බලු සුරතලුන් කියන්නේ අපිට ගොඩක්ම ළඟ සුරතල් සතුන් විශේෂයක්. බලු සුරතලෙක් ගොඩක් ගෙවල්වල හැදෙන්නේ පවුලේම දරුවෙක්, සහෝදර සහෝදරියෙක් වගෙයි. අපිට දැඩිව ආදරය කරන මේ සත්තුන්ගේ ආදරය නිසාම හැබැයි සමහර දුෂ්කරතාවලටත් බලු සුරතලුන් ඉන්න ගෙවල්වල උදවියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඒ විදිහෙ සිදුවීම් ටිකක් ගැනයි අපි කියන්නේ.
1. නින්දට කෙළ වීම
සතිය තිස්සේම රස්සාවල් කරලා, මහන්සිවෙන අයට සති අන්තේ නිවාඩුව හරි සති මැද විශේෂ නිවාඩුවක් හරි කියන්නේ ලොකු සහනයක්. ඉතින් ගොඩක් අය නිවාඩුවට කලින් දවසේ වැඩ ඇරිලා එන්නේ පහුවදාට ලෝකෙ විනාස වුණත් කමක් නෑ කට කපලා නින්දක් දානවා ආයෙ දවල් වෙනකම්ම කියලා හිතාගෙන. ඒත් ඉතින් ඒ සුබ සිහින බිඳලා දානවා ගෙදර බලු සුරතලෙක් ඉන්නවනම්. පොර වෙනදාටත් වඩා කලියෙන් උදේ පාන්දර හයට හතට විතර නැගිටලා බුරනවා බිරිල්ලක් “කෝ යකෝ මුන්… මුන් මැරිලද… නැගිටපියවු” කියලා අහන්න වගේ. ඉතින් නින්ද හබක්. දවසේ ආරම්භයත් අවුල් සහගතයි.
2. විනාසය
බලු සුරතලෙක්ව ගෙදර දාලා ටිකක් වෙලා ගතවෙන ගමනක් බිමනක් යනවා කියන්නේ ගෙදරට සිමෙන්ති කොට්ට දෙකක විතර වැඩ සෙට් වෙන සීන් එකක්. මේ කට්ට බොහෝ දුරට සෙට් වෙන්නේ කූඩු නොකර හදන බලු සුරතලුන් ඉන්න අයට. අපි නැති පාලුව දැනිලා බලු බ්රදර්ස් සිස්ටර්ස්ලා පිස්සු කෙලිනවා කෙලිල්ලක්. ආයෙ අපි ගෙදර එද්දි ගෙදර දොර ජනෙල් රෙදි, වැලේ රෙදි ඔක්කොම බිමට ඇදගෙන උන් ඉන්නවා ඒවා මැද ගුලි වෙලා. දොරවල් පහුරු ගාලා, මල් පැල උදුරලා දාලා ෆුල් සුනාමි!
3. නිවාස එකලස්
නිවාඩු පාඩුවේ ගේ ටිකක් අස් පස් කරන්න ගන්නවා. දූවිලි පිහදාලා, ගේ හොඳට අතුගාලා, කුණු කිළුටු පැල්ලම් ටික යන්න ලෙසට මොප් පාරක් දානවා බිම ආයෙ කණ්ණාඩිය වගේ ෂයින් වෙන්න. මෙන්න බොලේ මොප් කරපු බිම වේලෙන්නත් කලින් බලු තඩියා එනවා තඩි මඩ ගොඩක් පාගගෙන ගේ මැදින්. ලස්සනට ඉස්තෝප්පුවේ ඉඳන් කුස්සියට යනකන් කකුල් මාක් එක තියනවා. ආයෙ ගේ මැදපන්කො ඉතින්!
4. නෑම සහ ගඳ
සමහර බල්ලන්ව නාවන එක හෙනම ගේමක්. සමහර උන් “අද නාමු නේද?” කියලා අහපු ගමන් කොහේ හරි හැංගෙනවා ආයෙ හොයාගන්නවා බොරු. පෝරකේට ඇදගෙන යනවා වගේ ඇදන් ගිහින් නාවන්නේ. ෂැම්පු ගාල නාවලා පුයර බබා වගේ ඉන්නවා ඉතින් ටික වෙලාවක්. හැබැයි ටික වෙලාවයි. ඊට පස්සේ ඉතින් දූවිලි නාලා, කෙළ නාලා, වතුර වලවල්වල බැහැලා ආයෙ හෙට උදේ වෙද්දි පරණ හම්පඩ ගෝනි ගඳයි. දවස ගානෙ නාවන්න කියලයැ. ගඳ ඉවසන් ඉන්නවා ඉතින් පවුලේ උදවිය.
5. පිළිගැනීම
හොඳට ලවු එකේ ඉන්න උදවියගෙ වුණත් කාලයක් යද්දි රැස් බහිනවා. හැබැයි බල්ලෝ එහෙම නෑ ජීවිත කාලෙම ඉතින් අපිව දැක්කම දෙයියෝ බුදුන් දැක්ක වගේ තමයි. හන්දියෙ කඩේට ගිහින් ආපිට හැරිලා ගෙදර ආවත් මූ දෙනවා අපිට ඇඟට පැනලා ලෙසට වෝර්ම් වෙල්කම් එකක්. මේ වෙල්කම් එක එපාම වෙන්නේ හොඳට ඇඳ පැළඳගෙන ගමනක් ගිහින් ගෙදර එද්දී තමයි. ඉන්න මඩ වලකින් පැනලා ඇවිත් රෙදිවලින් ඇදලා, මඩ නාවලා, කෙළ නාවලා තමයි අපිව ගේ ඇතුළට ගන්නේ. අලුතින් ගත්ත ඇඳුම වත්තෙ පිටියෙ වැඩට අඳින්න තමයි වෙන්නෙ ඊට පස්සේ.
6. සපත්තු මරුවා
පොඩි බලු ඩයල්ස්වල දත් කොකියන කාලෙට ඉතින් ගෙදර උදවියගෙ පාවහන්වලට උගෙ පෙරේත බැල්ම වැටෙනවා. වැඩේ කියන්නෙ ඌ එතකොට හොයාගන්නෙත් ගෙදර එකෙක් ගාව තියන වටිනාම සපත්තු කුට්ටම. ආයෙ මල්වැඩ දාලා සපත්තුව හප කරනවා කිසිම සපතේරුවෙක්ට ගොඩ දාන්න බැරි වෙන්නම. බාගෙට හප හප ඉද්දි සපත්තුව අහු වුණත් ඒක ආයෙ ගන්නවා සුම්මා. ඌ ගොරෝනවා බැස්කර්විල දඩ බල්ලා වගේ…
7. ජම්ප්
වැස්ස දවසක සීතලට සනීපෙට ඇඳේ ගුලිවෙලා හීන මව මව ඉන්නවා. ආදරණීය හීනයක් බලන් ඉද්දි මෙන්න බොලේ එකපාරට වත්තේ කොස් ගහෙන් ගෙඩියක් ගැලවිලා අපේ ඇඟට පත බෑ වෙනවා. ඒත් එක්කම ගහට හේත්තු කරල තිබ්බ කෙක්කත් අපේ ඇඟට වැටෙනවා. හීනෙන් ගැස්සිලා ඇහැරිලා බලද්දියි මේ අමුතු හීනේ තේරුම තේරෙන්නේ. ගෙදර බලු තඩියා සීතල නිසා ඇඳට පැනලා, පැනපු පාරට නෙට් එකත් ගැලවිලා අපේ ඇඟට වැටිලා…
ඔයාටත් බලු සුරතලුන් සම්බන්ධ මීටත් වඩා රසවත් අත්දැකීම් ඇති. ඒවා කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදාගන්න.
Leave a Reply