ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස

පහුගිය දවස් වල අපි ලියපු අතුරුදහන් වූ ජනප්‍රිය නිළියෝ ලිපිවලට ඔබගෙන් වගේම ඒ ලිපිවලට පාදක වුණු වුනු නිළියන්ගෙන් පවා උද්යෝගීමත් ප්‍රතිචාර ලැබුණා. මේ නිසා අපි හිතුවා ඒ ලිපිවලට තුන්වෙනි කොටසකුත් එකතු කරන්න. මේ නිළියන්ව නම් මේ ආටිකල් එක කියවන හැමෝටම මතක ඇති කියලා අපි හිතනවා.

 

අතුරුදහන් වූ ජනප්‍රිය නිළියෝ 1 වෙනි සහ 2 වෙනි ලිපි පහත ලින්ක් ක්ලික් කර කියවන්න.

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොට​ස

1. පියුමි පුරසිංහ 

නිලංජනා, බො​ඳ මීදුම් වැනි නිර්මාණවල තමන් රඟපාපු චරිත හින්දා ජනතාවට සමීප වුණු පියුමි “වැඩ බැරි ටාසන්” චිත්‍රපටය නිසා තවත් ජනප්‍රිය වුණා. ජනප්‍රියත්වයේ ඉහ​ළම තලයේ ඉඳිද්දී ඇය විවාහ වෙන්න තීරණය කරනවා. විවාහ වීමත් සමගම ක්ෂේත්‍රයෙන් ඉවත් ව යන ඇය නිහඬ වෙනවා. ඉන් වසර කීපයකට පසුව ඇයගේ විවාහය බිඳ වැටී ගියත් ඇය නැවත කලා ක්ෂේත්‍රයට එකතු වන්නේ නැහැ. මේ වෙනකොට ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා .

 

2. බියංකා ෆොන්සේකා 

මීට වසර ගණනාවකට පෙර ස්වර්ණවාහිනියෙන් සහ සිරස රූපවාහිනියෙන් විකාශය වූ නාට්‍ය දෙකක සමගාමී චරිත රඟපාපු  බියංකා ෆොන්සේකා වඩාත් කැපී පෙනෙන චරිතයක් වුණා. “ආදරය” සහ “නිල් දිය රල” තමයි ඒ නාට්‍ය දෙක. ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහටත් ජනප්‍රියත්වයට පත් වුණා. “උලත් එකයි පිලත් එකයි”  චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව විදේශගත වුණු ඇය ක්ෂේත්‍රයෙන් සමු ගත්තා. විටින් විට ලංකාවට පැමිණියත් කිසියම් කලා නිර්මාණයකට දායකත්වයක් ලබාදීමට නම් ​ඇය එතරම් උනන්දුවක් දක්වා තිබුණේ නෑ.

 

3. සුරනි විජේසුරේන්ද්‍ර 

70 දශකයේ ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වූ තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ දියණිය වුණු සුරනි විජේසුරේන්ද්‍ර මුලින්ම රඟපෑමට එක්වුණේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වුනු නේත්‍රාංජලී ටෙලි නාට්‍ය​ය හරහා. ඉන් පසුව ටෙලි නාට්‍ය කීපයකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නු ඇය විවාහයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියා. මේ වෙන කොට ඇය කේක් ව්‍යාපාරිකාවක් විදිහට යම් ගමනක් ආරම්භ කොට තිබෙනවා.

 

4. චමල්ෂා දෙව්මිණි

සිරස කුමරිය රියලිටි තරගය හරහා ක්ෂේත්‍රයට ආපු චමල්ෂාගේ පළමු රඟපෑම වුණේ කිඳුරංගනා ටෙලිනාට්‍යය. ඊට පස්සේ අමන්දා ටෙලි නාට්‍යය අමන්දාගේ චරිතය රඟපෑම නිසා ඇයව තව තවත් ජනාදරයට පත් වුණා. ඒ අතරතුර ස්වයංජාත වැනි උසස් ටෙලි නාට්‍යවලත් ඇය රඟ පෑවා. අමන්දා ටෙලි නාට්‍ය රඟපාන අතරතුර ඇය විවාහ දිවියට එළඹුණා. ඇයම පසුකාලයේ කියපු විදිහට සැමියාගේ විරෝධය නිසා ඇය නැවත රඟපෑමට එකතු වෙන්නේ නැහැ. මේ වෙනකොට ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටිනවා.

 

5. වසන්ති ගුණරත්න 

වසන්ති අවසාන වරට පුංචි තිරයේ රඟපෑවේ නපුරු චරිතයක්. වසුදා ටෙලි නාට්‍යයේ වසුදාට, නපුරු කම් කරන රෝහිණී නැමැති චරිතය. ඒ වෙනකොට ඇය තමන්ගේ ජනප්‍රියත්වයේ උපරිම තලයේ හිටියේ. නමුත් එම චරිතය රඟපෑමෙන් පසුව තමන් විවාහ වන බවත් නැවත රඟපෑමට එක් නොවන බවත් ඇය ප්‍රකාශ කළා. මේ වෙන කොට ඇය දරුවන් දෙදෙනෙකු ගේ  ආදරණීය මවක්. ඇයම කියන විදිහට ඇගේ පවුල් ජීවිතය රැකුනේ විවාහයෙන් පසුව කලා ජීවිතයට සමු දෙන්න ඇය ගත් තීරණය නිසයි. මේ තීරණය ගැන තමන් කිසි ලෙසකින් වත් පසුතැවිලි නොවන බව ඇය කියනවා.

 

6. චාරුනී අමරසිංහ 

චාරුනී ව ක්ෂේත්‍රය ඇතුලේ හැඳින්වූයේ කෝපි කඩේ පියුම් මහත්තයගෙ දුව කියලා. ඒ ඇගේ පියා වුණු එඩී අමරසිංහ මහත්මයා තමයි දශක ගණනාවක් පුරා කෝපි කඩේ මාලා නාටකයේ පියුම් මහත්තයාගේ චරිතය රඟපෑවේ. එඩී අමරසිංහ මහත්මයා එම චරිතයට කොටු වීමක් සිදුවුණත් චාරුණී චරිත ගණනාවකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. නමුත් ඇය විවාහයෙන් ටික කාලෙකට පසුව ක්ෂේත්‍රයට සමුදීලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා.

 

7. සසන්ති ජයසේකර 

එක් මෘගාංගනාවියක් ටෙලිනාට්‍යය දීර්ඝ ටෙලි නාට්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක්. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සසන්ති ජයසේකර විසින්. හදවිල සක්මන ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ජනප්‍රිය නළුවෙකු සමඟ විවාහය බිඳ වැටීමෙන් පසුව ඇය තම දරුවා සමග විදේශගත වුණා. මේ වෙන කොට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග නව ජීවිතයක් ගත කරමින් සිටින ඇය පසුගියදා ලංකාවටත් පැමිණියා. ඇයව තවමත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අමතක ව තිබුණේ නැහැ කියන්න ලංකාවේ ගත ක​ළ  කෙටි කාලය තුළ ඇයට සහභාගී වෙන්න සිද්ධ වුණ රූපවාහිනී වැඩසටහන් සහ පුවත්පත් සාකච්ඡා ප්‍රමාණයත් එක සාක්කියක්.

 

අපි හිතනවා අපි ඔබේ මතක අවදි කරන්න සමත් වුණා කියලා. ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් තීරුවේ සටහන් කරන්න වගේම මේ ආටිකල් එක ෂෙයාර්  කරලා සහයෝගය ලබාදෙන්න කියන කාරුණික ඉල්ලීමත් අපි කරන්න කැමතියි.

 

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *