අපිට පුංචි කාලේ ඉඳලම කියන දෙයක් තමයි කම්මැලි වෙන්න එපා කියන එක. මතකද, පුංචි කාලෙදී අපිට කුහුඹුවන්ව ආදර්ශයට ගන්න කියනවා, මී මැස්සන්ව ආදර්ශයට ගන්න කියනවා. එහෙම ආදර්ශයට අරගෙන කම්මැලි නොවී, උදාසීන නොවී ජීවත් වෙන්න කියනවා! හැබැයි ඉතින් ඇත්තටම කම්මැලි නොවී ඉන්න කිවුවට, කම්මැලි නොවී ඉන්නේ කොහොමද කියලා කවුරුවත් කියලා දුන්නෙ නැහැනේ. ඉතින් අපි ඔය කම්මැලි නොවී ඉන්න කියන අවවාද හිස්මුදුනෙන් පිළිඅරගෙන, හැබැයි ලෝක කම්මැලියෝ විදියට ලොකු වෙනවා!
ඇත්තටම කම්මැලි වීම, උදාසීනත්වය නිසා වැඩ කල් දැමීම වගේ දේවල් ජීවිතේට ඒ තරම් හොඳ දේවල් නෙවෙයි. මොකද ජීවිතේ ඉෂ්ට කරගත යුතුම යම් යම් දේවල් අපේ අතින් ගිලිහී යන්නත් මේ උදාසීනත්වය, කම්මැලිකම හේතු වෙන්න පුළුවන්. Lifie.lk එකෙන් අපි කලිනුත් කියලා තියෙනවා, උදාසීන වීම සහ කම්මැලි වීම නිසා කෙනෙක්ගේ ජීවිතෙන් මගහැරෙන්න පුළුවන් වටිනා දේවල් ගැන.
උදාහරණ විදියට ගත්තොත්, ජිම් එකට යන්න සහ සමබරව ආහාර ගන්න තියෙන කම්මැලිකමට අපි අලගෙඩි වගේ මහත් වෙන්න තෝරගන්නවා. එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා කරන්න තියෙන කම්මැලි කම නිසා විබාගෙට දවස් දෙක තුන තියලා ෆුල් ස්ට්‍රෙස් පිට වැඩ කරලා සමහර වෙලාවට විභාග ඇණගන්නවා. අපිට ජීවිතේ සාක්ෂාත් කරගන්න ඕන දේවල් වෙනුවෙන් වැඩ කරන්න තියෙන කම්මැලි කමට ඒවා හෙටට කල් දදා ඉඳලා අන්තිමට ඒවා දවල් හීන විදියටම ඉතුරු කරගෙන මැරිලා යනවා.
අන්න ඒ නිසා අපි හිතුවා, කම්මැලි නොවී ඉන්න කියනවා වෙනුවට, කම්මැලි නොවී ඉන්නේ කොහොමද කියලා කියලා දෙන්න.
1. ගිය දේ ගියාවේ
පළවෙනිම දේ තමයි අපිට කාලය හරහා ආපස්සට ගිහින් දේවල් වෙනස් කරන්න බැහැයි කියන එක තේරුම් ගන්න එක. සමහර වෙලාවට අපි ජීවිතෙන් අවුරුදු දහයක් පහළොවක් නාස්ති කරලා ඇති කම්මැලි කමට, දවල් හීන බල බලා ඉන්න. හැබැයි ඉතින් අපිට ආපස්සට යන්න බැහැනේ. අන්න ඒ නිසා අපි ඒකට අපිටම බැණ බැණ, දුක් වෙමින් ඉඳලා වැඩක් නෑ. ඉතින් කම්මැලිකමෙන් අත්මිදිලා හරියට වැඩ පටන් ගන්න නම්, ගිය දේ ගියාවේ කියන දර්ශනේ තේරුම් ගන්න සහ පිළිගන්න වෙනවා. අපේ හුස්ම වැටෙනවා නම්, තාමත් අපි ප්‍රමාද නෑ කියන එක අවබෝධ කරගන්න වෙනවා. අද ඉඳන් හරි වැඩේ පටන් ගන්න එක තමයි වෙන්න ඕන කියලා පිළිගන්න වෙනවා. අන්න ඒක තමයි පළවෙනි ස්ටෙප් එක.
2. එක සරල පියවරකින් පටන් ගමු
සාමාන්‍යයෙන් අපිට හීන දකින්න ලේසි වුණාට, ඇත්තටම කම්මැලි කම අතෑරලා ඒ හීන හැබෑ කරගන්න ඕන කියලා හිතුවත්, කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතාගන්න එක ලේසි නෑ. ඇයි ඉතින් පොඩි වැඩකුත් නෙවෙයිනේ. උදාහරණයක් විදියට ගත්තොත් ඇඟ අඩු කරලා, ලස්සන ඇඟක් හදාගන්න එක ගමු. දැන් ඕක ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා කල්දාන එක වළක්වාගන්න කරන්න පුළුවන් දේ තමයි, ඒක එක පාරටම ලොකුවට වැඩක් විදියට කරන්න යන්නෙ නැතුව පහසුවෙන් කරන්න පුළුවන් පොඩි දේවල් කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, දවසට විනාඩි දහයක් ඇවිදිනවා. අමාරු නෑනේ. හැබැයි පටන් ගැන්මට අවුලකුත් නෑ. ආන්න ඒ විදියට කම්මැලිකම දුරුකරලා කරන්න හිතන ඕන වැඩක් සරල පියවරකින් තමයි පටන් ගන්න ඕන. එතකොට අතරමග ඇණහිටින්නෙ නැතුව ඇදගෙන යන්න පුළුවන්.
3. මැනේජ් කරන්න පුළුවන් කොටස් වශයෙන්
උඩ කියපු දේම තමයි මෙතනදීත් වෙන්නේ. අපිට කම්මැලිකම නැතුව දෙයක් කරන්න ඕන කියලා හිතුවත් ඔන්න හිතෙනවා මේක පට්ට අමාරු ප්‍රොජෙක්ට් එකක්නේ කියලා. ඉතින් ඒ අමාරු කම නිසාම වැඩේ අල්ල අල්ල ඉඳලා ඔන්න ඔහේ කියලා අතෑරලා දානවා. හැබැයි ඇත්ත කතන්දරේ මේකයි. ඕනම අමාරු, සංකීර්ණ ප්‍රොජෙක්ට් එකක් හැදෙන්නේ පොඩි පොඩි වැඩ එකතුවෙලා නෙවෙයිද? අන්න ඒ නිසා කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා.
එකක් තමයි ප්ලෑනක් ගහන එක. එතනදී අපිට පුළුවන් අපිට කම්මැලි කම අතෑරලා දාලා කරන්න ඕන දෙයක් පොඩි කොටස් වලට, පොඩි වැඩ වලට කඩා ගන්න. ඊට පස්සේ අවධානය යොමු කරන්න ඕන ඒ පොඩි කොටස් වලින් එක් එක් ඒවාට විතරයි. දෙවෙනි දේ තමයි ඒ පොඩි වැඩ එක එකක් කරන එක. අන්න එතකොට අපි දන්නෙම නැතුව ලොකු වැඩේ සිද්ධ වෙලා ඉවරයි.
4. කම්මැලි වෙලාවයි, වැඩ කරන වෙලාවයි
දැන් එක දිගටම වැඩ කරගෙන කරගෙන යන එක පොඩ්ඩක් පුරුදු වුණහම ෆන් තමයි. හැබැයි ඒ ෆන් එක හැමදාම තියෙන්නේ නෑ. එක දිගටම වැඩ කරනකොට කාට වුණත් එපා වෙනවා. ඒ වගේම තමයි, කම්මැලි කම අත ඇරලා මුල් වතාවට වැඩ කරන මනුස්සයෙක්ට වුනත්. එක දිගටම වැඩේ යනකොට එපා වෙනවා. එතකොට ආයෙමත් කම්මැලිකම පැත්තට ඇදෙන්න පටන් ගන්නවා. ආන්න ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි වැඩ කරන අතරතුර පොඩි පොඩි බ්‍රේක්ස් ගන්න එක. ඒ කියන්නේ එකක් දවසේ වැඩ අතරේ පොඩි බ්‍රේක්ස් ගන්න එක. ඊලඟය එක දිගට වැඩ කරන්නේ නැතුව සතියකට දවසක් හෝ නිවාඩුවක් ගන්න එක. ඒ වගේම අවුරුද්දකට සතියක හෝ දෙකක ලොකු බ්‍රේක්ස් ගන්න එක. මේ බ්‍රේක්ස් වල ඇති තරම් කම්මැලි සුවය විඳින්න පුළුවන්. අන්න එතකොට වැඩ කරන ටිකත් හොඳ කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුළුවන්.
5. කම්මැලි උත්තේජන තාවකාලිකව වහලා දාමු
මේකත් අපි ඔය කාර්යක්ෂමතාවය දියුණු කිරීම වගේ ටොපික්ස් වලදී කියලා තියෙන දෙයක්. ඒ තමයි අපේ කම්මැලිකම උත්තේජනය කරන දේවල් තාවකාලිකව ඉවත් කිරීම. උදාහරණ ගමුද? මලාට ඇඳක් තියෙන තැනක වැඩ කරන්න එපා. අඩු තරමින් සුවපහසු සෝපාවක්, පුටුවක් තියෙන තැනකවත් වැඩ කරන්න තෝරගන්න එපා. හිතෙන්නෙම ගිහින් ඇලවෙන්න. එතකොට වැඩ කරන අතරතුර කම්මැලි හිතිලා ෆේස්බුක් යන්න ෆෝන් එක අතට ගන්න හිතෙනවා නේද? හිත දැඩිකරගන්න. පුළුවන් නම් වැඩ කරන වෙලාවට ඔය සෝෂල් මීඩියා වලින් ලොග් අවුට් වෙලා හිටියත් කමක් නෑ. ඔන්න ඔය වගේ අපි කම්මැලි කමට කරන දේවල්, වැඩ කරන වෙලාවට කරන්න තියෙන ඉඩ අහුරලා දාන්න.
6. හීන දකින්න, හැබැයි හීන හැබෑ කරගන්න පාරත් මැප් කරගන්න
ඇත්තටම අපි උඩිනුත් කිවුවා වගේ, අපි හැමෝටම වගේ හීන තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ හීන හැබෑ කරගන්නෙ නැතුව මැරිලා යනවා. ඇත්තටම මේ හීන හැබෑකරගන්න බැරි, ඒකට මුදල් හදල්, තත්ත්වය, බලය වගේ දේවල් නැති හින්දම නෙවෙයි. ගොඩක් වෙලාවට ඒකට හේතුව හීන හැබෑ කරගන්න හරියට මැප් එකක් ගහගන්න දන්නෙ නැති නිසා. උදාහරණයක් විදියට කිවුවොත්, හොඳට සල්ලි හම්බුකරන්න නම් හොඳ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න ඕන. ඒකට දැනුම ඕන. දැනුම ලබාගන්න ඉගෙන ගන්න ඕන.
දැන් කම්මැලි කම දුරලන එකට මේ හීන හැබෑ කරගැනීමේ තියෙන සම්බන්ධේ මොකද්ද? ඇත්තටම හීන විතරක් තියෙන, ඒවලට යන්න පාර නොදන්න මනුස්සයෙක්ට තමන්ගේ කුසීත කමෙන් මිදෙන්න අමාරුයි. ඒත් මැප් එක අතේ තියෙන මනුස්සයෙක්ට, ඒක අලස ගති අතෑරලා අළු ගසාදාලා නැගිටින්න හොඳ උත්තේජනයක් වෙන්න පුළුවන්. ඒක තමයි සම්බන්ධේ.
7. ජීවිතේ සංකීර්ණ බව අඩු කරගන්න
අපේ ජීවිතේ හොඳ සංකීර්ණත්වයක් සහ නරක සංකීර්ණත්වයක් තියෙනවා. හොඳ සංකීර්ණත්වයක් කියන්නේ හරියට සර්කිට් එකක් වගේ. නරක සංකීර්ණත්වයක් කියන්නේ කුණු රොඩු පිරුණු වතුර බටයක් වගේ. අන්න ඒ නිසා අපි මේ නරක සංකීර්ණත්වය, ව්‍යාකූලත්වය ජීවිතෙන් අයින් කරගන්න ඕන. එහෙම නැතිනම් අපි ලේසියෙන්ම තෝරගන්නේ පැත්තකට වෙලා ආයෙමත් කම්මැලි වෙන්න.
මෙතනදී අපිට වෘත්තිය ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේත් තියෙන ව්‍යාකූලත්වය නැති කරගන්න වෙනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය වෙන වෙනම පවත්වා ගන්න වෙනවා. ඒ ඇරෙන්න අපේ මේ ජීවිත දෙකේම තියෙන අනවශ්‍ය ක්‍රියාකාරකම්, අනවශ්‍ය සංවේදී තැන්, අනවශ්‍ය හැඟීම් පිටාර ගැලීම් නවත්වා ගන්න වෙනවා.
8. ප්‍රමුඛතාවයන් හරියට
අපේ ජීවිතේ වුනත්, වැඩ කරන දවසකදී වුනත් ප්‍රමුඛතාවයන් මොනවද කියලා තීරණය කරගන්න එකත්, කම්මැලිකමෙන් අත්මිදෙන්න අවශ්‍යයි. මොකද, එතකොට කම්මැලි නැතුව ඒ වැඩ ටික ඉවර කරලා විවේකෙන් ඉන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒක කම්මැලි නොවෙන්න හොඳ උත්තේජනයක්.
මෙතනදී අපිට අපෙන් අහලා බලන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. “අපිට වැඩ කරන්න තියෙන්නේ අද දවසට පැය දෙකයි නම්, අපි මොනවද ඒ පැය දෙකේ කරන්නේ?”. “අපිට අද පැයක ෆ්‍රී වෙලාවක් තියෙනවා නම්, අපි ඒ ෆ්‍රී පැයේ මොනවද කරන්නේ?”. ආන්න ඒ ප්‍රශ්න දෙකට හරියට උත්තර හොයාගත්තා කියන්නේ, අපේ දවසේ ප්‍රමුඛතාවයන් අඳුනාගත්තා කියන එක. ආන්න ඊට පස්සේ ප්‍රමුඛතාවය අනුව වැඩ කරන්නයි තියෙන්නේ.
9. ආශ්‍රය කරන්නේ කවුද?
ඇත්තම කිවුවොත් ජීවිතේ කම්මැලිකම දුරලා ජයගන්න අපි ආශ්‍රය කරන මිනිස්සු අතිශයින්ම වැදගත් වෙනවා. ඒ විධි දෙකකට. එකක් තමයි, අපි ආශ්‍රය කරන්නේ සහ සමීප වෙලා ඉන්නේ ෆුල් නෙගටිව්, කම්මැලිකමෙන්ම ඉන්න, චව් චව් මොඩ්ල් එකේ මිනිස්සු නං, අපිටත් ඒ මිනිස්සුන්ගෙන් කිසිම උත්තේජනයක් ලැබෙන්නෙ නෑ ජීවිතේ යමක් කරන්න. හැබැයි අපිට කැපවීමෙන්, උත්සාහයෙන් ඉස්සරහට යන, ප්‍රොෆෙෂනල්, තමන්ගේත් අනුන්ගේත් දියුණුව ගැන හිතන මිනිස්සු ආශ්‍රය කරන්න පුළුවන් නම්, ආන්න අපිටත් කුසීත, උදාසීන කම් වලින් මිදිලා, වැඩ කල් දමමින් ඉන්නෙ නැතුව ඉස්සරහට යන්න පුළුවන්.
එතකොට දෙවෙනි විදිය මේකයි. අපේ ජීවිතේ ඉන්න ඕන පර්සනල් කෝච් කෙනෙක්. ඒ කියන්නේ අපේ යහපත ප්‍රාර්ථනා කරන, අපි කම්මැලි වෙනකොට අපේ වටිනාකම පෙන්නලා දීලා අපිව ඉස්සරහට ඇනලා දක්කන ජාතියේ මනුස්සයෙක්. ඒ කියන්නේ අපිට ආදරේ කරන, අපිත් ආදරේ කරන, ඔක්කොටම වඩා අපි කීකරු වෙන කෙනෙක්. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, හොඳම යාලුවා වෙන්න පුළුවන්, ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. හැබැයි අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට පොඩි පුෂ් එකක් දීලා ඉස්සරහට යවන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්න ඕන!
10. ලයිෆ්ස්ටයිල් එකත් මැටර්ස්
මේක ඉතින් හැමදාමත් කියන දෙයක් තමයි. අපේ ජීවන රටාවනුත් ඇත්තටම අපි අලස, කුසීත කඳන් පණුවෝ වගේ ජීවත් වෙන එකට බලපානවා. අන්න ඒ නිසා සරලවම කිවුවොත් නිරන්තරයෙන් ව්‍යායාම කරලා, සමබර සහ පෝෂ්‍යදායී ආහාර වේලක් අරගෙන බැලන්ස් එකේ සෞඛ්‍ය සම්පන්නව ජීවිතේ ගෙනියන එක, ජීවිතේ විනෝදාස්වාදය සඳහා දේවල් තියෙන එක, ගේ ඇතුළටම වෙලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් එළිපහළියට බැහැලා ජීවත් වෙන එක එහෙමත් ඔය කුසීත, උදාසීන, කම්මැලි ජීවිතේ වෙනස් කරන්න වැදගත්.
ඒ විතරක් නෙවෙයි, එක දිගටම එකම තැනක වාඩි වෙලා හරි ඇලවෙලා හරි ඉන්නෙ නැතුව, පැය බාගෙකට සැරයක් වත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන එක පවා වැදගත්.
එහෙමනම්, අපි කම්මැලිකම් අතෑරලා, දියුණු වෙන්න වැඩ කරමුද? හාද? රෙඩීද?
Leave a Reply