Meeting එකකදී කැපිලා පේන්න කරන්න ඕන දේවල්

Meeting කියන්නෙ ඉතින් වචනෙ ඇහුවත් දවසම එපා වෙන ජාතියෙ වැඩක්නෙ. කොච්චර වැදගත් වැඩක් වුණත් කට්ටියක් එකතුවෙලා වරු ගාණක් කතා කර කර කාලෙ කනකොට, එකතැනක ඉඳගෙන ඉන්න වෙනකොට එපා වෙන එක අහන්නත් දෙයක්ද ඉතින්. මොකද කොච්චර විනෝදෙන් කාලෙ ගෙවන්න පුළුවන් ඔෆිස් එකක උනත් Meeting එකක් කියන්නෙ ඉතින් හැමෝම උවමනාවෙන්ම වැදගත් විදිහට හැසිරෙන මහා බෝරින්ග් වැඩක් නෙ. ඒ අතරෙ කොහොමද තමන්ට ලොකුවට අදාළ නොවෙන ඒත් කොහේ හරි කොනකින් ගෑවිලා ඉන්න නිසා නොයාම බැරි Meeting එකක් සෙට් උණහම?

හැබැයි ඉතින් මේ කොයි මීටිමත් අපිට එපා වුණාට Management එකටනම හරිම වැදගත්. එපාම කරපු Meeting ගන්නව තරම් ආස වැඩක් එයාලගෙ රැකියා ජිවිතේ තවත් නැති තරම්. එහෙනම් බලමුද අකැමති වුණත් නොයාම බැරි මේ Meeting වලට ගිහිල්ලා Management එකත් ශේප් කරගෙන පොරක් වගේ කැපිල පේන්නෙ කොහොමද කියල?

 

 

1. SMART ඇඳුමක්

ඇඳුමෙන්, පැළඳුමෙන් මිනිස්සු මනින්න බැහැ කියලා අපි කියනව තමයි. හැබැයි ඔය කතාව වෙන කොතැනට අදාළ වුණත් ඔෆිස් එකක් ඇතුළටනම් අදාළ වෙන්නෙ නැහැ. ලස්සනට, පිළිවෙලට, Professional විදිහට අඳින තරමට ඔෆිස් එකක ඔයාට තියෙන තැන ඉහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඳුමට ගැලපෙන හැසිරීමත්. සුපිරියටම ඇඳගෙන මෝඩයෙක් වගේ හැසිරිලා බැහැනේ. ලස්සනට ඇඳලා ඇඳුමටම ගැලපෙන්න වැදගත් විදිහට කතාබහ කරලා ඉන්න එක ඔෆිස් එකක එදිනෙදා වැඩවලට වගේම විශේෂයෙන්ම Management එකත් එක්ක කෙරෙන Meeting එකකදි වගේ තැනකදී ඔයාට සෑහෙන්න වටිනාකමක් එකතු කරනවා. 

 

 

2. වෙලාවට යන්න

අපායට ගියත් කලින් යන්න කියලා කතාවක් තියෙනවනෙ. මේකත් ඒ වගේම වැදගත්. Meeting එකකට යනවනම් පුළුවන් තරම් Meeting එක පටන් ගන්න විනාඩි 5ක් වත් කලින් ඇතුළට යාගන්න බලන්න. ඒකෙ වාසි ගොඩක් තියෙනවා. ඇවිදගෙන ඇවිල්ලා, පඩිපෙළ නැගලා, දාඩිය දාලා තියෙනවනම් Meeting room එකේ ෆෑන් එක හරි A/C එක හරි තියෙන නිසා මහන්සිය නිවාගෙන Fresh පෙනුමකින් ඉන්න පුළුවන්. තමන්ට පහසුයි කියල හිතෙන තැනකින් නිදහසේ වාඩිවෙන්න පුළුවන්. Meeting එකේ ඔයාටත් Presentation එකක් කරන්න තියෙනවනම් වටපිටාව, තාක්ෂණික මෙවලම් ගැන අවබෝධයක් ගන්නත් පුළුවන්. ඒ ඔක්කොටමත් පස්සෙ Management එකට ඔයා ගැන නරක අදහසක් නොදී ඉන්න පුළුවන්. මොකද Meeting එක පටන් ගත්තට පස්සේ දාඩිය දාගෙන දුවගෙන ඇවිල්ලා, අපහසු සීට් එකක ඉඳගෙන ආත බූත නැතුව උඩබිම බලනකොට අනිත් අයට ඔයාව පේන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඉතින්.

 

 

3. වටිනා කාලය

ඔන්න දැන් කියන්න යන්නෙ අනිත් අය අතරේ උවමනාවෙන්ම කැපිලා පේන්න කරන්න පුළුවන් දේවල්. ඔන්න වෙලාවටම Meeting එකට ගියා කියමුකෝ. Meeting එක පටන් ගන්නකන් චැට් එකක් දාගෙන ඉන්න අහල පහළ සෙට් වෙන අයත් එක්ක පොඩි පම්පොරියක් ගහන්න. ඒ කිව්වේ “මට මේ Meeting එක ඉවරවෙන ටයිම් එකටම තව Meeting එකකට යන්න තියෙනවා”, ඒක අහවල් වැදගත් පුද්ගලයාත් එක්ක Meeting එකක්” වගේ ඒවා. විශේෂයෙන්ම Sales, Marketing පැත්තේ Meetings වලට මේ trick එක හරිම වැදගත්. “අම්මටසිරි, මේ  මනුස්සයට මාර වැඩ තොගයක් තියෙනවනෙ” වගේ හැඟීමක් client ට එන්න පුළුවන්.

 

 

4. හැමදේම ප්‍රශ්න කරන්න 

ඔන්න ඊළඟට Meeting එකේ පොර වගේ හැසිරෙන්න ඕන. ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳලනම් හරියන්නෙ නැහැ පුතෝ. අහන හිටියෙ තැන් තැන් වලදී විතරක් උනත් කමක් නැහැ දෙතුන් තැනකදිවත් ඇහෙන දේවල් ප්‍රශ්න කරන්න. එතකොට ඔයා Meeting එක ගැන මාරම උනන්දු බවක් අනිත් අයට දැනෙනවා. කවුරුහරි Presentation එකක් කරනවනම් ඒ Slides වල තියෙන දේවල් ප්‍රශ්න කරන්න. තව Slide එකක් ආපස්සට ගන්න කියලා ඉල්ලන්න. ඒ ගැන නැවත පැහැදිලි කිරීමක් ඉල්ලන්න. හැබැයි ඉතින් මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතුව ටිකක් Smart වෙන්නත් ඕන. 

 

 

5. සවන්දෙන මුහුණ

මේකත් කලින් කිව්ව වගේම එකක් තමයි. අහන් ඉන්නෙ නැති වුණාට බොරුවට හරි අහන ඉන්න බව අඟවන්න. සැරින් සැරේ ඔලුව වනන්න. හොඳට කතා කරන කෙනාගෙ මුහුණ දිහා බලන් ඉන්න. පෑනක් පොතක් හරි, නැත්තම් ලැප්ටොප් එකක් හෝ ටැබ් එකක් ගෙනියනවානම් ඒකෙ හරි කියන දේවල් සටහන් කරගන්නවා වගේ බොරුවට පෙන්නන්න. 

 

 

 

6. Important Telephone Call එකක්

මේකනම් හැබැයි ඉතින් නිතරම කරන්න ගියෝත්නම් ටිකක් අවුල් වෙන වැඩක්. ඒ කිව්වෙ හැම තිස්සෙම Meeting එකක් අතරේ Telephone calls ගන්න තියාගන්නනම් එපා. ඒක ඇත්තෙන්ම ඔයාගෙ ගැන ඇතිවෙන Impression එකට හොඳ නැහැ වගේම ඇත්තෙන්ම Meeting එක වැදගත් අයටත් කෙරෙන ලොකු බාධාවක්. හැබැයි ඉඳලා හිටලා, Meeting දෙක තුනකට එකකදී වගේ ටිකක් වැදගත් Telephone call බව අඟවමින් Excuse කරලා එලියට යන එකෙනුත් ඔයාට අනික් අයගේ අවධානය වැඩියෙන් යොමු වෙනවා. ඒකත් එක්ක ඇඳුම පැළඳුම, කලින් කිව්ව ටිප්ස් ටිකත් එකතු වුණාම ඉතින් පොරක් කියල කැපිල පේන්න වැඩිය අමාරු නැහැ.

 

 

7. අන්තිමේදී Meeting එකේ සාරාංශයක් ඉල්ලන්න

Meeting ඇත්තටම ඔයාට සත පහකටවත් වැඩක් නැති, හද්දම බෝරින් එකක් උනත් කමක් නැහැ. ඔක්කොම ඉවර උණාට පස්සෙ Meeting එක මෙහෙයවපු, එහෙමත් නැත්තම් ඔයාට Meeting එකට ආරාධනා කරපු කෙනාගෙන් Meeting එකේ සාරාංශයක් ඉල්ලන්න. ඔයා Meeting එක ගැන පුදුම උනන්දුවක් දක්වන බව නිකන්ම හිතෙනවා හැමෝටම. ඒ විතරක් නෙමෙයි කිසිම උනන්දුවක් නොතිබ්බ නිසා ඇත්තටම පොඩ්ඩක්වත්ම අහගෙන හිටියෙත් නැත්තම් පස්සෙ ඕන වෙන්න පුළුවන් වැදගත් Points ටිකත් ඒ සාරාංශය එක්කම එනවනේ. වැඩ දෙකම ඒකෙන් ගොඩදාගන්න පුළුවන්.   

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *