අපිට අමතක වෙමින් යන පැරණි සිංහල අවුරුදු චාරිත්‍ර

ඔන්න තවත් එක අලුත් අවුරුද්දක් ඉවර උනා. මේ ලෙඩ දුක් කරදර ඔක්කොම අතරේ උනත් අපිට පුළුවන් වුණා 2021 සූර්ය මංගල්‍යය කරදර අඩුවෙන් සාමයෙන් සමරන්න. ගිය අවුරුද්දෙ ඇඳිරි නීතියකට අහුවෙලා අවුරුදු කන්න හිතන්නවත් බැරිවුණ එකේ මේ වතාවේ ඔයින් ගියා මදැයි කියල හිත හදාගන්න පුළුවන්. කොහොම උනත් මේ කියන්න යන්නෙ පහුවුන අවුරුද්දේ අපි කරපු චාරිත්‍ර වාරිත්‍ර වලට සම්බන්ධ කතාවක්.

මේ 2021 විතරක් නෙමෙයි, දැන් අවුරුදු ගණනාවක ඉඳලම අපි අවුරුදු සමරන්නේ බාගෙට කිව්වට වරදක් නැහැ. ඒ කාලෙ අස්වනු නෙලල මහ ඉහළින් සමරපු අවුරුද්ද, ජීවිතේ එන්න එන්නම කාර්යබහුල වීමත් එක්කම අපෙන් ටිකෙන් ටික මඟහැරීගෙන යනවා. අපිට පැරණි සිංහල අවුරුදු චාරිත්‍ර හුඟක්ම මඟහැරිලා. සිංහල කියල විශේෂයෙන්ම කිව්වේ හින්දු චාරිත්‍ර ගැන අපි මෙතැනදී සඳහනක් කරන්නෙ නැති නිසයි ඔන්න. මේ ලිපිය කියවන හින්දු පාරම්පරික අවුරුදු චාරිත්‍ර ගැන දැනුමක් තියෙන අයට පුළුවන් ඔන්න අපිවත් ඒ ගැන දැනුවත් කරන්න.

ඉතින් අපි බලමුකෝ අපිට අමතක වෙමින් යන පුරාණ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර මොනවද කියල.

 

1. ජන ක්‍රීඩා

අවුරුදු මාසේ එහෙමත් නැත්තම් බක් මාසේ පටන් ගන්නෙම පරිසරයත් එක්කම මේ සැණකෙළියට සැරසෙන ගමන්. ගස්වැල් මලින්, ඵලින් බරවෙලා කොහා සින්දු කියාගෙන එනකොටම තමයි මේ  ජන ක්‍රීඩා කරන්න පටන් ගන්නෙත්. අස්වනු කපපු වෙල් ඉපනැල්ලේ තමයි මුලින්ම මේ ක්‍රීඩා කරන්න පටන්ගන්නෙ. ගුඩු ගැසීම, එල්ලෙ ගැසීම, බුහු කෙළි, වලකජු ගැසීම, මේවර කෙළි, එළුවන් කෑම වගේ ක්‍රීඩා දැන් අපිට අහන්න තියා දකින්නවත් නැති තරම්. ඔන්න මෙතනින් කියවන්න පුළුවන් මේ පැරණි කෙළි සෙල්ලම් ගැන. 

දැන් කාලෙ ළමයි නොදන්න පරණ තාලේ අපූරු කෙළි සෙල්ලම්

 

ඒ වගේම තමයි ගෙවල් වල බැඳෙන පැද්දෙන ඔන්චිල්ලා සහ ගමේ හැමෝම එක්ක එකතුවෙලා වෙල් ඉපනැල්ලේ, පිට්ටනියේ බඳින කතුරු ඔන්චිල්ලා. මේ කතුරු ඔන්චිල්ලා බැඳීම කරන්නෙ බොහොම සීරුවෙන් දෙවියන්ට භාර හාර එහෙමත් වෙලා. 

 

2. නව සඳ බැලීම 

ජ්‍යෝතිෂය එක්ක බැඳුණු ලොකු ඉතිහාසයක් තියෙන අපි හැම වසරකම මේ සූර්ය මංගල්ලයට කලිනුයි පස්සෙයි අභිනව චන්ද්‍ර වර්ෂය සහ සූර්ය වර්ෂය වෙනුවෙන් නව සඳ බැලීම සිදුකරනවා. මේ කර්තව්‍ය සිදුකරන්න කලින් මල්, පහන්, සුවඳ දුම් වලින් බුදුන් ඇතුළු තෙරුවන් පුදලා පිරිත් සජ්ඣායනා කරලා තමයි සියලු දෙනාට යහපත ප්‍රර්ථනා කරලා සුභ නැකතට නව සඳ බැලීම සිදු කරන්නේ. පවුලේ අයගේ වගේම සමස්ථ රට වැසියන්ගේම යහපත ප්‍රාර්ථනා කරමින් සිදුකරන මේ චාරිත්‍රය මේ වෙද්දී අපිට අමතකම වෙලා ගියපු චාරිත්‍ර වලින් එකක්.

 

3. කුණු මුත්තා පිදීම 

මේක ඇහුවමනම් ටිකක් අමුතු නමක් වුනාට පැරණි පුරුද්දක්. සාමාන්‍යයෙන් අවුරුදු දවස උදාවෙන්න කලින් ගේ දොර වතුපිටි හැම එකක්ම අස් කරලා ලකේට ගෙවල් දොරවල් සරසන එක අපේ පුරුද්දක්. ඒක ඒ කාලෙ ඉඳලම එහෙමම තමයි. ඒ වගේම තමයි ගෙදර කුස්සියත්. අවුරුදු ලංවෙද්දි වෙනදට වඩා අස්පස් කෙරෙනව. අවුරුද්දට කලින් දවස, ඒ කියන්නෙ පරණ අවුරුද්ද දවසට අන්තිමට එකතුවෙලා තියෙන කුස්සියේ කුණු ඔක්කොම ගෙනිහින් අසල බැද්දට දාල කුණු මුත්තා පිදීම කියල චාරිත්‍රයක් පුරාණ ගැමියෝ සිදුකරල තියෙනවා. හැබැයි අදකාලෙ අපිනම් මේ කුණු මුත්තා ගැන අහලවත් නැහැනේ.

 

4. තෙල් වළං ලිප තැබීම

මේකත් ඉස්සර කාලෙ බොහොම චරිතානුකූලව සිදුවෙච්ච දෙයක්. දැන්නම් වෙලාව තියෙන තියෙන විදිහට කැවිලි ටිකක් හදාගත්තට ඉස්සර හැම ගෙදරකම නොවැරදීම කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, නාරං කැවුම්, ආස්මි, මුකුළු වගේ අනේකවිධ කැවිලි ජාති බොහොම ප්‍රමාණයක් හැදෙනවමයි. හැබැයි මේ කැවිලි හදන්න තෙල් වලං ලිප තියන එක කරන්නෙ බොහොම පේවෙලා හොඳ නැකතකටයි. අවුරුදු නැකත් පත්තරේ මුලින්ම තියෙන නැකතත් මේක කියලයි කියන්නෙ. කොහොමහරි ඔය කියන සුභ වෙලාවට තෙල් වළඳක් ලිප තියල මුලින්ම පිළියෙළ කරගන්නෙ කොණ්ඩ කැවුමක්. මේ මුල්ම කැවුම කෝඳුරු කැවුම කියල වෙන්කරල කෝඳුරුවෝ ඇතුළු කෘමීන්ට කන්න වහලයේ මුදුනක එල්ලල තියනවා. ඔන්න එහෙම තෙල් වළං ලිප තියලා ඒ කාලෙ හදාගත්ත වෙනස් රස කැවිලි මේ ලිපියෙන් බලාගන්න පුළුවන්. 

අවුරුදු මේසය රසවත් කරන්න වෙනස් කැවිලි ටිකක් හදමුද?

 

 

5. අවුරුදු කුමාරයා පිළිගැනීම

අවුරුදු කුමාරය පිළිගන්නත් ඉස්සර චාරිත්‍ර විධි වෙන්වෙලා තිබුණා. වැඩ වරණ වෙලාව ඒ කියන්නෙ පුණ්‍ය කාලය එළඹෙන්න කලින් ගෙයි නැගෙනහිර දිශාව ඒ කිව්වේ හිරු කුමාරයා වඩින දිශාවට වෙන්න මල්පැලක් අටවනවා අවුරුදු කුමාරයව පිළිගන්න. ඊටපස්සේ නැකතට පිළියෙළ කරන කිරිබත් වලින් කොටසක් එක්ක කැවිලි පිළිගන්වල පහනක් දල්වල තමයි අවුරුදු කුමාරයට සලකන්නේ.

 

 

6. වැඩ වැරීම

වැඩ ඇරීම, වැඩ මැරීම එහෙමත් නැත්තම් වැඩ වැරීම කියල කියන්නෙ පුණ්‍ය කාලය එළඹුණ මොහොතේ ඉඳන් සියළුම වැඩ නවත්වල පුණ්‍ය කටයුතු වල යෙදෙන එකටයි. මේ වෙනුවෙන්නම් දැනටත් නැකත් පත්තරේ වෙලාවක් වෙන් උනාට ඒ වෙලාව පින් දහම් කරන්න වැය කරන්නෙ නම් බොහොම සුළු පිරිසයි. පුරාණ ගැමියන් හුරුවෙලා හිටිය මේ නැකත් මුකුත් නොයෙදෙන පුණ්‍ය කාලයේ පවුලේ හැමෝමත් එක්ක පන්සලකට ගිහින් තෙරුවන් වැඳ නමස්කාර කරල ස්වාමීන් වහන්සේලාගෙන් අනුශාසනා ලබාගෙනම අලුත් අවුරුද්දට සූදානම් වෙන්න.

 

 

7. වැඩ ඇල්ලීම

වැඩ ඇල්ලීම කියන්නෙ නවත්තලා තිබ්බ සියලු වැඩ ආපහු පටන් ගන්න එකට. ගෙදර ගෘහණිය ගිනි මෙලවීමේ නැකතට ලිපගිනි මොළවල, කිරි උතුරවල, කිරිබතක් හදන එකෙන් තමයි නැවත වැඩ ආරම්භ කරන්නෙ. ගෙදර ගෘහ මූලිකයා හෙවත් තාත්තා වැඩ අල්ලන නැකතට කැත්තකින් කිරි ගසකට කෙටීම හෝ උදැල්ලෙන් පොලව කෙටීම, පැළයක් ඉන්දවීම වගේ ක්‍රියාවකින් තමයි අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නෙ. අපි මේ නැකතට දැන් කරන්නෙ කිරි උතුරන එකයි ආහාර අනුභව කරන එකයි විතරමනේ.

 

8. ගනුදෙනු

ගනුදෙනු කිරීමේ නැකතත් යෙදෙන්නෙ වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය එක්ක. ඉතින් කලිනුත් කිව්ව වගේ අපි මේ නැකතට ආහාර අනුභවය විතරක් කළාට ඉස්සර ගැමියෝ ඉස්සෙල්ලම කළේ වැඩ අල්ලන එක. ඊළඟට ගනුදෙනු කිරීම. ඉස්සෙලාම ගෘහණිය විසින් අඟුරු කැබැල්ලක්, මල් සහ කාසි කිහිපයක් එකතු කරලා හදපු පොට්ටනියක් ළිඳට දාල නැවුම් වතුර කලයක් ළිඳෙන් පුරවා ගන්නවා. ඒක හැඳින්වුණේ මංකඩ සමඟ ගනුදෙනු කිරීම කියල.  ඊළඟට ගෙදර හැමෝම ගෙදර ගෘහ මූලිකයා එක්ක බුලතින් සහ මුදලින් ගනුදෙනු කිරීම සිදු කරනව. ඔය වැඩ ඔක්කොම ඉවර උනාට පස්සෙ තමයි ආහාර අනුභවය සිදුවෙන්නේ.