පොත් කියවන ඈයෝ දෙකොටසක් ඉන්නවා. එක කොටසක් පොත් වලට ආදරෙයි, පොත් වලට ආසයි, පොත් එක්ක රොමෑන්ටික් බැඳීමක් තියෙනවා. ඒ අය පොත් කියවන්නේ දැනුම විනෝදය ලබාගන්න විතරක් නෙවෙයි, පොතක සුවඳ විඳින්න, පොතක පිටු අතගාන්න වගේ දේවලුත් ඒ අයට වුවමනායි. හැබැයි ඒකේ කිසීම වැරැද්දක් නෑ. හැබැයි අනෙක් කොටස පොත් එක්ක රොමෑන්ටික් බැඳීමක් තිබුණා හෝ නැතා හෝ පොත් කියවන්නේම දැනුම සහ විනෝදාස්වාදය ලබාගන්න. පොතක සුවඳ විඳින එක, පිටු පෙරළන එක ඒ අයත් කරනවා වෙන්න පුලුවන්. හැබැයි ඒ දේවල් නැතුව වුනත් ඒ අයට පොතක් කියවන්න පුලුවන්. දැන් ඇයි අපි ඊ-බුක් සහ ඊ-රීඩර්ස් ගැන මේ කතන්දර කියන්නේ? සරලයි. අපි කියපු පළමුවෙනි කොටස ඊ-බුක් රීඩර්ස් එක්ක මාරාන්තික තරහයි. ඒ අය හිතන විදියට ඊ-බුක් රීඩර්ස් කියන්නේ පොත් නැති කරන්න ආපු නව තාක්ෂණික මාරයෙක්. ඒ අය කියන විදියට ඊ-බුක් රීඩර් එකකින් කවදාවත් පොතක් කියවන සැබෑ හැඟීම ලබාගන්න බැහැ. ඒක ඇත්තද? ඒ ගැන තමයි අපි හොයලා බලන්න යන්නේ.
1. මොනවද ඊ-බුක්ස් සහ ඊ-බුක් රීඩර්ස් කියන්නේ?
පොත් කියනකොටම අපිට මතක් වෙන්නේ අතට අහුවෙන කොළ තියෙන, පිටු පෙරළන්න පුලුවන්, පිටුවල සුවඳ දැනෙන, පිටුවල අකුරු අච්චු ගහලා තියෙන භෞතික පොතක් නේ. ඒක හරි. එතකොට ඊ-පොතක් කියන්නේ මොකක්ද? ඊ-පොතක් නැතිනම් ඉලෙක්ට්‍රොනික් පොතක් කියන්නේ පිටු පෙරළන්න පුලුවන්, පිටුවල අකුරු තියෙන පොතක්. හැබැයි මේ පොත තියෙන්නේ ඩිජිටල් මාදිලියෙන්. ඒ කිව්වේ මොකක් හරි කම්පියුටරයක් හරි, ටැබ් එකක් හරි ඒ වගේ තිරයක් තියෙන ඉලෙක්ට්‍රොනික් උපාංගයකින් තමයි මේ පොත කියවන්න පුලුවන් වෙන්නේ.
එතකොට ඊ-රීඩර් නැතිනම් ඊ-බුක් රීඩර් කියන්නේ අන්න ඒ විදියේ ඊ-පොත් කියවන්න පුලුවන් තිරයක් තියෙන ගැජට් එකකට. බැලූ බැල්මට ඊ-බුක් රීඩරයක් හරියට ටැබ්ලට් උපාංගයක් වගේ තමයි. හැබැයි මේ ඊ-බුක් රීඩරයන්ගේ තියෙන්නේ ඊ-ඉන්ක් කියලා හඳුන්වන විදියේ කළු-සුදු තිරයක්. ඒ වගේම ඊ-රීඩරයක් බොහොම සැහැල්ලුයි.
2. හැබැයි ඇත්ත පොතක් කියවනවා වගේ නෑ නේද?
ඔව්, ඇත්ත පොතක වගේ කොළවල සුවඳ දැනෙන්නේ හරි, පිටු පෙරළන කොට අතට දැනෙන්නේ හරි නම් නෑ. ඒ නිසා පොතක් කියවන එකෙන් ඔය දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඊ-රීඩර් හරියන්නේ නෑ. හැබැයි එතනින් එහාට නියම පොතක් වගේම ඊ-රීඩරයක් පාවිච්චි කරන්න පුලුවන්.
උදාහරණයක් විදියට කිවුවොත්, අපි කිවුවනේ මේ ඊ-රීඩර් වල තියෙන්නේ ඊ-ඉන්ක් තිරයක් කියලා. මේ කළු සුදු තිරය හරියට මුද්‍රිත කොළයක් වගේම තමයි. කිසිම දිලිසීමක් එහෙම නෑ. ඒ නිසා පොතක් කියවන අත්දැකීමම මේ ඊ-බුක් රීඩරයකින් ලබාගන්න පුලුවන්. එතකොට ඊ-රීඩරයක් බොහොම සැහැල්ලු නිසා පොතක් අතේ තියාගෙන ඉන්න විදියටම සෑහෙන වෙලාවක් අතේ තියාගෙන කියවන්නත් පුලුවන්. පරණ තාලේ ඊ-රීඩර් වල පිටු පෙරළන්න තිබුණේ බට්න් දෙකක්. හැබැයි දැන් එන ඊ-ඉන්ක් තිර හැම එකක්ම ටච්ස්ක්‍රීන්. ඒ නිසා ඇඟිල්ලෙන් එහාට මෙහාට කරලා පිටු පෙරළන්න පුලුවන්.
ඔය පොත් කියවීම රොමාන්තීකරණය කරන අයට වැස්ස වෙලාවක, කෝපි එකක් බොන ගමන් පොතක් කියවන අත්දැකීම වගේ දේවල් බොහොම වැදගත්නේ. ඉතින් ඊ-පොතක් කියවන කොට වුනත් ඒ අත්දැකීම කරදරයක් නැතුව ලබාගන්න පුලුවන්.
3. ඊ-බුක් රීඩර් එකක් තියෙන එකේ වාසි මොනවද?
ගස් කැපීම නිසා සිදුවෙන පරිසර හානිය ගැන හිත් කරදර කරගන්න කෙනෙක්ට ඊබුක්-රීඩරයක් අතේ තියෙනකොට සහතික වෙන්න පුලුවන්, තමන් කියවන පොත වෙනුවෙන් එක ගහක්වත් කපන්න සිද්ධ වෙලා නැහැයි කියලා. හැබැයි ඊ-බුක් රීඩර් එකක වඩාත් ප්‍රායෝගික වාසි තියෙනවා.
ඊ-බුක් රීඩරයක් අතේ තියෙනවා කියන්නේ සම්පූර්ණ පුස්තකාලයක් අතේ තියෙනවා කියන එක තමයි. බොහෝම අඩු මතක ධාරිතාවක් තියෙන ඊ-බුක් රීඩරයක වුනත් පොත් සිය ගාණක් පහසුවෙන් ඇතුළත් කරලා තියාගන්න පුලුවන්. ඒ කියන්නේ අද කාලේ තියෙන ඊ-බුක් රීඩරයක පොත් දහස් ගාණක් සුරක්ෂිතව තියාගන්න පුලුවන්. වුවමනා නම් ක්ලවුඩ් මතක පහසුකම් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා, තවත් පොත් දහස් ගාණක් අන්තර්ජාලයේ ක්ලවුඩ් මතකයක සුරක්ෂිත කරලා තියාගන්නත් පුලුවන්.
ඊ-බුක් රීඩරයක් සාමාන්‍ය පොතකටත් වඩා කුඩා සහ සැහැල්ලු, හුරුබුහුටි නිමාවකින් යුතු නිසා එහා මෙහා ගෙනියන එක කරදරයක්ම නෑ.
එතකොට ෆොන්ට් එක අපිට ඇහැට ලේසි විදියට ලොකු කරගන්න පුලුවන්. අපිට ඇහැට හොඳ විදියට පසුතලය වෙනස් කරගන්නත් පුලුවන්. පසුබිම් ආලෝකය තියෙන ඊ-බුක් රීඩරයක් ගත්තොත් රෑට වුනත් කිසිම කරදරයක් නැතුව පොත් කියවන්නත් පුලුවන්.
වර්තමාන ඊ-බුක් රීඩර් වල සෑහෙන්න අමතර පහසුකම් තියෙනවා. උදාහරණ විදියට ඊ-බුක් රීඩර් එකේ ස්ථාපනය කරලා තියෙන ශබ්ද කෝෂය නිසා දන්නෙ නැති වචනයක් අහුවුණු ගමන් ඒ වචනය ටච් කරලා ඒකේ තේරුම දැනගන්න පුලුවන්. සමාන වචන හොයාගන්න පුලුවන්. අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මොහොතක නම් විකිපීඩියා පිටු පරිශීලනය කරන්නත් පුලුවන්. එතකොට පොතේ යම් යම් තැන් වල සටහන් තියාගන්න පුලුවන්.
එතකොට නොමිලේ ලබාගන්න පුලුවන් පොත් තිබීමත් ඊ-බුක් රීඩරයක් අතේ තියෙන එකේ වාසියක්. උදාහරණයක් විදියට gutenberg.org වගේ සයිට් එකකට ගියහම නොමිලේ දෙන ක්ලැසික් පොත් සෑහෙන ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
4. ඊ-බුක් රීඩර් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?
ඊ-බුක් රීඩරයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒක චාර්ජ් කරමින් තමයි පාවිච්චි කරන්න ඕන. දැන් තියෙන ඊ-බුක් රීඩර් කම්පියුටර් එකේ USB පෝට් එකට ගහලා වුනත් චාර්ජ් කරන්න පුලුවන්. හැබැයි කලබල වෙන්න එපා. දැන් කාලේ තියෙන ඊ-බුක් රීඩර් එකක් චාර්ජ් කරන්න අවශ්‍යතාවය මතුවෙන්නේ සති ගාණක් එක දිගට පාවිච්චි කළාට පස්සේ.
අපි පොත් තෙමුවොත් එහෙම ඒවා නාස්ති වෙනවනේ. ඒ වගේම ඊ-බුක් රීඩර් වුනත් රළු පාවිච්චියට ඒ තරම් සුදුසු නෑ. හැබැයි නවීන ඊ-බුක් රීඩරයන් නම් තෙතමනයට, ජලය ඉහිරීම් වලට එහෙම ඔරොත්තු දෙන්න පුලුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
ඊ-බුක් රීඩර් ගැන කථා කරනකොට මතක තියාගන්න වුවමනායි මේ ඊ-බුක් ෆෝර්මැට් ගැන. ඒ කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඊ-බුක් කියන්නේ PDF කියලනේ. ඇත්තටම මේ වෙනකොට ජනප්‍රිය ඊ-බුක් ෆෝමැට් තමයි EPUB නැතිනම් Mobi කියන්නේ. ඕනෑ නම් PDF එකක් වුනත් ඊ-රීඩර් එකකින් කියවන්න පුලුවන්.
ඊ-බුක් රීඩරයක් ගත්තට පස්සේ ඒක පොතක් වගේ අරගෙන යන්න පුලුවන් කේස් එකකුත් ගන්න එක වටිනවා. ඒක ආරක්ෂාවට හොඳයි. එතකොට ඊ-බුක් රීඩර් එකකට පොත් ඇතුළත් කරන්නේ කොහොමද කියන ගැටළුව එනවනේ. ඇමසෝන් හරහා මිලදී ගන්න ඊ-බුක්ස් එහෙම ඇමසෝන් ඊ-බුක් රීඩර් එකක් අන්තර්ජාලය හා සම්බන්ධ වුණු වහාම ස්වයංක්‍රීයව ඩවුන්ලෝඩ් වෙනවා. ඒ ඇරෙන්න ඇමසෝන් විද්‍යුත් ලිපිනයට පොත් ඊමේල් කිරීමෙනුත් ඊ-බුක් රීඩර් එකට පොත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. හැබැයි වඩාත්ම ලේසි ක්‍රමය තමයි පරිගණකයට සම්බන්ධ කරලා අවශ්‍ය ඊ-පොත් කෙලින්ම ඊ-බුක් රීඩර් එකේ මතකයට කොපි කරන එක. මේ වැඩේ තව පිළිවෙලට කරගන්න පුලුවන් calibre වගේ නිදහස් මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන්.
5. පොත් කියවන එක අත ඇරෙන පොටක්ද?
නෑ. නියම පොත් කියවන්නෙක්ට ඊ-බුක් රීඩරයක් ලැබුණා කියලා පොත් කියවන පුරුද්දේ වෙනසක් සිදුවෙන්නේ නෑ. පළමුවෙන්ම ඊ-බුක් රීඩර් එකකින් කරන්නේ ගේම් ගහන එක නෙවෙයිනේ. ඒ කරන්නෙත් පොත් කියවන එක. ඇත්තටම ඊ-බුක් රීඩර් වලින් පොතක් කියවනවට වඩා දෙයක් සිදුකරන්න බෑ. දෙවෙනුවට භෞතික පොත් කියවන එක අත ඇරෙයි කියලා හිතනවා නම්, එහෙම වෙන්න තියෙන ඉඩත් සෑහෙන්න අඩුයි කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්. මොකද ඊ-බුක් රීඩරයකින් පොත් කියවන ගොඩක් දෙනෙක් තාමත් භෞතික පොත් මිලදී ගන්නවා. ඒ ගොඩක් දෙනෙක් ඊ-බුක් රීඩර් එකෙන් කියවලා රස වැටිච්ච පොතක් වුනත් හාඩ් කොපි එකත් මිලදී අරගෙන තමන්ගේ පොත් එකතුවේ තියාගන්නවා!
6. කොහොමද තෝරගන්නේ?
ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ට පැන නැගෙන ප්‍රශ්නයක් තමයි ඊ-බුක් රීඩර් එකක් ගන්නවාද, නැතිනම් ටැබ් එකක් ගන්නවාද කියන එක. එතනින් ගොඩක් දෙනෙක් ටැබ් එකක් කියන ඔප්ෂන් එකට යනවා, ටැබ් එකකින් පොත් කියවනවාට අමතර දේවලුත් කරගන්න පුලුවන් නිසා. හැබැයි ටැබ් එකක් කියන්නේ ඊ-බුක් රීඩර් එකක් නෙවෙයි. ටැබ් එකක තිරය පොත් කියවන්න පුලුවන් විදියට ඇහැට පහසු විදියට හදලා නෑ. ඒකට හරියන්නේ ඊ-ඉන්ක් තිරය විතරයි. අන්න ඒ නිසා පොත් කියවන්න නම් ඊ-බුක් රීඩරයක් ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ. එතකොට ඊ-බුක් රීඩර් එක කොයි තරම් අතට සැහැල්ලුද කියලත් බලන්න වෙනවා. එක බැටරි ආරෝපණයකින් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලත් හිතලා බලන්න වෙනවා.
ඊ-බුක් රීඩරයක් ගන්නකොට මුලින්ම හිතලා බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මතකය, මොන ෆෝමැට් වල පොත්ද කියවන්න පුලුවන් කියන කාරණය, තිරයේ ස්වභාවය. මෙතනින් එහාට වයි-ෆයි හෝ 3G සම්බන්ධතාවය කියන දෙකෙන් තමන්ට වුවමනා එක තෝරගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය With special offers කියලා කියන්නේ, ඒ ඊ-බුක් රීඩර් එක ඔන් කළහම තියෙන ස්ක්‍රීන් සේවර් එකේ අලුත් පොත් ගැන ඇඩ්වර්ටීස්මන්ට් තියෙනවා කියන එක. හැබැයි ඒක කරදරයක් නෙවෙයි.
එතකොට රාත්‍රියට සහ අඩු ආලෝක තත්ත්ව යටතේත් පොත් කියවන්න පුලුවන් විදියට බැක් ලයිට් එකක් තියෙන ඊ-බුක් රීඩර් එකක් ගන්නවාද, එහෙම නැති එකක් කමක් නැද්ද කියන කාරණාවත් සැලකිල්ලට ගන්න වෙනවා.
7. මිලදී ගන්න පුලුවන් කොහොමද?
ලංකාවේ ඊ-බුක් රීඩර් මිලදී ගන්න පහසුවෙන් හැකියාව තියෙනවා. සරල ගූග්ල් සෙවුමකින් මිලදී ගන්න තියෙන තැන් හොයාගන්න පුලුවන්. හැබැයි ඉතින් ලංකාවෙන් ගන්නකොට පොඩ්ඩක් මිල ගණන් වැඩියි.
අපි කියමු ඇමසෝන් එකේ තියෙන ඊ-බුක් රීඩර් එකක් ගන්නවා කියලා. ඇත්තටම ඊ-බුක් රීඩර් උපාංග නම් ඇමසෝන් කියන තැනට මේ වෙනකොට ගිහින් තියෙන නිසා කෙලින්ම ඇමසෝන් ඉන්ටර්නැෂනල් එකෙන් ගෙදරටම ඊ-බුක් රීඩර් එකක් ගෙන්වා ගන්නත් පුලුවන්. හැබැයි ඒ පියවරේදීත් ටැක්ස්, ෂිපින් කොස්ට් එකතු වෙනකොට ඊ-බුක් රීඩර් එකේ ගාණට තව හොඳ ගාණක් එකතු වෙනවා.
තුන්වෙනි ක්‍රමය තමයි, කප්රුක ග්ලෝබල් වගේ නැතිනම් UPS වගේ සේවාවක් හරහා, තමන්ට අවශ්‍ය ඊ-බුක් රීඩර් එකේ ලින්ක් එක දීලා ඒක ගෙන්වා ගන්න එක.
ඊ-බුක් රීඩර් එකක් ගන්න එක ගැන මීට අමතරව දැනගන්න වුවමනා දේවල් තියෙනවද? එහෙමනම් අපිට කමෙන්ට් එකකින් හරි, ඉන්බොක්ස් මැසේජ් එකකින් හරි අහන්න තියෙන ප්‍රශ්නය යොමු කරන්න.
Cover Image Source – trustedreviews.com/ cnet.com
[…] එළම කිරි වැඩක් තමයි කින්ඩ්ල් වගේ ඊබුක් රීඩර් එකක් ගන්න එක. ඒකේ තියෙනවා […]