හැමෝම පුදුම හතක් ගැන අහල තිබ්බට මේ පුදුම හත මොනවද කියන එක දන්නෙ නෑ. මේ නිසා Lifie.lk අපි හිතුවා ලෝකයේ පවතින පුදුම හතවල් ගැන ලිපි පෙළක් ඔබ වෙත ගෙන එන්න. ඒ ලිපි පෙළේ ආරම්භයක් විදිහට පුරාණ ලෝකයේ පුදුම හත එහෙමත් නැත්තන් ඔරිජිනල් පුදුම හත ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා. පුදුම හත පිළිබඳව සංකල්පය එන්නේ ග්‍රීසියෙන්. ඒ අය තමන්ගේ අසල්වැසි රටවල දකින්නට ලැබුණ විස්මයජනක නිර්මාණ එකතුවක් පිළිබඳව සටහන් තැබුවා. අපි දැන් ඒ විස්මයජනක නිර්මාණ එකින් එක ගැන තොරතුරු හොයලා බලමු.
1. ගීසාහී පිරමීඩ
පුරාණ ලෝකයේ පුදුම හත අතරින් පැරණිතම ගොඩනැගිල්ල මෙන්ම අද දක්වාම ඉතිරිව ඇති එකම ගොඩනැගිල්ල විදිහට ගීසාහී පිරමීඩය සලකන්න පුළුවන්. පුරාවිද්‍යාඥයන්ට අනුව මෙම පිරමීඩය ක්‍රිස්තු පූර්ව 2560 දී පමණ ගොඩ නංවා තිබෙනවා. ලැබී ඇති වාර්තාවලට අනුව මෙම පිරමීඩය ගොඩනංවා ඇත්තේ කූෆූනාමු නම් පාරාවෝවරයා විසින්. පිරමීඩය තුළ මේ දක්වා කුටීර තුනක් හඳුනාගෙන ඇති අතර ඉන් එක් කුටීරයක වැඩ නිමාකොට නැහැ. මෙම පිරමීඩයට අමතරව පරිවාර පිරමීඩ දෙකක් පවතින අතර ඒවා එම පාරාවෝ වරයාගේ බිරින්දෑවරු සඳහා නිර්මාණය කරන ලද ඒවා යයි සැලකෙනවා.
2. බැබිලෝනියාවේ එල්ලෙන උයන
බැබිලෝනියාවේ රජකම් කළ දෙවන නෙබූචැන්ඩසාර් රජු තම බිසවක වූ මීඩියාවේ අමිටියාස් වෙනුවෙන් මෙම නිර්මාණය සිදු කළ බව කියවෙනවා. කාන්තාර පරිසරයක් වූ බැබිලෝනියා වෙත විවාහයෙන් පසුව පැමිණි තම බිසවගේ හරිත පැහැති මව්බිම සිහිපත් කිරීමට තනවා තිබෙන මහල් කීපයකින් සමන්විත වූ මෙම උයන දුර ඈත කාන්තාරය වෙත පෙනී ඇත්තේ අහසේ සිට එල්ලෙන උයනක් ලෙසයි. නමුත් මේ දක්වා මෙම උයන පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ.
3. එපිරසයේ ආර්ටිමිස් දේවාලය
දඩයමට අධිපති ග්‍රීක දෙවඟන වන ආර්ටිමිස් සඳහා කැපවුණු මෙම දේවාලය වතාවන් දෙකකදී විනාශ වී නැවතත් ගොඩ නගා තිබෙනවා. එක්තරා සංචාරකයෙකුගේ වාර්තාවකට අනුව ඔහු විසින් පුරාණ ලෝකයේ පුදුම හතම නරඹා ඇතත් ආර්ටිමිස් දෙවොල ඉදිරියේ ඉතිරි පුදුම හයම සාමාන්‍යය නිර්මාණ බවට පත්වන බව පැවසෙනවා. ජනප්‍රවාදවලට අනුව මහා ඇලෙක්සැන්ඩර් රජු ඉපදෙන දිනයේ දී හෙරොස්ටේර්ස් නම් පුද්ගලයෙකු විසින් මෙම දේවාලයට ගිනි තබා ඇත්තේ තම නම ඉතිහාසගත වනු ඇතැයි යන අමුතු චේතනාවෙන් යුක්තව. නමුත් ඔහුට මරණ දණ්ඩනය හිමිවී ඇති අතර ඔහුගේ නම කීම පවා දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්ව තිබෙනවා. එදින සිදුවූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ප්‍රසූතිය සඳහා වින්නඹුකම් කිරීමට ආටිමිස් දෙවඟන ගොස් තිබූ නිසා දේවාලය බේරා ගැනීමට ඇයට නොහැකි වූ බවට ජනප්‍රවාදයක් මේ කාලයේදී පැතිර තිබෙනවා.
4. ඔලිම්පියාහි සියුස් ප්‍රතිමාව
ඔලිම්පියාවේ පිහිටි සියුස් දේවාලය උදෙසා මේ ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ සුප්‍රකට ග්‍රීක ප්‍රතිමා ශිල්පී ෆීඩියස් විසිනුයි. අඩි හතළිහක් පමණ උසකින් යුතු අතිදැවැන්ත මෙම ප්‍රතිමාව ලීයෙන් තනන ලද සිංහාසනයක වාඩිවී සිටින ස්වරූපයක් නිරූපණය කළා. රනින් සහ ඇත් දළවලින් මෙම ප්‍රතිමාව තවත් අලංකාර කොට තිබුණා. සියවස් අටක් පමණ මෙම දේවාලය තුළ ආරක්ෂාව පැවති මෙම ප්‍රතිමාව පසුව කොන්ස්තන්තිනෝපලය වෙත රැගෙන ගිය අතර එහිදී ඇතිවූ ගින්නකින් එය විනාශ වූ බව විශ්වාස කෙරෙනවා.
5. හල්කාර්නසස් සොහොන් ගැබ
වර්තමාන දකුණු තුර්කිය ආශ්‍රිතව පිහිටා තිබූ කානියාවේ රජු වූ මවුසලස්ගෙ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ වූ ආටේමීසියා විසින් මෙම සොහොන් ගැබ නිර්මාණය කරනු ලැබුවා. ජනප්‍රවාද වලට අනුව සිය සැමියාගේ මරණයෙන් අතිශය දුකට පත්වූ ඇය ඔහුගේ අළු මුසු වතුර පානය කළ බව කියැවෙනවා. අඩි 135ක පමණ උසින් වූ මේ සොහොන් ගැබ සම්පූර්ණයෙන්ම කිරිගරුඬවලින් නිර්මාණය කර තිබුණා. දහතුන්වන සියවසේ දී ඇති වුණු භූමිකම්පාවකින් මෙම සොහොන් ගැබ විනාශ වූ අතර එහි සුන්බුන් බලකොටුවක් තැනීම සඳහා භාවිතා කරනු ලැබුවා.
6. රොඩ්ස්හි ප්‍රතිමාව
හීලියෝස් නම් සූර්ය දිව්‍යරාජයා නිරූපණය වන පරිදි ගොඩනඟා තිබූ මෙම අති දැවැන්ත පිත්තල ප්‍රතිමාව අඩි සියයක් පමණ උසින් යුක්ත වුණා. පුරාණ වාර්තාවලට අනුව එවකට ලෝකයේ පැවති උසම ප්‍රතිමාව මෙයයි. වසර හැටක් පමණ රෝඩ්ස් දූපත ආශ්‍රිතව ස්ථානගත කර තිබූ මෙම ප්‍රතිමාව භූමිකම්පාවක් හේතුවෙන් ඇද වැටුණා. පසුව මෙම ප්‍රදේශය ආක්‍රමණය කළ අරාබි ජාතිකයන් විසින් ප්‍රතිමාවේ ඉතුරු කොටස් විකුණා දැමීමට ක්‍රියා කළා.
7. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය
ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ආසන්නයේ තිබූ ෆාරෝස් දූපතේ පිහිටා තිබූ මෙම ප්‍රදීපාගාරය ක්‍රිස්තු පූර්ව 270 දී පමණ නිර්මාණය කළ එකක් බව විශ්වාස කෙරෙනවා. නයිල් නදියේ ගමන් කළ නෞකා වලට මෙන්ම ඈත මුහුදේ ගමන් කළ නාවික යාත්‍රා වලටත් මෙම ප්‍රදීපාගාරය මගින් මග පෙන්වනු ලැබුවා. ඊජිප්තුවේ හමුවී ඇති කාසිවල මෙම ප්‍රදීපාගාරය නිරූපණය කොට ඇති නිසා එහි හැඩහුරුකම පිළිබඳව යම් වටහා ගැනීමක් ලබා ගන්නට පුළුවන්. අඩි 380 ක පමණ උසකින් යුතු මෙම ප්‍රදීපාගාරයත් විනාශ වූයේ භූමිකම්පාවක් නිසා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply