ශනිකත්වයක් සහ ලෝක දැක්මක්. විශ්වාස නැද්ද? ඕනම වයස්ගත මනුස්සයෙක්ගෙන් අහලා බලන්න පොදුවේ ඕන කෙනෙක් දන්න ලෝකේ මොකක් හරි දෙයක් ගැන. ඒ ගැන සමහර වෙලාවට එයාට තියෙන්නේ අපිට එකඟ වෙන්න පුලුවන් මතයක් වෙන්න පුලුවන්, අපිට එකඟ වෙන්න බැරි මතයක් වෙන්නත් පුලුවන්. හැබැයි ඒ කෝක වෙතත්, ඒ ගැන එයා කතා කරනකොට අපිට දැනෙනවා එයා සෑහෙන්න ලෝකේ වෙනස්කම් දැකලා තියෙනවා කියන එක. ආන්න ඒ ලෝක දැක්ම නිසාම මිනිස්සු වයසට ගියපු කෙනෙක්ගේ අදහස් වලට ගරු කරනවා. එයාගේ අදහස් විමසනවා. ඒක ඕනම සමාජයක දකින්න ලැබෙන දෙයක්. ඒ ඕනම සමාජයක, ඕනම ප්‍රජාවක ලැබෙන වැදගත් තැනත් වයස්ගත වීමේ වාසියක්.
දැන් මේ කරුණු කාරණා හැම එකක්ම දිහා බලනකොට, හිතෙන්නෙ නැද්ද ඇත්තටම වයසට යනවා කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි කියලා? ඊට වඩා, හරියට තමන්ගේ ජීවිතේ ඵලදායීව, සෞඛ්‍ය සම්පන්නව ගත කරන්න සහ ජීවිතෙන් ලබාගන්න පුලුවන් උපරිම දේ ලබාගනිමින් වයසට යන්න පුලුවන් නම්, වයස්ගත කාලයත් උපරිමයෙන් ගත කරලා සතුටින් ජීවිතේ අවසාන කරන්න පුලුවන් කියලා හිතෙන්නේ නැද්ද?
Leave a Reply