ලව් එක ඉවර වුනාට පස්සෙත් අපිට යාලුවෝ වගේ ඉන්න බැරිද? මෙන්න ඒකට මාර්ගය

සමනල තටුවක, සියුමැලි බව රැඳි, ඔබෙ හිත, නොබිඳෙන ලෙස සමුගන්නේ, කෙලෙසද, අද මම… ඔන්න ඔහොම තාලෙට කියලා ලව් එකට තිත තියලා දෙන්නා බ්‍රේක් අප් වෙනවනේ. සමහර වෙලාවට දහසකුත් එකක් ඩ්‍රාමා වලට පස්සේ, හට්ටි මුට්ටි පොළවේ ගහලා, සමහර වෙලාවට හට්ටි මුට්ටි ඔලුවේ ගහලා තමයි වැඩේ අවසන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් රටට ලෝකෙට කියන්න වෙනවා “අනී අර ඌරු මොටා සයිඩ් එකෙන් තව කෙල්ලෙක් කරපු නිසා මම එයාව ඩම්ප් කළා අනී” කියලා සහ “හාපෝ, ඒ පිස්සු මරගාතේ එක්ක ඉන්න මේ ලෝකේ මිනිහෙක්ට බෑ” කියලයි. ඔව්, දෙන්නා දෙපැත්තේ කට්ටියට කියන්නේ අනික් කෙනාගේ වැරැද්ද නිසා බ්‍රේක් අප් වුනා කියල තමයි. එහෙම නැතුව මම පිස්සු හෝන්තුවක් නිසා මාත් එක්ක ඉන්න බැරුව බ්‍රේක් අප් වුනා කියන්නද?

කොහොම හරි ඔහොම බ්‍රේක් අප් වෙන එකක් පස්සේ කාලෙක ආයෙ යාලුකමකට හරවගන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට මෙතන විද්‍යාත්මක නියමය තමයි, අඩු ඩ්‍රාමා එකකින් කෙළවර වෙන ලව් සීන් එකක් වඩාත් ඉක්මනටම යාලු ෆිට් එකකට හරවගන්න පුළුවන් කියන එක. හරි, එහෙමනම් අපි යමු පියවරෙන් පියවර කොහොමද පරණ ලව් එක යාලුවෙක් විදියට තියාගන්නේ කියලා බලන්න.

 

1. කාලයක් ඈතින් ඉඳලා…

මෙන්න අනිවාර්ය කාරණේ. බ්‍රේක් අප් එක ගිණි කෙළි මැද්දෙන් සිද්ධ වුනත්, ටික ටික ලව් එක ඈලියාවට ගිහිල්ලා නොදැනීම ලව් එක නතර වුනත්, දෙන්නා ලව් කළානේ. අන්න ඒ නිසා එහෙම ලව් එක නතර වුණු ගමන් හුටස් ගාලා ෆ්‍රෙන්ඩ්ෂිප් පටන් ගන්න ප්‍රායෝගිකව බෑ. විශේෂයෙන්ම ඒ එක්කම එක්කෙනෙක් හරි දෙන්නම හරි තව කෙනෙක්ව ඩේට් කරන්න පටන් ගත්තොත් ආයෙත් ගිණි කෙළි වලින් තමයි නවතින්නේ. අන්න ඒ නිසා හරි ක්‍රමේ තමයි කාලයක් ඈතින් ඉඳලා, පරණ ආදරේ රස්නේ ගියාට පස්සේ දෙන්නා යාලු ෆිට් එකෙන් ලං වෙන එක. මෙහෙම ඈතින් ඉන්නවා කියන්නේ, ඔය මුණගැහීම් සහ ටෙලිෆෝන් කෝල්ස් එහෙම නවත්තන්න වෙනවා. ටික කාලයක් සෝෂල් මීඩියා වලින් එහෙම අයින් කරලා තියන්න, අඩු තරමින් අන්ෆලෝ කරලා තියන්න වෙනවා. එතකොට පේන්නෙ නැහැනේ අනික් කෙනාගේ විස්තර.

අන්න එහෙම කාලයක් ඈතින් ඉඳලා, රස්නේ ගියාට පස්සේ ඔන්න දෙන්නම කැමති නම්, හෙමිහිට යාලුෆිට් එකක් ගොඩනගා ගන්න පුළුවන්.

 

2. ගෙදර උන්දෑ මොනව කියාවිද?

දැන් එක ලව් එකක් කැඩුනා කියලා සදාකල් තනිකඩව ඉන්නෙ නැහැනේ. ගොඩක් වෙලාවට වෙන දේ තමයි ඒ ගැම්මෙන්ම හරි කාලයක් ගිහිල්ලා හරි තව ලව් එකක් පටන් ගන්න එක. ආන්න එතනදී තමයි ඔය පරණ ලව් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් ඇතිකරගන්න එක පරහට හිටින්න පුළුවන්. වැඩේ හොරෙන් කරන්න යන්න එපා. හැබැයි ගෙදර උන්දැට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට/බෝයිෆ්‍රෙන්ඩ්ට හරි පරණ ලව් එක හම්බුණා, කතා කළා වගේ දේවල් කියන එකත් ටිකක් පරිස්සමෙන් කරන්න ඕන. මොකද ලව් කියන එකත් එක්ක ඉරිසියාවත් එනවනේ. ඒ වගේම ගෙදර උන්දෑ වැඩේට කොහොමටත්ම කැමති නැතිනම් ඉතින් ඔය ෆ්‍රෙන්ඩ්ෂිප් වැඩේ අත අරින්න වෙනවා!

 

3. පරණ කතන්දර එපා!

හරි දැන් ෆ්‍රෙන්ඩ්ෂිප් එක පටන් ගත්තා කියමුකෝ. ප්‍රධානම පරිස්සම් වෙන්න ඕන කාරණාව තමයි පරණ කතන්දර, අතීත මතක එහෙම වර්තමාන යාලුකමට ගේන්නේ නැතුව ඉන්න එක. ඇයි? සිරාවට නැගලා ගියපු ආදරයක් බිඳිලා ගියාට පස්සේ, ඒ අතීත මතක ආයෙමත් සිහිපත් කරන එක සුන්දර වෙන්නේ එහෙමත් කෙනෙක්ට තමයි. ගොඩක් දෙනෙක්ට ඒකෙන් වෙන්නේ අර පරණ වේදනාවල් ආයෙමත් මතක් වෙන එක. අන්න ඒ නිසා පරණ කතන්දර, ඉස්සර ගියපු තැන් එහෙම ආයෙමත් අලුත් යාලුකමට ඇදිලා එන තැන් නවත්තන එක හොඳයි!

 

4. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් බෑ!

සමහරු පරණ ලව් එකත් එක්ක ආයෙ යාලුෆිට් ඇතිකරගන්න උත්සාහ කරන්නෙම වෙන වෙන අරමුණු හිතේ තියාගෙන. අපි කියමු පරණ ලව් එකත් එක්ක තිබ්බ සෙක්ස් ලයිෆ් එක මාරයි කියලා. එතකොට දැන් වෙන කෙනෙක් එක්ක හිටියත්, පරණ කෙනා එක්කත් පොඩි ඩිස්ටි ඩිඩිං එකක් දාන්න ෆැන්ටසි එකක් හිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක කෙලින්ම කරගන්න බැරි නිසා, ෆ්‍රෙන්ඩ්ෂිප් සීන් එකෙන් වැඩේ ගොඩදාගන්න යන්න පුළුවන්. අපි කියන්නේ එපා කියලා! ඇත්තටම තමන් සම්බන්ධයක හිටියේ නැතත්, පරණ ලව් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියලා සීමාව පනින්න යන එකෙන්, ඒ කෙනාට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

හැබැයි දෙන්නම සම්බන්ධතාවයක නැතිනම්, සෙක්ස් කළා කියලා අනවශ්‍ය හිත් අමාරුකම් ඇතිවෙන්නෙත් නැතිනම් ඉතින් අපි ඔව්වට මොකුත් කියන්නෙ නෑ! 

 

5. ඉස්සරත් ඔයා ඔහොම්මමයි!

දැන් අපි කියමු දෙන්නා බ්‍රේක් අප් වුනේ මොකක් හරි එක්කෙක්ගේ හරි දෙන්නගේම හරි වැරදි නිසා කියලා. උදාහරණයක් විදියට කියමු කෙල්ල තීරණයක් ගන්නෙ නෑ, වැනෙන සුළුයි කියලා. එතකොට දැන් යාලුපිට් එකේ ඉන්නකොට වුනත්, මොකක් හරි දේකට කෙල්ල තීරණයක් ගන්නෙ නැතුව වැනෙනකොට කොල්ලා දඩිං ගාලා කියනවා “ඉස්සරත් ඔයා ඔහොම්මමයි, ඕක නිසා තමයි අපේ සම්බන්ධෙ නැවතුනේ” කියලා! ආන්න ආයෙමත් ගිණිකෙලි. තමන් පරණ ලව් එකත් එක්ක දැන් තියෙන ඩීසන්ට් යාලුෆිට් එක ගැන අගයක් හිතේ තියනවා නම්, කරුණාකරලා ඔය චෝදනා කිරිලි වලට, විවේචනය කිරිලි වලට යන්න එපා. එහෙම එකක් හිතුනොත් ඒක හිතේම තියාගන්න. එයාගේ මොකක් හරි අඩුපාඩුවක් දැක්කොත්, යාලුවෙක් විදියට ඒක කියන්න පුළුවන් සීමාවට, බොහොම ඩිප්ලොමැටික් විදියට කියන්න.

 

6. මේ ඔයාගෙ හස්බන්ඩ්ද?

අපි කියමු දැන් පරණ කොල්ලයි කෙල්ලයි දෙන්නම පවුල් පන්සල් වෙලා කියලා. හැබැයි ආයෙමත් දෙන්නට යාලුකම තියාගන්න ඕන වෙනවා. අන්න එතනදී දෙන්නගේ යාලුකම දෙන්නා අතර විතරයි කියලා තියාගන්නවට වඩා බොහොම ආරක්ෂිතයි, දෙන්නගේ ජීවිත වල දැන් ඉන්න අයවත් ඒ යාලුකමට එකතු කරගන්න එකට. එකක්, එහෙම වෙනකොට දෙන්නගේ ජීවිත වල ඉන්න අයට මේ දෙන්නගේ යාලුකම ගැන අනවශ්‍ය සැකයන්, ඉරිසියා හැඟීම් එන්නෙ නෑ. දෙවෙනි එක, දෙන්නගේ සීමාවනුත් නොදැනීම ආරක්ෂා වෙනවා.

 

7. කාටද මුල් තැන?

මෙන්න මේක බොහොම වැදගත් කාරණාවක්. පරණ ලව් එකත් එක්ක අලුත් යාලුකමක් ගොඩනගා ගත්තා කියලා, එයා තාමත් පෙම්වතා හරි පෙම්වතී හරි සැමියා හරි බිරිඳ හරි වෙන්නෙ නෑ. විශේෂයෙන්ම දෙන්නා දැන් අලුත් සම්බන්ධතාවයන් වල ඉන්නවා නම්, මෙන්න මේ සීමාවන් බොහොම පරිස්සමින් තියාගන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, පරණ ගෑණු ළමයා දැන් යාලු ෆිට් එක වුනා කියලා කොල්ලට බැහැ තමන්ගේ වයිෆ්ට වඩා උඩින් එයාව තියන්න. ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට මුලින්ම තමන්ගේ හස්බන්ඩ්ට කතා කරන්නේ නැතුව දැන් යාලුවා වෙලා ඉන්න පරණ කොල්ලට කතා කරලා හරියන්නෙ නෑ. ආන්න ඒ නිසා කැමති වුනත් නැතත් තමන්ගේ ජීවිතේ ප්‍රමුඛත්වයන් හිමිවෙන්න ඕන කාටද කියන එක ගැන නිශ්චිත අදහසක් තියෙන්න ඕන, පරණ එක්කෙනා එක්ක යාලුකම් පවත්වන්න නම්!

 

8. හදවතින්මද?

මෙන්න මේක ඇත්තටම උඩ කියපු සමහර කාරණා වලටත් අදාළයි. තමන් පරණ පෙම්වතා හෝ පෙම්වතී හෝ පරණ සැමියා හෝ බිරිඳ එක්ක යාලුකමක් ඇතිකරගන්නේ හදවතින්මද කියන එක තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න ඕන. එහෙම හදවතින්ම ඇතිකරගන්න යාලුකමක් නම්, පරණ පෙම්වතී එයාගේ අලුත් කොල්ලා එක්ක හරි, පරණ පෙම්වතා තමන්ගේ අලුත් බිරිඳ සහ දරුවන් එක්ක හරි ඉන්නවා දැක්කහම හදවතින්ම සතුටු වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන. එහෙම බැරි නම්, ඉරිසියාවක් හරි තරහක් හරි හිතට එනවා නම් කරුණාකරලා පරණ ලව් එකත් එක්ක යාලුෆිට් පවත්වන්න යන්නේ නැතුව ඉන්න.

ඒ වගේම තමන් පරණ ලව් එකත් එක්ක යාලුෆිට් එකක් ඇතිකරගන්න හදන්නේ සෙක්ස් වලට නම් හරි පලිගැනීම උදෙසා හරි වෙනත් එ වගේ අරමුණක් ඇතුව හරි නම්, කරුණාකරලා පරණ ආදරවන්තයාගේ/ආදරවන්තියගේ ජීවිතේට අකුල් හෙලන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.

එහෙම නැතුව පරණ ලව් එකත් එක්ක අවංකවම බොක්කෙන්ම යාලුකමක් පටන් ගන්න පුළුවන් නම්, ට්‍රයි එකක් දීලා බලන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *