කෝච්චියේ වැඩට රාජකාරියට යනවා කියන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි. තමුන්ට වාහනයක් තිබුනත්, තිබෙන වාහන තදබදය නිසා ඇතැම් අය කෝච්චියේ යනවා. විටෙක එල්ලිලා, තවත් විටක ජූස් වෙන්න පැක් වෙච්ච දුම්රිය මැදිරියක යන ඒ ගමන සැබැවින්ම වෙහෙසකර එකක්. ඒ අස්සේ හදිසියේම දුම්රිය වර්ජනයක් ප්‍රකාශයට පත් කළාම මගීන් විදිහට අපි හැමෝටම එකපාර තරහ එනවා. අපේ ඒ තරහ යෑම පිටිපස්සේ ඉඳන් ඒක ආයුධයක් කරගන්න තවත් පිරිසක් එතැන ලොකු කලබල සංවිධානය කරනවා. අවසානේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියලා අපි පත් කරපු, මාසෙකට විශාල මුදලක් රජයෙන් වියදම් කරලා නඩත්තු කරන පාලකයෝ සහ නිලධාරීන් පැත්තකට වෙලා මොකුත් නොවුන ගාණට ඉන්නවා… පහළ ඉන්න මගියෝ සහ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න සේවකයෝ එකිනෙකා අතර ගැටුම් ඇතිකරගන්නවා. ඇතැම් විටක මේ ගැටුම් පහරදීම් දක්වා දුරදිග යන අවස්ථාත් තියෙනවා. ඇත්තටම දුම්රිය රියදුරු වර්ජනයක් හිතන තරම්ම සරලද? අපි ඒ ගැන ටිකක් බලමු.
1. දුම්රිය රියදුරු ලේසි රස්සාවක්ද?
පිටින් බලා සිටින විට දුම්රිය රියදුරු යනු කදිම රැකියාවකි. එහෙත් දුම්රිය රියදුරු යනු දීර්ඝ කාලයක් පුරුදු පුහුණු විය යුතු රැකියාවකි. එක් මාර්ග සංඥාවක් මග හැරුනොත් සාමාන්‍ය කාර් රියක් එලවන රියදුරෙකුට රිය අනතුරකට මුහුණපාන්නට ඇති ඉඩකඩ අඩුය. එහෙත් දුම්රිය රියදුරෙකුට මාර්ග සංඥාවක් මග හැරීම අවසන් වන්නේ මහත් වූ ඛේදවාචකයකිනි. ලංකාවේද එකවර දුම්රිය රියදුරකු විය නොහැකිය. ඒ සඳහා වසර ගණනාවක් පුරා පුරුදු පුහුණු විය යුතුය. එයිනුත් මුල් කාලයේ කුඩා දුම්රිය එන්ජින් ධාවනය කර, පසුව විශාල එන්ජින් ධාවනය සඳහා යොමු කරනු ලැබේ.
2. දුම්රිය රියදුරු රැකියාවේ වටිනාකම
දුම්රිය රියදුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවස්ථාවේදී පිරිසක් ඉන්දියාවෙන් දුම්රිය රියදුරෝ ගේමු දැයි ප්‍රශ්න කළෝය. එහෙත් ඉන්දියාවේ දිවෙන වායුසමනය කළ සුපිරි රාජධානි දුම්රිය පදවන බොහෝ දුම්රිය රියදුරු මහතුන්ට මසකට ඉන්දියානු රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් හිමි වේ. එනම් ලංකාවේ මුදලින් ලක්ෂ දෙක හමාරකට ආසන්න වැටුපක් ඉන්දියාවේ ඉහළ මට්ටමේ දුම්රිය රියදුරකුට හිමිය. ඉන්දියාවේ සාමාන්‍යයෙන් ලංකාවට වඩා වැටුප්තල ආදිය අඩුය. එහෙත් ඉන්දියාවේ දුම්රිය රියදුරකුගේ සාමාන්‍ය වැටුපද ඉන්දියානු රුපියල් 30,000කට ආසන්න වේ. මෙය දියුණු රටවල පවා තරමක් වැටුප් ආදිය වැඩි රැකියාවකි. එනම් දුම්රිය වර්ජනයක් අවස්ථාවකදී, විදෙස් වලින් හදිසි වෛද්‍යාධාර ආදිය ලබාගන්නවා වැනිව දුම්රිය රියදුරන් සෙවීම අපහසුය. එසේ ගෙනාවා වුවද ලංකාවේ මාර්ග සහ ලංකාවේ දුම්රිය තත්ත්වයන් ගැන කිසිදු අවබෝධයක් නැතිව දුම්රිය ධාවනය කිරීමට විදෙස් දුම්රිය රියදුරන්ට නොහැකිය.
3. ඔක්කොම ප්‍රමාද රියදුරෝ නිසානේ…
දුම්රිය ප්‍රමාද වෙන සෑම අවස්ථාවකදීම එහි වගකීම මගීහු දුම්රිය රියදුරන් වෙත පවරති. එහෙත් දුම්රිය සේවාව යනු විශාල පද්ධතියකි. එහිදී දුම්රිය සේවාවේ සංඥා ක්‍රියාත්මක වන ආකාරයට දුම්රිය ධාවනය කිරීම රියදුරුගේ වගකීම වේ. නිතර වේග සීමා ඇති, තදබද බහුල මාර්ගයන්හි ධාවනය වනවිට දුම්රිය ප්‍රමාදය සාමාන්‍යයෙන් සිදු වේ. එසේම කාර්මික කටයුතු, නඩත්තු කටයුතු ආදිය හරිහැටි සිදුනොවන විටද දුම්රිය රියදුරන්ට සිය දුම්රිය ධාවනය කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුවේ. පසුගිය කාලයේ දිගින් දිගටම දුම්රිය කාර්මික ශිල්පීන්ගේ ද වැඩවර්ජනයක් තිබූ අතර, දුම්රිය නඩත්තු කටයුතු ඒ නිසා ප්‍රමාද විය. එහෙත් අවසානයේ ඇතැම් පිරිස් ඒ ප්‍රමාදයන් වල වරදද දුම්රිය රියදුරන් වෙත දමා ගැසූහ. සැබැවින්ම දුම්රිය රියදුරන්ට සහ ගාඩ්වරුන්ට පමණක් මගීන්ට හොඳ සේවාවක් ලබාදිය නොහැකිය. ඒ සඳහා දුම්රිය සේවාවට සම්බන්ධ සියලුම සේවකයින්ගේ සක්‍රිය දායකත්වය සේවයට වැදගත්ය.
4. හමුදාව පුහුණු කරවලා දාන්න පුලුවන්නේ
දුම්රිය එන්ජිමක් යනු ධාවනය වන පද්ධතියකි. යම් කාර්මික දොසක් වෙත් නම් පළපුරුදු රියදුරෙකුට ඒ ගැන පහසුවෙන් සොයාගත හැකිය. එසේම දුම්රිය ධාවනයේදී සංඥා සහ ධාවන තත්ත්වයන් ගැනද පළපුරුදු රියදුරන්ට හොඳ අවබෝධයක් තිබේ. කෙටි කාලීනව හමුදාව යෙදවීම රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල වැඩවර්ජන වලදී සාර්ථක විය හැකි වුවත්, දුම්රිය වැනි සේවාවකදී හමුදාව යෙදවීම ප්‍රායෝගික නැත. මෑත කාලයේ මෙන්ම අතීතයේද ක්‍රමවේදය වූයේ දුම්රිය රියදුරන් යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වූ විට, ළඟදී දුම්රිය සේවයෙන් විශ්‍රාම ගිය අයට දුම්රිය බාරදීමය. එයින්ද සාමාන්‍ය අත්‍යාවශ්‍ය සේවාවක් පිරිමැසිය හැකි මුත් පුරුදු ලෙසට දුම්රිය ධාවනය කිරීමට අපහසුය.
5. පුදුම කරවන අතිකාල දීමනා
එදා දුම්රිය ඩීසල් නොවූ, අඟුරු කකා වතුර බිබී දුවන කාලයේ දුම්රිය එන්ජිමක් පණගන්වා ගැනීමත්, නිසි අයුරින් සකස් කර ගැනීමත් මහත් මහන්සියෙන් කළ යුතු දෙයක් විය. එහිදී අඟුරු දුම්රියේ වාෂ්ප සහ අඟුරු අලු අතර සිටිමින් කරන්නට වුණු දුම්රිය රියදුරු සහ සහායක රැකියා සැබැවින්ම වෙහෙසකර ඒවා විය. එම නිසා එකල අතිකාල නිකුත් කිරීමේදී දුම්රිය නැවැත්වූ තැන් පටන්ද පෑ කිහිපයක් අතිකාල ලෙස ලබා දී තිබේ. මෙය සිරිතක් ලෙස පැවත විත් දැන් දුම්රිය රියදුරන්ට වාර්තාගත අතිකාල දීමනා ලැබේ. එහෙත් ඇතැම් දුම්රිය රියදුරන් පවසන ආකාරයට ඔවුන් සෑම අයෙකුටම එසේ දුම්රිය අතිකාල දීමනා නොලැබේ. එලෙස විශාල ආදායමක් ලැබෙන්නේ තෝරාගත් සුලු පිරිසකට පමණි. කෙසේ වෙතත් අතිකාල දීමනා පැය සියයකට වඩා ඉල්ලීම සහ ගෙවීම වැරැද්දකි. අතිකාල යනු වැඩ කරන ලද පැය ගණනට ගෙවන අමතර දීමනාවකි. දුම්රිය රියදුරු වැනි රැකියාවකදී සේවකයා වැඩිපුර වෙහෙසට පත් කරන පරිදි අතිකාල නොගෙවා, හොඳ වැටුපක් මගින් සේවකයාට ප්‍රතිලාභ සලසන්නේ නම් එය මනාය.
6. දුම්රිය කඹ ඇදීම
ලංකා දුම්රිය සේවයේ වෘත්තීය සමිති ගණනාවකි. ඔවුන් අතර එක මතයකට සියලු සංගම් එකතු වන අවස්ථාවක් නැත. දුම්රිය සේවකයින්ගේ සංගම් ගණන ශ්‍රේණි අනුව, පක්ෂ අනුව අති විශාලය. එම නිසා එක් එක් කාර්යයන්හි නිරත වන වෘත්තිකයින් අතර වෘත්තිය සමිති මගින් ඇතිකර තිබෙන බැඳීම් මත ඔවුනොවුන් අතර සුහදත්වය අවමය. සියලු දෙනාම එකතු වී, මහන්සි වී මගීන්ට සුපිරි දුම්රිය සේවයක් ලබා දෙන්නට දුම්රිය සේවකයින් එකතු කරගැනීම අමාරුය. මේ දුම්රිය සේවකයින් අතර තිබෙන වෘත්තිය සමිති සංඛ්‍යාව පිටුපස සැඟවී සිට, දේශපාලනික පොර පිටියේ බොරදියේ මාලු බාන අයද එමට සිටිති.
7. පුද්ගලීකරණය
පුද්ගලීකරණය කළ හැකි ආකාර දෙකකි. එකක් නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණය කළ ආකාරයට එහි කොටස් ලොව එවකට මුල් පෙළේ ජපාන එන් ටී ටී වැනි සමාගමකට කොටස් හරහා පුද්ගලීකරණය කිරීමයි. අනෙක් ක්‍රමය නම් හිඟුරාණ සීනි කම්හල වැනි ආයතන පුද්ගලීකරණය කළ ආකාරයයි. එහිදී හිඟුරාණ කම්හල බාරගත් ඇතැම් අය සීනි කම්හලේ වටිනා යන්ත්‍ර සූත්‍ර පවා ගලවා, යකඩ වලට විකුණා එහි සියලු දේම සුන්කර දමා තිබුණි. කොළඹ ඇති ඉඩම්, ධාවන තත්ත්වයේ පවතින මිලියන ගණන් මිල එන්ජින්, ගොඩනැගිලි ආදී භෞතික සම්පත් රැසක් ඇති දුම්රිය, විනාශකාරීන්ට කුට්ටි කර විකුණා විශාල මිලක් ලබාගත හැකි සම්පතකි. එබැවින් දුම්රිය පුද්ගලීකරණය කරන්නැයි ඉල්ලීම පටු ඉල්ලීමකි. මහජනයා එකතු වී හොඳ සේවයක් රජයෙන් ඉල්ලීම කළ යුතුය. එතැනදී පුද්ගලීකරණය ගැන අදහසක් තිබේ නම් එය කෙසේ සිදුවන්නේද යන්න ගැනත් මහජනයා දුම්රිය මගී සංගම් හරහා අවදියෙන් සිටිය යුතු වේ.
8. දුම්රිය සේවාව යාවත්කාලීන කිරීම
දුම්රිය රියදුරන් පමණක් නොව සමස්ථ ලාංකික දුම්රිය සේවයම තවමත් පැරණි ආකෘතියෙන්ම ක්‍රියාත්මක වේ. පාරිභෝගික මගී ජනයාට ලැබෙන සේවාව බොහෝ තැන්වලදී සතුටුදායක නැත. තාක්ෂණය යහමින් යෙදෙන මේ කාලයේ තවමත් පැරණි ක්‍රමයේ ටැබ්ලට් සිග්නල් මාර්ගවල භාවිතා වේ. තවමත් ටිකට් පත් යන්ත්‍රවලින් නිකුත් නොවන අතර, පැරණි ක්‍රමයට වැඩි වේලාවක් ගෙන ටිකට් පත් නිකුත් කරනු ලැබේ. දුම්රිය සේවාව දියුණු කිරීමට සැබැවින්ම තවත් අලුතින් පෙට්ටි, ගැල් සහ එන්ජින් වලට අමතරව එහි සැකැස්මේ විශාල සැලකිය යුතු වෙනසක් අත්‍යාවශ්‍ය වේ. දුම්රිය සේවකයින් හෝ රියදුරන් යම් වැඩවර්ජනයක නිරත වනවිට ඒ හරහා මගීන් කුපිත වීම සාධාරණය. එහෙත් ඒ ජනතාව කුපිත වීම පිටුපස කිසිම සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් නොගෙන බකන් නිලා පාලකයින් පිරිසක් සිටින බව අවබෝධ කරගෙන, ඒ පාලකයින් අවදිකරගැනීමට මගීන් ක්‍රියාකළ යුතුය. එසේ නොමැතිව නිරපරාදේ දුම්රිය සේවකයින්ට පහර දීමෙන් හානිවන මානව සම්පත නිසා අවසානයේ සිදුවන්නේ අපේ දුම්රිය සේවය තවත් අවුලෙන් අවුලට පත් වීම පමණි.
Cover Image Source – metro.co.uk/ srilankamirror.com
Leave a Reply