ඔබ ජීවිතයේ නිවැරදි ට්‍රැක් එකේ ගමන් ගන්නවා කියල දැනගන්නෙ කොහොමද?

ජීවිතේ කියන්නෙ ගමනක්. උපන්දා ඉඳලාම අපි කරන්නෙ ඔය ගමන යන එක. එක එක සන්ධිස්ථාන වලදී අපි ගන්න තීරණ නිසා ගමන් මඟ වෙනස් වෙනවා. ගමන් මඟත් එක්කම යන ගමනාන්තයත් වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි ජිවිතේ තීරණ ගන්නකොට දහස් වාරයක් හිතන්න ඕන කියල කියන්නෙ. කොහොමින් හරි ඔහොම තීරණ අරගෙන අපිම තෝරගත්තු මේ ගමන් මාර්ගය හරිම ගමන් මාර්ගයද කියලත් ඔය යන ගමන් දැනගෙන ඉන්න එක වටිනවනේ. ඒ කියන්නෙ අපි ජීවත් වෙන විදිහ, ජීවිතේ, අනාගතේ දකින විදිහ වගේ කාරණා හරිද කියන එක, ඒ කියන්නෙ අපි හරි ට්‍රැක් එකේද යන්නෙ කියන එක කලින් දැනගන්න තියෙනවනම් වැදගත්. මොකද වරදක් තිබ්බත් ඒක නිවැරදි කරගන්න පුළුවන් එතකොටයි. ඉතින් මෙන්න මේ දේවල් ඒ විදිහට ඔබේ ජීවිතෙත් වෙනවනම් ඒ කියන්නෙ ඔබ බොහෝ දුරට හරි ට්‍රැක් එකක ගමන් කරනවා. 

 

1. හොඳ මිතුරු කැළක් ඉන්නවා

ජීවිතේ එක එක කාලවලදී මුණගැහෙන යාළු මිත්‍රයෝ හුඟක් වෙලාවට බොහොම තාවකාලිකයි. පෙරපාසල් කාලෙ ඉඳලා පාසලේ, සරසවියේ වගේම රැකියා ස්ථාන වලත් මෙහෙම තාවකාලික යාළුකම් අපිට බොහොමයක් හම්බෙනවා. හැබැයි කාලයක් පුරාවට ලඟින් ඉඳලා  අපේ දුක සැප හොඳින්ම දන්න, සරලව කිව්වොත් මළත් දාල යන්න බැරි සයිස් යාළුවො සෙට් එකක් ජීවිතේට මුණ ගැහිල කියන්නෙ ඒ තාවකාලික යාළුකම් ඉවර කරල ජීවිත කාලෙටම තියාගන්න පුළුවන් සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා කියන එකයි. ජීවිතේ අමාරුම අවධි කිහිපයක් පහු කළාට පස්සෙ මෙහෙම යාළුවො සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවනම් ඒ හරි ගමනක් යන බවට ලොකුම සාධකයක්.

 

2. ශක්තිමත් පවුලක් තියෙනවා

පවුලත් ඒ වගේ තමයි. පවුල කියන්නෙ යාළුවො වගේ කාලෙන් කාලෙට දාල යන එකක්නම් නෙමෙයි. ඒත් පවුලක් ඇතුළේ උනත් සම්බන්ධතා ශක්තිමත් වෙන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දෙමව්පියෝ, දූ දරුවෝ අතරේ වගේම අඹු සැමියන් අතරෙත් එහෙම හොඳ අවබෝධයක් තියෙනවා කියන්නෙ පවුලක් විදිහට ඒ හැමෝම හරිම ශක්තිමත් කියන එකයි. බාහිර කරදර වලට ඒ පවුල වට්ටන්න අමාරුයි කියන එකයි. ඉතින් ඔබත් එහෙම පවුලක සාඩම්බර සාමජිකයෙක්නම් ඔන්න ඔබ යන ට්‍රැක් එක හරියි කියන්න තවත් එක සාධකයක් තමයි ඒක.

 

3. අනිත් අය කියන දේ තමන්ගේ ගමනට බාධාවක් කරගන්නෙ නැහැ

වටෙන් පිටෙන් එල්ලවෙන ගල් මුල් වලට ඔබේ ගමන නවත්තන්න පුළුවන්නම් ඒක සාර්ථක වෙන්න ලොකු බාධාවක්. මොකද අපේ වටපිටාවේ ඉන්න හුඟක් මිනිස්සු උත්සාහ කරන්නෙ ඉහළට යන මිනිහගේ කකුලෙන් අදින්නනේ. ඉතින් කෙනෙක් හොඳ විදිහට ගමනක් යනවනම් ඒකෙ මොකක්ම හරි වරදක් දකිනවමයි. ඉතින් එහෙම වටෙන් පිටෙන් එල්ල කරන අනවශ්‍ය ප්‍රහාර වලට උත්තර දෙන්න නැවතුනොත් ඒ ගමන ගිහිල්ලා හමාරයි. ඒ දේවල් සතපහකට ගණන් නොගෙන තමන්ගේ ගමන යන්න හිතේ හයිය තියෙනවනම් ඔන්න ජීවිතේ හරිම ට්‍රැක් එකක තමයි ඔබ ගමන් කරන්නෙ.

 

4. කරදරකාරී සම්බන්ධතා වලට තිත

සම්බන්ධතා කිව්වෙ යාලු මිත්‍රයෝ, නෑදෑයෝ, පවුලේ ලඟම උදවිය වගේ ඕනම කෙනෙක්. කවුරු උනත් හිතට බර, නිතර කරදර කරන සම්බන්ධතාවයක්නම් ඒක හොඳ ගමනකට බාධාවක්. ජීවිතේ කට්ට කාලා, විවිධ තීරණ අරගෙන අද වෙනකොට අනවශ්‍ය සම්බන්ධතා අයින් කරලා දාන්න පුළුවන් වෙලා තියෙනවනම් අන්න ඒකත් ගමනේ සාර්ථකභාවය කියන ලොකු මිම්මක්. මොකද කරදර ගොඩක් කරගහගෙන වේගයෙන් ගමනක් යන්න බැහැනේ. ඒ නිසා දැනට කර ගහගෙන යනවනම් ඒ බර පැත්තක තියලා ගමන ආපහු පටන් ගන්න.

 

5. වගකීම් සහගතව ජීවිතේ දිහා බලනවා

හරි ට්‍රැක් එකක යන කෙනෙක් අනිවාර්යයෙන්ම ජීවිතය දිහා වගකීම් සහගතව බලනවා. ඒ කියන්නෙ ඔහේ උපන්නාට මේ ලොව ජීවත් වෙනවට වඩා තමන්ගෙන් රටට, ලෝකයට වගේම තමන්ටම සිදුවෙන්න ඕන යුතුකම් සහ වගකීම් කියල කොට්ඨාසයකුත් තියෙන බව එහෙම කෙනෙක් නොවැරදීම දන්නවා. හැමදේම අතට එනකන්ම බලන් නොඉඳ පුළුවන් හැමවෙලාවකම තමන් විසින්ම ආරම්භයක් අරන් දෙයක් කරන්න මෙහෙම අය උත්සාහ කරනවා. ඉතින් ජීවිතේ ගෙවනකොට අන්න එහෙම හිතන්න පුරුදුවෙන එකත් හරිම ගමනක් යන කෙනෙකුගේ ලක්ෂණයක්.

 

6. කාලයේ වටිනාකම දන්නවා

කාලය රන් හා සමානයි කියල උදේ හවස කිව්වට ඇත්තටම ඒ කියන කතාවේ වටිනාකම දන්නෙ බොහොම සුළු පිරිසයි. හැබැයි අපි මේ කතාකරන, හරි ට්‍රැක් එකේ යන කෙනෙක් ලොකු වටිනාකමක් දෙන දෙයක් තමයි මේ කාලය. ජීවිතේ පහුගිය කාලයේ වෙච්ච අතපසුවීම් වගේම ලබපු අත්දැකීම් හැමදෙයක්ම නිසා කාලය කියන්නෙ ආපහු හරවලා ගන්න බැරි හරිම වටිනා දෙයක් බව එහෙම අය ඉන්තේරුවෙන්ම දන්නවා. ඒ නිසා මේ ගතවෙන කාලයේ ජීවිතේට උපරිම වටිනාකමක් එකතු කරගන්න පුළුවන් දෙයක් කරන්න ඒ අය හැමවෙලාවෙම උත්සාහ කරනවා. 

 

7. යහපත් ජීවන රටාවක් අනුගමනය කරනවා

කාලයක් තිස්සේ හරි වැරදි හැම දෙයක්ම තමන් විසින්ම තේරුම් අරගෙන අවුරුදු ගානක් ජීවත් උන කෙනෙක් ඔක්කොටම වඩා ආදරේ කරන්නෙ තමන්ට.මොකද කාලයක් තිස්සේ ලබපු අත්දැකීම් එක්ක තමන්ට ඉන්න ලොකුම මිතුරා තමන් බව ඒ අය තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා තමන්ට, තමන්ගේ ශරීරයට ආදරේ කරන එක සාර්ථක ගමනක් යන එකේ ලොකුම ලක්ෂණයක්. 

ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි යහපත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන එක. ඒ කියන්නෙ නරක යයි සම්මත ක්‍රියාවන්ගෙන් වැළකිලා, ශරීරයට ආදරය කරමින්, ව්‍යායාම, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර එහෙම කලට වෙලාවට කරගෙන තමන්ගේ කල්පැවැත්ම තහවුරු කරගන්න එකයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *