මේ ලිපි පෙළ පිළිබඳව ආයෙමත් අලුතෙන් හැඳින්වීමක් ඔබට කරන්න ඕනේ නැති නිසා අපි කෙලින්ම රුසියාව තුළ සැඟවිලා තියෙන ඉතිරි සමූහාණ්ඩු කිහිපය පිළිබඳවත් දැන කියාගමු. අදින් මේ ලිපි පෙළ නිම වෙනවා.
1. කෝමි (Komi)
යූරල් කඳුවැටියේ බටහිර කොටස ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම සමූහාණ්ඩුව තුළ ප්‍රධාන ජන වර්ගය වන්නේ කෝමි ජන වර්ගයයි. රුසියානු ජාතිකයන්ගේ බලපෑම මෙම ප්‍රදේශවලට දොළොස්වන සියවසේදී පමණ සිට බලපෑ අතර කලක් අපරාධකරුවන් පිටුවහල් කරන ප්‍රදේශයක් ලෙසද භාවිතා වුණා. වර්තමානයේ දී මෙම සමූහාණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තෙල් පිරිපහදු කිරීමයි. මීට අමතරව ලී කර්මාන්තය, ස්වාභාවික ගෑස් සහ විදුලි ජනනය ද මෙම සමූහාණ්ඩුවේ ආර්ථිකය ශක්තිමත් කරනවා.
2. මරි එල් (Mari El)
වොල්ගා නදියේ උතුරු ඉවුර ආශ්‍රිතව පාරම්පරිකව ජීවත්වන මරි නම් ජන වර්ගය වෙනුවෙන් මෙම සමූහාණ්ඩුව වෙන්ව පවතිනවා. කෙසේ නමුත් සංඛ්‍යාලේඛනවලට අනුව මෙම සමූහාණ්ඩුවේ වැඩි ජනගහණයක් රුසියානුවන්ගෙන් සමන්විත වෙනවා. මෙහි භූමි ප්‍රමාණයෙන් සියයට පනහක් පමණ වන වැස්මෙන් වැසී පවතින අතර අනෙකුත් සමූහාණ්ඩුවලට සාපේක්ෂව මෙය ස්වාභාවික සම්පත් හා කාර්මීකරණය අතින් අවම තත්ත්වයක පසු වනවා .
3. මොඩෝවියා (Mordovia)
මොඩෝවියන් ජන වර්ගය ජීවත්වන මෙම සමූහාණ්ඩුව කලක් මොන්ගෝලියානු අධිරාජ්‍යය යටතේ පාලනය වූ අතර පසුව එහි බලය රුසියානු අධිරාජ්‍යයට හුවමාරු වුණා. ඒ සමගම රුසියානු ඕතඩොක්ස් පල්ලිය මෙම ප්‍රදේශවල ජනතාවගේ ආගම වෙනස් කිරීමට උත්සාහ කළත් එය සියයට සීයක් සාර්ථක වුණේ නැහැ. ඔවුන් නාමික ක්‍රිස්තියානි භක්තිකයන් බවට පත් වුණත් සිය සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා. වර්තමානයේදී කාර්මීකරණය මගින් මෙම සමූහාණ්ඩුව විපුල ඵල ලබාගෙන තිබෙනවා.
4. උතුරු අෂේටියා – අලේනියා (North Ossetia – Alania)
උතුරු කොසැක්ස් කඳු පන්තිය ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම සමූහාණ්ඩුව මුල් කාලයේදී ජනාවාස කරන ලද්දේ ගෝත්‍රික ප්‍රජාව විසින්. ඇලන්ස් නම් එඬේර ප්‍රජාව හත්වැනි සියවසේ දී මෙම ප්‍රදේශවලට පැමිණි අතර ඔවුන් විසින් රාජධානියක් ගොඩ නගනු ලැබුවා. පසුව මෙම ප්‍රදේශ මොංගල්වරුන්ගේ සහ ටාටර්වරුන්ගේ ග්‍රහණයට ලක්වූ අතර පසුව එම ප්‍රදේශ රුසියානුවන්ට යටත් වුණා. ඒ සමගම දුම්රිය මාර්ග තැනීම ආදිය මගින් මෙම ප්‍රදේශවල පැවැති හුදකලාභාවය නැති වූ අතර ශීඝ්‍ර කාර්මීකරණයකට ලක් වුණා. වර්තමානයේදී මෙම සමූහාණ්ඩුව සංචාරක කර්මාන්තය සඳහා තම මව්බිම විවෘත කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටිනවා.
5. සඛා (Sakha)
සඛා නම් ප්‍රජාව වෙනුවෙන් වෙන් වී තිබෙන මෙම සමූහාණ්ඩුව ලෝකයේ රටක් තුළ පවතින විශාලතම පාලන ඒකකයට හිමි වාර්තාවටද හිමිකම් කියනවා. මේ නිසාම මෙම සමූහාණ්ඩුව තුළ කාල රේඛා තුනක් භාවිතා වෙනවා. ස්වභාවික සම්පත්වලින් අනූන මෙම ප්‍රදේශය ගංගා සහ විල් ගණනාවකින් පෝෂණය වනවා. වර්තමානයේ දී කර්මාන්ත වලට ප්‍රමුඛතාවය ලබා දුන් ආර්ථිකයක් මෙම සමූහාණ්ඩුව තුළ පවතිනවා.
6. ටාටර්ස්ථානය (Tatarstan)
අතීතයේ දී මෙම භූමි ප්‍රදේශය ආශ්‍රිතව කසාන් රාජධානිය පැවතුණු අතර පසුව එය රුසියානු අධිරාජ්‍යයට යටත් වුණා. එම රාජධානිය ඉස්ලාම් බැතිමතුන්ගෙන් සමන්විත වූ අතර රුසියාව විසින් මෙම ප්‍රදේශය ක්රිස්තියානිකරණය කිරීමට දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ගෙන යාමට කටයුතු කළා. රුසියානු විප්ලව සමයේ සිටම නිදහස් රාජ්‍යයක් ලෙස තම රටට අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට මෙම සමූහාණ්ඩුවේ ප්‍රමුඛතම ජන වර්ගය වන ටාටර්වරු දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටිනවා.
7. ටුවා (Tuva)
මධ්‍යම ආසියාවේ පිහිටා තිබෙන මෙම සමූහාණ්ඩුව ඉතිහාසය තුළ චීන සහ මොංගල් අධිරාජ්‍යය යටතේ පාලනය වු අතර රුසියානු අධිරාජ්‍යය සමග එක්වූයේ 1912 දී පමණයි.ගල් අඟුරු, යකඩ නිධි කෝබෝල්ට් ආදී ඛනිජ සම්පත්වලින් අනූන මෙම සමූහාණ්ඩුව තුළ ගංගා අටදහසක් පමණ තිබෙන බව සංඛ්‍යාලේඛණ පවසනවා. මෙහි වැඩි ජනගහණයක් ටිබෙට් බුද්ධාගම අදහනවා.
8. උඩ්මුර්ෂියා (Udmurtia)
මෙම සමූහාණ්ඩුවේ නමහි තේරුම තෘණ බිම් ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව යන්නයි. මෙම සමූහාණ්ඩුව තුළ රුසියානුවන් වැඩි ජනගහණයක් සිටින අතර උඩ්මුර්ට්වරු ලෙස හැඳින්වෙන දේශීය ප්‍රජාව අඩු ප්‍රතිශතයකින් යුක්ත වනවා. බටහිර යූරල් කඳුවැටිය ආශ්‍රිතව මෙම සමූහාණ්ඩුව පිහිටා තිබෙන අතර විචිත්‍රවත් ජන සංස්කෘතියකටද උරුමකම් කියනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply