ඇෆ්ඝනිස්ථානය දකුණු ආසියාවට අයිති රටක්. පාකිස්තානයට යාබද ඇෆ්ඝනිස්ථානය රජයක් විදිහට පිළිගන්න මට්ටමට ආවේ මෑතකදී. 2001ට පෙර එරට තිබුණ තලේබාන් පාලනය හමාර කරන්න නේටෝ හමුදාවන්ට හැකි වුණා. ඒත් තලේබාන්වරුන්ගේ අණසක සම්පූර්ණයෙන් ඉවත් කරන්න නම් ඇමරිකානු, නේටෝ හමුදාවන්ට බැරි වුණා. ඉතින් දැන් මොකද ඇෆ්ඝනිස්ථානෙට වෙලා තියෙන්නෙ කියලා අපි විස්තර ටිකක් බලමු.
1. 2001 සැප්තැම්බර් 11
2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි යුගලයට සහ ඇමරිකාවේ පෙන්ටගනයට ප්‍රහාර එල්ල වුණා. ඒ ප්‍රහාර වලට සැක කළේ අල්ක්වයිදා සංවිධානය. ඒ එක්ක ඇෆ්ඝනිස්ථානයේ අල්ක්වයිදා සංවිධානය මැඩ පවත්වන්න මෙහෙයුම් පටන් ගත්තා. 2001 වර්ෂයේ පටන් මේ දක්වා ඇෆ්ඝනිස්ථානයට ඇමරිකානු හමුදා බලපෑම් තියෙනවා. දැන් ඇමරිකාවට ඒක ඇතිවෙලා. එයාල කියන විදිහට 2001 සැප්තැම්බර් ප්‍රහාරයේ වැරදිකරුවන්ට ඔවුන් දැන් ඇති පමණ දඬුවම් දීලා ඉවරයි. ඒ නිසා දැන් ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයෙන් යන්නයි හදන්නේ. මේ සැප්තැම්බර් 11 ප්‍රහාරය කියන්නේ කිසිසේත් ඇමරිකානුවන් අපේක්ෂා කළ ප්‍රහාරයක් නෙමෙයි. ඒ නිසා ලොව පුරා ඉස්ලාමීය සටන්කාමීන්ට ඇමරිකානු ප්‍රමුඛ බටහිරින් දැඩි පීඩනයක් එල්ල වුණා.
2. ඇමරිකන් භටයන් කොපමණ ඉන්නවාද?
යුද්ධය පැවති මුල්කාලයේදී ඇමරිකානු නේටෝ හමුදාවන් වැඩිපුර ඇෆ්ඝනිස්ථානයේ හිටියා. ඒත් පසුකාලීනව ආරක්ෂක කාර්යයන්ගෙන් ටිකෙන් ටික ඇමරිකානු නේටෝ හමුදා ඉවත් වෙලා ඒ වගකීම් ඇෆ්ඝනිස්ථාන භටයින්ටම ලබා දුන්නා. දැනට ඇමරිකානු භටයින් 2500ක් වත් ඇෆ්ඝනිස්ථානයේ සිටින බව ආරංචි මාර්ග කියනවා. කොහොම වුණත් ඒ හැමෝම වගේ මේ වසරේ ඉදිරි මාස කිහිපය ඇතුළත ඉවත් කරගන්නට තමයි ඇමරිකාව සැලසුම් කරලා තියෙන්නේ. යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් තිබුණත් ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කරගන්නා තීරණය ස්ථිර බව තමයි ඇමරිකාවෙන් ප්‍රකාශ වෙන්නේ.
3. තලේබාන් සහ ඇෆ්ඝන් රජය
ඇෆ්ඝනිස්ථානය තුළ සම්පූර්ණ බලය රජය පාර්ශවයට ගන්න ඇමරිකානු හමුදා යම් කලකදී සමත් වුණත් එය දිගටම තබාගන්නට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඇෆ්ඝනිස්ථානය තුළ මේ දැඩි මතධාරී මුස්ලිම් ප්‍රජාවට තවමත් මහජන බලය තිබෙනවා. ඒ නිසා මිනිසුන් අතරින් මතුවන ඒ තලේබාන් පිරිසට දැන් ඇෆ්ඝනිස්ථානයෙන් කොටසක් හිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම සිතියම ගත්තොත් එයින් කොටසක් තලේබාන් සංවිධානය අතිනුත් අනෙක් කොටස ඇෆ්ඝන් රජය මගිනුත් තමයි පාලනය වෙන්නේ. ඉතින් මේ දෙකොටස අතර හොඳ හිත වර්ධනය කරගන්න පසුගිය කාලයේ සාකච්ඡා පැවැත්වුණා.
4. තලේබාන් – ඇමරිකා සාකච්ඡා
තලේබාන් සංවිධානය යළි හිස එසවීමත් සමග 2016 දී ඔබාමා පාලනය ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු බලය ඉවත් කරන බව පැවසුවත් ඔහු විසින් පැවති තලේබාන් කළබල නිසා ඇමරිකානු යුධ බලය ඇෆ්ඝනිස්ථානයේ වැඩි කළා. 2016 දී ඇමරිකානු භටයින් 8400ක් ඇෆ්ඝනිස්ථානයේ හිටියා. ඒත් පසුකාලීනව ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය තලේබාන් සංවිධානය සාකච්ඡා මේසයට ගන්නට වෙහෙසුනා. ඇමරිකාව බලාපොරොත්තු වුණේ තලේබාන් සහ දැනට පවතින රජය අතර අතරමැද තත්ත්වයක්. කෙසේ වෙතත් ඒ සාකච්ඡා 2020 පෙබරවාරි කටාර් වල දෝහා නුවරදී පැවැත්වුණත් ඒවා සම්පූර්ණයෙන් සාර්ථක වුණේ නැහැ. ඒ එක්කම ලොකු පරිමාණ ගැටුම් අඩු වුණත් තැනින් තැන බෝම්බ පිපිරීම් වාර්තා වුණා.
5. ඇෆ්ඝනිස්ථානය ආපසු හැරෙයිද?
2001ට පෙර ඇෆ්ඝනිස්ථානයේ මූලික බලය තිබුණේ තලේබාන් සංවිධායට. ඔවුන් ගෑණු දරුවන්ට පාසැල තහනම් කළා. දැඩි මතධාරී ඉස්ලාමීය නිති නිසා ඇෆ්ගනිස්ථානයේ ජනතාව හිටියේ දැඩි පීඩනයක. එහෙත් ඒ ආගමික මතවාද වලට පක්ෂ පිරිසක්ද ඇෆ්ඝනිස්ථානයේ තවමත් ජීවත් වෙනවා. කෙසේ වෙතත් අතරමැදි පාලනය කාලයේ එදා නොතිබූ සමාජ නිදහසක් ඇෆ්ඝනිස්ථානයට ලැබිලා තියෙනවා. මානව හිමිකම්, අධ්‍යාපනය, සංවර්ධනය පැත්තෙන් ලොකු වෙනසක් වෙලා නැතත් යම් නැම්මකට ඇෆ්ඝනිස්ථානය ආවා. දැන් නැවතත් තලේබාන් සංවිධාය බලවත් වුණොත් ඒ ලැබුණ ටිකත් නැතිවෙයි කියලා ඇෆ්ඝනිස්ථානයේ සිටින ජනයා සහ සංවිධාන බිය පළ කරලා තියෙනවා.
6. පිටරටට පහරදීම නැවතුව තලේබාන්
තලේබාන් සංවිධානය එක්ක ඇමෙරිකාව පවත්වපු සාකච්ඡා වලදි තලේබාන් සංවිධානය විදෙස් හමුදාවන්ට පහර නොදීමේ එකඟතාවයට ගන්න ඇමරිකාව සමත් වුණා. ඒ එක්ක ඇමරිකානු නේටෝ හමුදා 2021 වෙද්දි සිය මෙහෙයුම් නැවැත්තුවා වගේම තලේබාන් හමුදාත් සිය ප්‍රහාර අමරිකානු නේටෝ හමුදාවන්ට එල්ල කළේ නැහැ. ඒත් තලේබාන් සංවිධානයේ සුපුරුදු බෝම්බ පිපිරීම් තැන තැන වාර්තා වුණා. ඒ වගේම රජයේ පාර්ශවය සමග ගැටුම් නවත්වන්නත් තලේබාන්වරු පෙළඹුණේ නැහැ. තලේබාන්වරු කියන විදිහට ඇමරිකානු හමුදා ඉවත් කරගන්නා මේ කාලේදී ඔවුන් රජයේ හමුදාවන්ට එරෙහි ප්‍රහාර දැඩි කරන්නට අදහස් කරගෙන ඉන්නවා.
7. සිවිල් යුද්ධයක අවදානම
නේටෝ හමුදාවන් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීම දැන් ස්ථිර වෙලා ඉවරයි. ඒත් ඇෆ්ඝන් අර්බුදයට, ඒ රට තුළ අර්බුද වලට තවම විසඳුම් නැහැ. දැන් ඒ රටේ යම් පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. පසුගිය කාලේ ඇෆ්ඝනිස්ථානය ක්‍රිකට් අතිනුත් සෑහෙන ඉදිරියට ආපු රටක් වුණා. ඒ වගේම තාක්ෂණය පැත්තෙනුත් ඇෆ්ඝන් සිසුන් ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා. නැවතත් තලේබාන් කළු යුගයට යන්න වෙයිද කියලා සැක සංකා ඇෆ්ඝන් තරුණයින්ගේ තියෙනවා. කොහොම වුණත් විවිධ රටවල විවිධ කෙනෙහිලිකම් වලට ලක්වුණ ඇෆ්ඝනිස්ථානය ඒ රට නෑයින් ගිය පසු නැවතත් නවතින්නේ පෙර තිබූ ගැටුම්කාරී තැන කියන එක නම් බොහෝදුරට පැහැදිළියි.
කළාපය විදිහට ලංකාවටත් ඇෆ්ඝනිස්ථානයේ යම් බලපෑමක් තියෙනවා. ඒත් ලෝක ත්‍රස්තවාදයේ කඹ අදින තිප්පලක් වුණ ඇෆ්ඝනිස්ථානය ගැන වැඩිය කතාබහක් නම් කළාපීය සාකච්ඡා තුළ මතු වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ යුද සහ අන්තවාදී ගිනි දැල් අතර දිවිගෙවපු ජනතාවට ඇමරිකානු හමුදා මගින් පාලනය කළ පාලනය සැනසීමක් ගෙන දුන්නාද එසේ නැතිනම් එය ඔවුන්ට බාධාවක් වුණාද කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට විදෙස් මැදිහත් වීම් එන්නේ ඒ විදෙස් රටවල උවමනා එපාකම් පිරිමසාගන්න පමණයි කියන එකනම් මේ සිදුවීමෙන් හොඳටම පැහැදිළියි.
Leave a Reply