මෙවර ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු හොඳම විදේශීය චිත්‍රපට ගැන දැනගනිමු

අපි මීට පෙ​ර ලිපියකින් මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තියෙන ඔස්කාර් සම්මාන උ​ළෙලේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වී තිබෙ​න හොඳම චිත්‍රපට දහය ගැන කතා කළා. අද අපි කතා කරන්න යන්​නේ මෙවර ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු හොඳම විදේශීය චිත්‍රපට පහ ගැනයි. 

1. Drive My Car (Japan) 

Drive My Car (Japan)

“Drive My Car” කියන්නේ ඇත්තටම ගොඩක් විශිෂ්ට සිනමා නිර්මාණයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රයිසුකේ හමගුචි (Ryusuke Hamaguchi) විසින්. ඇත්තටම වැඩිය කතා බහට ලක් නොවුණු ජපන් අධ්‍යක්ෂකවරයෙක් තමයි ඔහු. මේ චිත්‍රපට කතා​වට පාදක කරගෙන තියෙන්​නේ ලෝකයේම ආදරයට ලක් වුණු ජපන් ලේ​ඛකයෙක් වන හරුකි මුරකාමිගේ “Men without Women” කෙටිකතා සංග්‍රහයේ එන මෙනමින්​ම යුක්ත වුණු කෙටිකතාවයි. ඉතින් ඒ වගේමයි මේ චිත්‍රපට​ය මෙවර ඔස්කාර් සම්මාන උළෙ​ලේ හොඳම චිත්‍රපටය​ටත් නිර්දේශ වුණා. මැදිවියේ වැන්දඹු පුරුෂයෙක් සහ ලාබා​ල තරුණියක් අතර ඇතිවන අපූරු සම්බන්ධතාවයක් තමයි මේ චිත්‍රපට කතාවට පාදක කරගෙන තියෙන්නේ.

2. Flee (Denmark) 

Flee (Denmark)

මේක ඩෙන්මාර්ක චිත්‍රපටයක්. මේ චිත්‍රපට​ය අධ්‍යක්ෂණය කරන්නේ ​ජොනාස් පොහර් රස්මුසෙන් (Jonas Poher Rasmussen) විසින්. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු ඇනිමේෂන් චිත්‍රපටයක්. ඇෆ්ඝනිස්ථානයේ සිට ඩෙන්මාර්කයට සංක්‍රමණය වන සරණාගතයෙක් ව​න අමීන්ට මුහුණ දෙන්නට වෙන සංවේදී සිදුවීමක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. තමන්ගේ පෙම්වතා සමඟ විවාහ වෙන්න​ට ආසන්නයේ සිටින අමීන්ට තමන් විසි වසරක් පමණ තිස්සේ සඟවාගෙන සිටින රහසක් සමග ගනුදෙනු කරන්න සිද්ද වීම සහ ඔහු එයට මුහුණ දෙන ආකාරය තමයි මේ චිත්‍රපටයෙන් අපිට නරඹන්න ලැබෙන්නේ.  

ඉතින් ඇනිමේශන් නිර්මාණයක් කියලා මේ චිත්‍රපටය නරඹන එ​ක අතහැරියොත් ඇත්තටම ලොකුම ලොකු පාඩුවක්. හැමෝට​ම අනිවාර්යයෙන්ම නරඹන්න කියල අපි ආරාධනා කරනවා.

3. The Hand of God (Italy) 

The Hand of God (Italy)

“The Hand of God” කියන නම අහපු ගමන්ම ඔයාලගේ ඔළුවට එනවා ඇති එක්තරා ලෝක පූජිත ක්‍රීඩකයෙක්ගේ නමක්. මේ “The Hand of God” කියන්නේ ශ්‍රේෂ්ඨතම ආර්ජන්ටිනානු පාපන්දු ක්‍රීඩකයෙක් වන දියේගෝ මැරඩෝනා ලබපු විරුදාවලි නාමයක්. 1986 ලෝක කුසලානය අතරතුර ඔහු වාර්තා කරපු සුවිශේෂී ගෝලයක් නිසයි මේ අමුතුම නම ඔහු ලැබුවේ. චිත්‍රපටයේ නමේ කතාව ඒක වුණාට මේක මැරඩෝනාගේ ජීවිතය අළලා නිර්මාණය කළ කතාවක්වත් අඩුම තරමේ ක්‍රීඩා චිත්‍රපටයක්වත් නෙමෙයි. ඉතින් ඇත්තටම මේක කාගේ කතාවද දන්නවද? මේක මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු පාවුලෝ සොරන්ටිනෝ (Paolo Sorrentino) අධ්‍යක්ෂකවරයාගෙම යොවුන් විය ගැන හැදුණු (අර්ධ සත්‍ය) කතාවක් (වයස 17දී ඉතාම ඛේදජනක සිදුවීමකට මුහුණ දෙන සොරන්ටිනෝගේ ජීවිතය ගැලවෙන්නේ අපි ඉහත කියපු පාපන්දු ශ්‍රේෂ්ඨයා නිසයි). ඉතාලි භාෂාවෙන් නිර්මාණය කරපු විශිෂ්ට “Coming of Age” ශානරයේ නිර්මාණයක් විදියට අපිට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 

4. Lunana: A Yak in the Classroom (Bhutan) 

Lunana: A Yak in the Classroom (Bhutan)

ගොඩක් අය භූතානය හඳුන්වන්නේ ලෝකයේ සතුටින්ම ඉන්න මිනිසුන් ඉන්න රට විදියට. ඔබ භූතානයට ගිහින් නැති කෙනෙක් වුණත්, අපි භූතානය ගැන පළකළ පහත ලිපිය කියවා තියනවානම් මේ පුංචි, අපූරු රට බලන්න පොඩි හෝ ආසාවක් ඇතිවෙන්න පුළුවන්.

භූතානය ගැන තොරතුරු දැනගනිමු

චිත්‍රපටය ගැන කියනවනම්, මෙහි කතාවට පාදක වෙන්නේ ඕස්ට්‍රේලියාව වෙත ගොස් ජනප්‍රිය ගායකයකු වෙන්න සිහින දකින භූතාන ජාතික ගුරුවරයෙක්ගේ ජීවිතයයි. ඔස්කාර් සම්මානය​ට නිර්දේශ වෙන්න තරම් මේ චිත්‍රපටයේ තියෙන විශිෂ්ටත්වය මොකද්ද කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුව ඒ චිත්‍රපටය තුළ තියෙන ස්වභාවික බව කියලයි අපි නම් හිතන්නෙ. හරිම සරල කතාවක්. හැබැයි මිනිසුන්ගේ හිත්වලට හරිම ලස්සනට ආමන්ත්‍රණය කරන විශිෂ්ට නිර්මාණයක්. පාවෝ ඩෝර්ජි (Pawo Choyning Dorji) තමයි මේ සුන්දර සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ.

5. The Worst Person in the World (Norway) 

The Worst Person in the World (Norway)

ජෝකිම් ට්‍රියර් (Joachim Trier) අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයත් ගොඩක් ජනප්‍රිය වුණු සිනමා නිර්මාණයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ජූලි කියන යුවතියගේ කතාවයි. ඇගේ ජීවිතයේ සිදුවන සිදුවීම් පරිච්ඡේදයන් දො​ළහක් ඔස්සේ මේ අපූරු නිර්මාණය මගින් අප වෙත ගෙන එනවා. ඒ වගේම මේ අධ්‍යක්ෂකවරයගේ ඔස්ලෝ සිනමා ත්‍රිත්ව​යේ (Oslo Trilogy) තෙවැන්​න තමයි මේ චිත්‍රපට​ය. හැබැයි අනිත් චිත්‍රපට දෙ​ක රසනොවිඳි අයටත් මේ නිර්මාණය කිසිම ගැටළුවක් නැතුව රසවිඳින්න පුළුවන්. 2017 තිරග​ත වුණු “තෙල්මා (Thelma)” චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා විසින්මයි. ඉතින් ඒ නිර්මාණයත් රස විඳින්න අමතක කරන්න එපා .

ඉතින් මේ චිත්‍රපට අතරින් ඔබ නරඹපු හොඳම සිනමාපටය මොකක්ද කියන එක ගැනත් ​අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *