අක්කලව බැඳපු ලංකාවෙ මල්ලිලා

අද කතා කරන්න යන්නේ ටිකක් ආනන්දජනක මාතෘකාවක් ගැන. ඒ තමයි අක්කලා මල්ලිලා අතර වෙච්ච විවාහ ගැන. කාලෙකට කලින් ලංකාවේ සැමියා බිරිඳට වඩා වැඩිමහල් වීම අනිවාර්ය සම්මතයක් විදියට සැලකුණත් දැන් ටික ටික තත්ත්වය වෙනස් වේගෙන යනවා. ඇත්තටම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න වයස බාධාවක් වෙනවා ද කියන එක ම ප්‍රශ්නයක්. ඉතින් අපි අද හිතුවා මේ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු දුන්න විවාහක යුවළවල් කීපයක් ගැන කතා කරන්න.

 

1. ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු 

ඔවුන් දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු දෙකක්. නමුත් අර්බුදයට පත් වෙන විවාහ රැසකට උරුමකම් කියන කලා ක්ෂේත්‍රය තුළ අති සාර්ථක විවාහ ජීවිතයක් ඔවුන් දෙදෙනා ගත කරනවා. ඒ වගේම මේ වෙනකොට ඔවුන් දෙදෙනාගේ දරුවන් දෙදෙනා වන ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේත් කලා ලෝකයට අවතීරණය වෙලා තියෙනවා. මීට දශක කීපයකට කලින් පෙම්වතියගේ භූමිකාව රඟපාමින් සිනමාවට එක් වුණු මානෙල් වානගුරු මේ වෙනකොට මවගේ භූමිකාව රඟපාමින් කලා ලෝකය තුළ තවමත් රැඳී ඉන්නවා. ආනන්ද වික්‍රමගේ හාස්‍යෝත්පාදක චරිත ඉඳන් සංකීර්ණ චරිත දක්වා විවිධ භූමිකා රඟපාමින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයටත් දායක වෙනවා.

 

2. ලක්ෂ්මන් විජේසේකර සහ ‍ චන්ද්‍රා කළුආරච්චි 

මේ වසරේ අපෙන් සමු අරගෙන ගිය චන්ද්‍රා කළුආරච්චි මහත්මිය කලාතුරකින් රටකට බිහි වෙන චරිතාංග රංගන ශිල්පිනියක්. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා අද වෙනකොට ජනප්‍රිය ගායන ශිල්පියෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට ජනප්‍රිය වුණත් ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. විරාගය චිත්‍රපටය සඳහා සනත් ගුණතිලකව තෝරාගැනීමට පෙර අරවින්දගේ භූමිකාව සඳහා තෝරාගෙන තිබුණේ ඔහුව. අද වෙනකොට ඇතැම් වෙළෙඳ දැන්වීම් වලින් ඔහුව අපිට හමුවුණත් ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ  නිශ්ශංකගේ චරිතය අපේ ටෙලි නාට්‍ය වංශ කතාව තුළ ලක්ෂ්මන් විජේසේකරව අමරණීය කරනවා. වයස අවුරුදු 5ක පරතරයකින් යුක්ත වුණත් ඔවුන් දෙදෙනා අති සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා. ඔවුන්ගේ දරු දෙදෙනා වූ අමා විජේසේකර සහ විහඟ විජේසේකරත් කුලවමිය වැනි ටෙලි නාට්‍ය තුළ විශිෂ්ට රංගනයක නිරත වුණා.

 

3. නිල්මිණි තෙන්නකෝන් සහ මධුමාදව අරවින්ද 

වසර දෙදාහේදී ඔවුන් දෙදෙනා තමන්ගේ විවාහය නීතිය ඉදිරියේ කටුගා දැමුවත් තවමත් හොඳ යහළුවන් ලෙස කල් ගත කරනවා. විශේෂයෙන්ම තමන්ගේ දියණියට හොඳ මවුපියන් වීමට ඔවුන් දෙදෙනා උපරිම උත්සාහ කරන බවයි පවසන්නේ. වසර 8ක වයස් පරතරයක් සහිතව විවාහ දිවියට එළඹුනත් විවාහය අසාර්ථක වීමට බලපෑවේ වයස නොව වෙනත් හේතු වූ බවයි ඔවුන් දෙදෙනාම පිළිගන්නේ. අද වෙන කොට මධුමාධව ගායන ක්ෂේත්‍රයටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයට වැඩි වශයෙන් නැඹුරු වීමත් පැහැදිලිව ම දක්නට ලැබෙනවා. නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියක් විදිහට වගේම මේ වන විට නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

 

4. අර්ජුන රණතුංග සහ සමදරා රණතුංග 

ලෝක කුසලානය  දිනා ගැනීම නිසා ලංකාව තුළ ක්‍රිකට් උමතුවක් ඇති කිරීමට සමත් වුණු විශිෂ්ටතම  ක්‍රිකට් කණ්ඩායම් නායකයා වෙන්නෙ අර්ජුන රණතුංග. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක වෙන්න කාන්තාවන් දෙදෙනෙක් බලපෑවා. එක් කාන්තාවක් වන්නේ අර්ජුනගේ මව, අනෙක් කාන්තාව වෙන්නේ අර්ජුනගේ ආදරණීය බිරිඳ වන සමදරා රණතුංග. පෙම් සම්බන්ධතාවයකින් විවාහ දිවියට එළඹුන ඔවුන් දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු හතරක්. සමදරා තම දරු දෙදෙනාට පමණක් නොව ක්‍රිකට් කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට මවක් බඳු  කාන්තාවක්. ඒ බව ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ සියලුම සාමාජිකයන් පාහේ කියන දෙයක්. 

 

5. පබෝදා සංදීපනී සහ සිදත් හරින්ද්‍ර 

කලා පවුලකින් පැවත ගෙන එන පබෝදා සන්දීපනී ඉතාමත් කෙටි කාලයක් තුළ  විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නත් සමත් වුණු ශිල්පිනියක්. රැජින ටෙලිනාට්‍ය සහ බහුබූතයෝ චිත්‍රපටය ඒ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුව විදිහට සලකන්න පුළුවන්. කාලයක් ලංකාවේ සුප්‍රකට ගුවන් විදුලි නිවේදකයකු ඩී.ජේ අරා ගේ පෙම්වතිය වෙලා හිටපු පබෝදා එම පෙම් සබඳතාවය බිඳ වැටීමෙන් පසුව විවාහය සඳහා තෝරා ගත්තේ තමන්ට වඩා වසර තුනකින් බාල සිදත් හරින්ද්‍රවයි. පබෝදා රංගනයේ යෙදුණු ටෙලිනාට්‍යවල ලෝකේෂන් හොය හොයා සිදත් තමන්ගෙ පිටිපස්සෙන් ආපු බව පබෝදා ඒ දවස්වල පත්තරවලට කියලා තිබ්බා. මේ වෙන කොට ඔවුන් දෙදෙනාට එක් දියණියක් ද සිටිනවා.

 

6. මාලිනී ෆොන්සේකා සහ ලකී ඩයස්

තමන්ගේ පළමු විවාහය බිඳ වැටීමෙන් අවුලෙන් සිටි මාලිනී ෆොන්සේකා මහත්මියගේ සිත සොරා ගැනීමට ඇයට වඩා අවුරුදු හතරකින් බාල තරුණයෙක් සමත් වුණා. ඔහු ලකී ඩයස්. දශක කීපයක් ඔවුන් දෙදෙනාගේ විවාහය ස්ථාවරව පැවතුණා. නමුත් විවිධ හේතූන් නිසා එම විවාහය පසු කාලයකදී අර්බුදයට ලක් වුණා. ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය නිසා විශේෂයෙන් ටෙලිනාට්‍ය කලාවට යම් යහපතක් සිදු වුණා. ඒ ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ඔවුන් දෙදෙනා එක්ව කටයුතු කළ නිසා.

 

එහෙමනම් ඉතිං ඉතින් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *