අපේ කලා ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඇතිවුණු ගැටුම්

මේ ලිපියේ 2 වන කොටස මෙතනින් කියවන්න 

කලාකරුවෝ කියන්නේ ඉතාම සංවේදී පිරිසක් කියලා තමයි කතාවට කියන්නේ. ඒ සංවේදීකම නිසා වගේම ක්ෂේත්‍රයේ තරගකාරීත්වය නිසා සිත් අමනාපකම් ඇති කරගන්න අවස්ථා බොහොමයක් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. සමහර අවස්ථාවලදී මේ ගැටුම් නිසා කලාකරුවෝ එකිනෙකා හා අවුරුදු ගණන් එකට වැඩ කරන්නේ නෑ. මේ වැඩවලින් අන්තිමට පාඩු වෙන්නේ ප්‍රේක්ෂක අපිටමයි. අපි අද හිතුවා ඒ වගේ අපිට පාඩු විඳින්න සිද්ධ වුණු කලා ලෝකේ ගැටුම් කීපයක් ගැන කතා කරන්න.

 

1. ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම

Image Source – ⦁ newsfirst.lk/ ravihara.xyz

ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම කියන්නේ අපේ සිනමාවේ යුග පුරුෂයෝ දෙදෙනෙක්. රන්මුතු දූව, ගැටවරයෝ, චණ්ඩියා, පරසතුමල් චිත්‍රපටිවල ඔවුන් දෙදෙනා එකිනෙකාට සහයෝගය දක්වමින් සිදු කළ රඟපෑම් අතිවිශිෂ්ටයි. ඒ වගේම කාලයක් ඔවුන් දෙදෙනා අතිශය සමීප මිතුරන් වෙලා හිටියා. නමුත් දෙදෙනාගේ දේශපාලන මතවල තිබ්බ පරස්පරතා නිසා දෙදෙනා අතර සුළු සුළු ගැටුම් ඇති වෙන්න ගත්තා. වටේ පිටේ හිටපු දිය යටින් ගින්දර ගෙන යන අය නිසා තත්ත්වය තවත් දරුණු වුණා. අන්තිමට දෙන්නම චිත්‍රපටියක රඟපානවා තියා මූණට මූණ බලන්නේ නැති තැනකට ආවා. මෙහෙම අවුරුදු කීපයක් ගත වුණා. මේ කාලේ දී එක්තරා තරුණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකුට තමන්ගේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට මේ දෙන්නව ගැනීම අත්‍යාවශ්‍ය වෙලා තිබ්බා. ඒ අධ්‍යක්ෂකවරයාගේ නම “ඩී.බී නිහාල්සිංහ”. චිත්‍රපටියේ නම “වැලිකතර” නිහාල්සිංහ මේ දෙදෙනාටම තමන්ගේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්න කියලා ආරාධනයක් කරනවා. දෙන්නම පැකිළීමකින් තොරව ආරාධනය පිළිගන්නවා. නමුත් චිත්‍රපටියේ පසුබිම්තල තුළදිත් දෙදෙනා කතා බහ කරන්නේ නෑ, රඟපානවා විතරයි. කොටින්ම ආහාර ගනිද්දි පවා නිහාල්සිංහට ඔවුන් දෙදෙනා මැද්දෙන් වාඩි වෙන්න සිද්ධ වෙනවා. වැලිකතර බලපු අයට මතක ඇති චිත්‍රපටියේ එන අවසාන දර්ශනය. ගෝරිං මුදලාලි (ජෝ) සහ පොලිස් නිලධාරී වික්‍රම (ගාමිණි) අතර සිද්ධ වෙන වෙඩි හුවමාරුව. මේ දර්ශනයට කලින් අවසාන මොහොතේදී නිහාල්සිංහ පාවිච්චි කරන්න නියමිත පිස්තෝල දෙක පරික්ෂා කරනවා. ඒ අවස්‍ථාවේ නිහාල්සිංහට දෙවියන් සිහි වෙනවා. මොකද ඒ පිස්තෝලවල තියෙන්නේ ඇත්ත උණ්ඩ. නිහාල්සිංහ නිසා සිංහල සිනමාවට වෙන්න ගිය ලොකු විනාශයක් වැලකෙනවා. මේ චිත්‍රපටියේ ජෝගේ රඟපෑම් ගැන ගාමිණී මහ ඉහළින් කතා කරනවා. ඒත් එක්කම දෙන්නම පරණ තරහ මරහා අමතක කරලා දානවා. එදා ඉඳන් දෙදෙනාගෙම ජීවිතවල අවසානය දක්වාම ආයෙත් දෙදෙනාම හොඳ මිතුරන් වෙනවා.

 

2. වික්ටර් රත්නායක සහ ලයනල් අල්ගම

Image Source – ⦁ victorrathnayake.lk/uslanka.net

වික්ටර් රත්නායක සහ “ස” ප්‍රසංගය කියන්නේ වෙන් කරන්න බැරි නම් දෙකක්. ස ප්‍රසංගය පටන් ගන්න මුල් දවස්වල වික්ටර් ගායනා කරන එක්තරා ගීතයක් රසිකයෝ දැහැනකට සම වැදිලා රස වින්දා. මේ ගීතය ලියන්නේ ‘දයානන්ද ගුණවර්ධන’ තනුව ‘ලයනල් අල්ගම’ගෙ. ඔයාලත් අහලා බලන්න ගීතය කොහොමද කියලා.

“දැන් ස ප්‍රසංග දුවන්නේ මගේ සිංදුවෙන්” කියලා දවසක් අල්ගම කතාබහකදි කියනවා. මේක වික්ටර්ගේ කනට යනවා. මේ නිසා සිත් තැවුලට පත්වෙන වික්ටර් ආපහු ඒ සිංදුව ස ප්‍රසංගයට කියන්නේ නෑ කියලා තීරණය කරනවා. මේ ගැන දැනගන්න කේ. ඩී. කේ ධර්මවර්ධන වික්ටර්ට අලුත් සිංදුවක් ලියනවා. මේ නිසා පරණ ගීතය ඉවත් වුණා කියලා ස ප්‍රසංගයේ රස වින්දනයට ලොකු බාධාවක් ඇති වෙන්නේ නෑ. ඒ ගීතය නම් ඔයාලා දන්න කියන ගීතයක්

 

3. සන්ධ්‍යා කුමාරි සහ විජිත මල්ලිකා

Image Source – ⦁ facebook.com/films.lk

ලංකාවේ සිනමා නිළියන්ගෙන් ලස්සනම නිළිය කවුද කියලා චිත්‍රපටි පිස්සන්ගෙන් ඇහුවොත් අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ තමයි “සන්ධ්‍යා කුමාරි”. ඒ වගේම ඒ කාලෙදී ඇය සමග කරට කර රංගනයෙන් සහ රූපයෙන් තරග කරපු අනිත් නිළිය වුණේ “විජිත මල්ලිකා”. මේ කාලෙදි එම් මස්තාන් අධ්‍යක්ෂණය කරපු “ධීවරයෝ” චිත්‍රපටියට මේ දෙන්නව සම්බන්ධ කරගන්නවා. එතන්දි ප්‍රධාන චරිතයට ගන්නේ කවුද කියන ප්‍රශ්නෙට අධ්‍යක්ෂකවරයා පත් වෙනවා. අවසානයේදී කාසියක් උඩ දාන්න ඔහු තීරණය කරනවා. කාසියේ වාසිය නිසා සන්ධ්‍යා කුමාරි ප්‍රධාන චරිතයටත් විජිත මල්ලිකා උප ප්‍රධාන චරිතයටත් තේරෙනවා. මේ චිත්‍රපටියේ මේ නිළියන් දෙදෙනාට කෙහෙවලු පටලවාගන්න අවස්ථාවක් නිරූපණය කරන්න තියෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඒ අවස්ථාවේ රංගනයකට එහා ගිහින් දෙදෙනා අතර එකිනෙකාට තිබ්බ නොකැමැත්ත නිරූපණය වුණා කියලා. කොටින්ම කියනවා නම් දෙන්නම රණ්ඩු වුණේ ඇත්තටම.

 

4. ලතා වල්පොළ සහ ඇන්ජලීන් ගුණතිලක

Image Source – srilankamirror.com

මේ ගැටුම නම් ඉතාම ප්‍රසිද්ධ ගැටුමක්. මේකට මුල් හේතුව වෙන්නේ එච්. ආර් ජෝතිපාල. ජෝතිපාල මුලින් ඇන්ජලීන් ගුණතිලක සමග ගායනා කරපු ගීතවලට ලතා වල්පොළ මහත්මියව සම්බන්ධ කරගන්නවා. මේ ගැන ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දිගින් දිගටම විරෝධය පළ කරනවා. මේ දෙන්නව සමගි කරන්න ගන්නා සියලුම උත්සහයන් සාර්ථක වෙන්නේ නෑ. නමුත් දැනට වසර දෙකකට වගේ පෙර දවසක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ලතා වල්පොළ මහත්මියගේ උපන්දිනයට කතා කරලා සුබ පතනවා. මේ දේ කරන්න කියලා ඇන්ජලීන් ගුණතිලක මහත්මියව උනන්දු කරන්නේ එතුමියගේ මුණුබුරා වුණු ඉමල්ක ජූඩ්. ඒත් එක්කම පරණ හිත් අමනාපකම් අමතක කරලා දාන දෙන්නම දැන් හොඳ යාලුවෝ බවට පත් වෙලා ඉන්නවා.

 

5. ඩබ්. ඩී අමරදේව සහ ප්‍රේමසිරි කේමදාස

Image Source – fragmenteyes.blogspot.com

අමරදේව සහ කේමදාස කියන්නෙත් අපේ සංගීතයේ මුර දේවතාවෝ වගේ දෙන්නෙක්. ඒත් මේ දෙවිවරු දෙන්නත් එක්තරා කාලෙක දෙදෙනාටම පහර පිට පහර එල්ල කරන්න ගත්තා. ඒකට හේතු වුණේ ගීතයක අයිතිය තියෙන්නේ කාටද කියන ප්‍රශ්නය. ලංකාවේ බුද්ධිමය දේපළ පනතේ හැටියට ගීතයක අයිතිය හිමි වෙන්නේ ගීත රචකයාටයි තනු නිර්මාපකයාටයි. මේ නිසා අමරදේව ගායනා කරපු ගීත කීපයක් ගී පද රචක අජන්තා රණසිංහ සහ තනුව හදපු ප්‍රේමසිරි කේමදාස විසින් “ඩබ්ලිව්. ඩී ආරියසිංහ” ලවා ගායනා කරවනවා. මේක පර්යේෂණයක් කියලත් එක්තරා අවස්ථාවක කියවෙනවා. මේ නිසා හිත් රිදවගන්න අමරදේව වගෙම අමරදේවගේ හිතවතුන් මේ සිදුවීමට විරෝධය පළ කරනවා. නන්දා මාලිනිය “මේක ගීත මංකොල්ලයක්” විදිහට හඳුන්වනවා.නමුත් ඊට අවුරුදු කීපයකට පස්සේ දෙදෙනාම නැවතත් පෙර පරිදිම මිතුරන් වෙනවා.

 

6. සනත් ගුණතිලක සහ ප්‍රසන්න විතානගේ

Image Source – youtube.com/en.wikipedia.org

ප්‍රසන්න විතානගේ පළමු වරට අධ්‍යක්ෂණය කරපු “සිසිල ගිනි ගනී” චිත්‍රපටිය සනත් ගුණතිලකගේ රංගන ජීවිතයේ එක සංධිස්ථානයක්. ඒ වගේම මේ චිත්‍රපටියට සනත් විවිධ අංශවලින් ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඊට අවුරුදු කීපයකට පස්සේ ප්‍රසන්න තවත් චිත්‍රපටියක තිර රචනයක් එක්ක සනත්ව හොයාගෙන යනවා සනත් ගුණතිලකගේ උදව් ගන්න. මොකද ඒ කාලේදී සනත් ජනාධිපති උපදේශකවරයෙක්. චිත්‍රපටියේ පිටපතට යුද්ධය තේමා වුණු නිසා පසුබිම්තල ලබා ගන්න සනත් උදව් වෙයි කියලා ප්‍රසන්න හිතනවා. සනත් උදව් කරනවා. නමුත් ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමන්ට දෙන්න කියලා සනත් ප්‍රසන්නට ඉඟි කරනවා. මේකෙන් හිත අවුලට පත් කරගන්න ප්‍රසන්න පිටපත වෙනස් කරලා හොර රහසේ “පුර හඳ කළුවර” චිත්‍රපටිය නිර්මාණය කරනවා. ඒ චිත්‍රපටියට වාරණයක් පවා පැනවෙනවා. මේ වාරණය පිටිපස්සෙත් සනත් හිටියා කියලා කනින් කොණින් ඇහෙනවා. හැබැයි සනත්ගේ හිතවතුන් නම් කියන්නේ ප්‍රසන්න මේ සිදුවීමේදී ඕවර්රියැක්ට් කළා කියලා.

 

7. ලූෂන් බුලත්සිංහල සහ අමරසිරි පීරිස්

Image Source – youtube.com/aithiya.lk

සිරි මැදුර චිත්‍රපටියට අමරසිරි පීරිස් ගායනා කරනා “කන්‍යාවී”ගීතය සිංහල සිනමා ගීතයේ විශිෂ්ට නිර්මාණයක් විදිහටයි සැලකෙන්නේ. හැබැයි මේ ගීතය සජීවීව නම් කවදාවත් ඔයාට අහන්න ලැබෙන එකක් නෑ. මොකද කියනවා නම් කන්‍යාවියේ ඇතුළු ලූෂන් බුලත්සිංහල මහත්මයගේ කිසිම ගීතයක් ආපහු ගායනා නොකරන්න අමරසිරි පීරිස් මහත්මයා තීරණය කරලා තියෙනවා.ඒකට හේතුව වෙන්නේ ගීතයේ පද රචක ලූෂන් බුලත්සිංහල මහතා සහ තනු රචක ප්‍රේමසිරි කේමදාස මහත්තයගේ බිරිඳ ලතා කේමදාස මහත්මිය බුද්ධිමය දේපළ හිමිකමට අදාළව අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම. අපි ඒ නිසා ඒ ගීතයේ ලින්ක් එකක් නම් ආටිකල් එකට එකතු කරන්නේ නෑ.

මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් උදහස් ඉදිරිපත් කරන්න, ඒ වගේම ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබේ ප්‍රතිචාර හොඳයි නම් “විජය ගාමිණීට මූණ ඉදිමෙන්න ගහපු හැටි, නන්දා මාලිනී රෝහණ වීරසිංහ ගැටුම ” වගේ ඔබ නොදන්න කලා ලෝකේ ගැටුම් ගැන තොරතුරු ඇතුළත් මේ ලිපියේ දෙවෙනි කොටසකුත් ලියවේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *