ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ

අපි අද කතා කථා කරන්න යන්නේ තරු ගැන. විශේෂයෙන් ම අපේ පුංචි තිරය හැඩ කරලා එකපාරටම අතුරුදහන් වෙලා ගිය තරු ගැන. අපි අද කතා කරන්න යන නිළියෝ හැමදෙනාම පාහේ එක ටෙලි නාට්‍යයකින් හෝ ටෙලි නාට්‍ය කිහිපයකින් අසීමිත ජනප්‍රියත්වයක් ලබාගෙන හදිසියෙන්ම ක්ෂේත්‍රයෙන් සමුගෙන යනවා. එහෙම වෙන්න විවිධ හේතු බලපා​ල තියනවා. සමහරක් හේතු නම් අතිශය සංවේදී හේතු. මේ අය ගැන කියවද්දි ඔයාලටත් ඒ අය ගැන රසබර මතක අවදි වේවි.

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොට​ස මෙතනින් කියවන්න. 

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස මෙතනින් කියවන්න. 

1. දර්ශනී නිවංකා ගමගේ

දර්ශනී ක්ෂේත්‍ර​ය තුළ ජනප්‍රියත්වයට පත් වෙන්නේ ටිකක් ආන්දෝලනාත්මක විදිහට. ඒකට හේතුව වෙන්නේ මේකයි. එවකට ජනප්‍රිය ටෙලිනාට්‍යයක්​ව පැවති කාව්‍යා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන කාව්‍යාගේ චරිතය රඟපාපු ඕෂධීව විවාහය හින්දා ටෙලි නාට්‍යයේ පරිපාලකයන් ඇයව චරිතයෙන් ඉවත් කරනවා. ඒ වෙනුවට ඔවුන් කාව්‍යාගේ චරිතය රඟපෑමට තෝරා ගන්නේ දර්ශනීව. දර්ශනී මීට පෙර තවත් ටෙලි නාට්‍යයක රඟපාලා හිටියත් කාව්‍යා තුළින් ඇය නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලබනවා. නමුත් පුදුමෙකට වගේ ඇයට ක්ෂේත්‍ර​ය තුළ දිගු ගමනක් යන්න නම් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේ වෙනකොට ඇය විවාහ වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

 

2. වන්දනා ලියනාරච්චි 

රතු රෝස ටෙලි නාට්‍යයේ “චාපා”ගේ චරිතය රඟපාපු වන්දනා ලියනාරච්චි ප්‍රේක්ෂකයන්ව පිස්සු හදවන්න සමත් වෙච්ච නිළියක්. නමුත් ඇය ඒ දිනවලම කිව්වේ රතු රෝස ටෙලි නාට්‍ය තමන්ගේ ප්‍රථම සහ එකම රඟපෑම වන බවක්. ඊට පස්සේ ඇය රංගන ජීවිතයට සම්පූර්ණයෙන්ම සමු දීලා තමන්ගේ රැකියාවට මූලිකත්වයක් ලබාදෙන්න තීරණය කරනවා. ඇය  මේ වෙනකොට ෆේස්බුක් පිටුවක් හරහා තවමත් රසිකයන් සමග සම්බන්ධතා පවතාගෙන යනවා.

 

3. තමාරා දිල්රුක්ෂි 

වල ගැහෙන කම්මුල් දෙකකට හිමිකම් කියපු තමරා දිල්රුක්ෂි ඒ දවස්වල ටෙලි නාට්‍යවල අහිංසක පෙම්වතියගේ චරිතයට නැතුවම බැරි කෙනෙක් වුණා. “ඉසුරු සොයා”, “දූ දරුවෝ” වැනි ටෙලිනාට්‍යවලින්  ඇය අසීමිත ජනප්‍රියත්වයක් ලබා ගත්තා. “දොරකඩ මාරාව, “ක්ෂේම භූමි” වගේ සම්භාව්‍ය චිත්‍රපටවලටත් සම්බන්ධ වුණු ඇය විවාහයෙන් පස්සේ ලංකාව අතහැරලා ඉතාලියට ගියා. ඒ නිසා ඉන්පස්සෙ කලා නිර්මාණ වලදී අපිට ඇයව දැක ගන්න ලැබුණේ නෑ.

 

4. මංගලා කරුණාරත්න 

“ඇල්ල ළග වලව්ව” ටෙලි නාට්‍යයේ “මලී”ගෙ චරිතයෙන් ක්ෂේත්‍රයට පිවිසුණු මංගලා කෙටි කාලයක් තුළ “රුපියල් සත”, “දඩබිම”, “කඩුල්ල” “දත් කැකුළු පාලා” වගේ ටෙලි නාට්‍ය හරහා රසික ආකර්ෂණය ලබා ගත්තා. සාමාන්‍යයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයගෙ නිර්මාණයක රංගනයෙන් එක්  වෙන්න බොහෝ නළුනිළියන් පුලපුලා බලා සිට යුගයක මංගලාට “ගිරය”ටෙලිනාට්‍යයේ රංගන​යට දායක වෙන්න ලැබුණු අවස්ථාව අකමැත්තෙන් වුණත් ප්‍රතික්ෂේප කරන්න වුණේ ඇය ඒ කාලය තුළ අසීමිතව කාර්යබහුල වී සිටීම නිසයි. නමුත් ඇය තමන්ගේ ජීවිතයේ ජනප්‍රියත්වයේ උපරිමයේ සිටිය කාලයේදී කලා ජීවිතයට සමුදීලා විවාහ වෙලා සැමියා එක්ක වේල්සයේ පදිංචියට යනවා.

 

5. ප්‍රශානි පෙරේරා 

ප්‍රශානි පෙරේරා කියන්නෙත් කෙටි කාලයක් තුළ නාලන් මෙන්ඩිස්, ලකී ඩයස්, මාලනී ෆොන්සේකා වගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් රැසකගේ යටතේ රංගනයට අවස්ථාවල ලබපු නිළියක්. එවකට ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යයක් වුණා “වසූදා” ටෙලි නාට්‍යයේ  වසුදා ගේ වැඩිමහල් දියණියගේ චරිතය රඟ පෑ මේධා ජයරත්න ඉවත්ව යාමත් සමග ප්‍රශානි පෙරේරාට එම චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ හරහා ඇය සුවිශාල ජනප්‍රියත්වයකට පත් වුණා. නමුත් ඇයත් විවාහයෙන් පසුව රංගනයට සමු දෙන්න තීරණය කළා. ඉන් පසුව ඉතා මෑතකදී ඇය එක චිත්‍රපටයක රඟපෑවත් එම චිත්‍රපටය එතරම් ජනප්‍රියත්වයට පත් වුණේ නෑ.

 

6. මිෂෙල් රයිම්ස්

මිෂෙල් රයිම්ස් කියන්නේ අවාසනාවන්ත ලෙස ක්ෂේත්‍රයෙන් සමුගන්නට සිදු වෙච්ච නිළියක්. රූ රැජිනක් විදියට ක්ෂේත්‍රයට ආපු මිෂෙල් දියකිඳුරියක් විදිහට කළ රංගනයත් නිසා එක රැයෙන් ජනප්‍රියත්වයට පත් වුණා. කොටින්ම ඇය රංගන දායකත්වය ලබා දීපු චොක්ලට් වෙළඳ දැන්වීමක් දිහා ඇසිපිය නොහෙළා බලන තරමට ඇයට රසික​යො හිටියා.නමුත් හදිසි අනතුරක් නිසා ඇතිවුණු ගින්නකින් (විවිධ කතා ඒ ගැන තියෙනවා) ඇගේ මුහුණේ සුන්දරත්වය ඇයට අහිමි වුණා. මේ නිසා ඇය ජනප්‍රියත්වය ලැබුවාට වඩා වැඩි වේගයකින් ක්ෂේත්‍රයටත් ඇයව අමතක වෙලා ගියා.

 

7. රශ්මි රවිනා 

නර්තන ශිල්පිණියක් විදිහට කලා ලෝකයට ආපු රශ්මි රවිනා ඉතා ඉක්මනින්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් බවට පත් වුණා. රවීන්ද්‍ර යසස්  අතින් අතවරයට පත්වන පාරම්පරික නර්තන ශිල්පිණියක් විදිහට ඇය සිදු කළ රඟපෑම බෙහෙවින් කතාබහට ලක් වුණා. නමුත් ඇය ඉක්මණින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සමුදීලා නර්තන පන්ති පැවැත්වීමට යොමු වුණා. වසර කීපයකට පෙර නර්තන රියැලිටි ටීවී  වැඩසටහනකට නම් ඇය විනිශ්චකාරවරියක් විදිහට සහභාගි වෙලා තිබ්බා. 

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොට​ස මෙතනින් කියවන්න. 

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස මෙතනින් කියවන්න. 

මේ වගේ ඔයාලට මතක් වෙන හදිස්සියෙම ක්ෂේත්‍රයෙන් සමුගෙන ගියපු රංගන ශිල්පිණියෝ ගැන කතා කරන්න කමෙන්ට් තීරුව විවෘත වෙලා තියෙනවා.ඒ වගේම මේ ආටිකල් එක අනිත් අයත් එක්කත් බෙදා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *