පිළිම තැනීම අපිට මතක සිටින චරිතයක් අනුස්මරණය කිරීමට යොදාගන්නා එක ක්‍රමයෙකි. එහෙත් ඇතැම් රටවල පිළිම යනු පුද්ගලයෙක්, සිද්ධියක් හෝ අවස්ථාවක් නිරූපණයට මෙන්ම කලා කෘතියක් ලෙසද යොදාගන්නා දෙයකි. ලොව උසම පිළිමය පසුගියදා ඉන්දියාවේ විවෘත විය. එම පිළිමය හදන්නට වැය වූ මුදල් ගැන බොහෝ කතා බහ ඉන්දියාවේ ඇති වුණි. එහෙත් ලොව සුවිසල් නිර්මාණ සෑම එකක්ම පාහේ මිල අධිකය. ඉතිහාසයේ සනිටුහන් වූ ලොව උසම පිළිම 7 මොනවාද? අපි ඒ ගැන ටිකක් සොයා බලමු.
1. Statue of Unity
ඉන්දියාවේ මෑතකදී නිරාවරණය කෙරුණු සර්දාර් පටේල්ගේ ප්‍රතිමාව ලොව උසම ප්‍රතිමාව වේ. එය අඩි 597ක් (මීටර 182ක්) උසැති පිළිමයකි. ඉන්දියාවේ ගුජරාටයේ නර්මදා නදියේ වේල්ලක් අසබඩ මේ යෝධ ප්‍රතිමාව නිර්මාණය වී තිබේ. එතෙක් ලොව තිබූ විශාලම පිළිමය වූ චීනයේ බුදු පිළිමයට වඩා සර්දාර් පටේල්ගේ ප්‍රතිමාව අඩි 90කට වඩා උසය. මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීමට ඉන්දීය රුපියල් කෝටි 2,989ක් පමණ වැය වී තිබුණි. නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ඉදිවුණු මේ යෝධ ප්‍රතිමාව ඉන්දීය සමාජයේ මෙන්ම පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලද සාකච්ඡාවට ලක් විය. ලෝහයෙන් නිමවූ මෙම පිළිමය සෑදීමට ගොවි ජනතාව සිය පැරණි යකඩ පරිත්‍යාග කළහ. එසේ ලැබුණු යකඩ මෙට්‍රික් ටොන් 100ක් පමණ පිළිමයේ පාදම සෑදීමට භාවිතා කර තිබේ. ඉන්දියානු නිදහස් සටනේ පතාක යෝදයෙකු වූ සර්දාර් පටේල්ගේ මැදිහත් වීම එක්සත් ඉන්දියාවකට මග කියාදුන්නේය. සර්දාර් පටේල් ඇතැම් තැන්වලදී ගාන්ධිගේ කොන්ග්‍රසයේ සමාජවාදී ප්‍රතිපත්ති වලට විරුද්ධ වුවත්, මිය යනතෙක්ම කොන්ග්‍රසය යටතේම සිටි දැවැන්ත චරිතයක් විය.
2. Spring Temple Buddha
චීනයේ ඇති මේ ප්‍රතිමාව 2008 සිට 2018 දක්වා වසර දහයක් ලොව උසම පිළිමය ලෙස මුල්තැන ගත්තේය. බුදුන් වහන්සේ පද්මයක් මත සිටගෙන සිටින ඉරියව්වක් මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වේ. චීනයේ ශෝකුන් නගරයේ පිහිටි මෙම ප්‍රතිමාව චීනය අදහන මහායාන බුදුදහම අනුව නිර්මාණය වූ පිළිමයකි. මීටර 128ක් උස මේ ප්‍රතිමාවේ පිටස්තර පෙනුම තඹවලින් නිර්මාණය කොට තිබේ.
3. Laykyun Sekkya
ලේඛ්‍යුන් සෙක්යා ලෙස හැඳින්වෙන මෙම බුදු පිළිමය මියන්මාරයේ මොන්යිවා පළාතේ පිහිටා තිබේ. මෙය 2008 දී විවෘත කරන ලද ප්‍රතිමාවකි. පිළිමයේ වැඩ කටයුතු 1996 සිට 2008 දක්වා වසර 12ක් තිස්සේ සිදුකර තිබේ. මියන්මාරය හෙවත් බුරුම රට ලංකාව සමගද කාලයක පටන් සම්බන්ධතා තිබෙන රටකි. බුරුම රටේ මෙම ප්‍රතිමාවෙන් බුදුන් වහන්සේ සිටගෙන සිටින ඉරියව්වක් නිරූපණය වේ. ථෙරවාදී බෞද්ධ රටකට ලොව උස අතින් තුන්වන ස්ථානයේ ඇති පිළිමය හිමි වීම ගැන අපටද ආඩම්බර විය හැකිය. මෙම පිළිමයේ ඇතුළත කුහරයකි. වායු ප්‍රතිරෝධ අවම කිරීමට මෙන් මෙම පිළිමයේ තැනින් තැන වා කවුළු පිහිටුවා තිබේ.
4. Ushiku, Ibaraki Prefecture
බුදු පිළිම යනු බුදු දහමේ සංස්කෘතියේ එක් අංගයකි. ජපානයේ ඇති උසම බුදු පිළිමය වෙන මේ ඉබරාකි ඩයිබුට්සු පිළිමය ජපානයේ උෂිකු පළාතේ පිහිටා තිබේ. මෙම පිළිමය මීටර 100ක් පමණ උසය. මෙම ප්‍රතිමාව 1993 දී වැඩ නිම කර තිබේ. 2008 දී චීන සහ මියන්මාර පිළිම තැනීමට මත්තෙන් මීටර සීයක් පමණ උසැති මේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාව ලොව උසම ප්‍රතිමාව විය. පද්මයක් මත නැගී සිටින බුදුන් වහන්සේ නිරූපණය වෙන මෙම ප්‍රතිමාවේ පද්මය මීටර 20ක් පමණ උසය.
5. Sendai Daikannon
ජපානයේ සෙන්දායි පළාතේ ඇති මෙම ප්‍රතිමාව ද මීටර 100ක් පමණ උස බෝධිසත්ව ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව සුදෝ සුදු ප්‍රතිමාවක් වන අතර එහි වැඩ නිම වී ඇත්තේ 1991 වර්ෂයේදීය. මෙම ප්‍රතිමාව අභ්‍යන්තරයෙන් සෝපාන ඔස්සේ ඉහළට යෑමේ පහසුවද සලසා තිබේ. මෙම පිළිමය පැසිෆික් සාගරයට මුහුණලා පිහිටා ඇති අතර, මෙහි ඉහළට ගොඩ වූ කල අවට භූමිය මනරම්ව දර්ශනය වේ.
6. Guishan Guanyin
චීනයේ හුනාන් මලාතේ චෙන්ශු හි පිහිටා ඇති මෙම පිළිමය ලෝකඩ වලින් නිමවා තිබේ. මීටර 99ක් උස මෙම පිළිමය 2009 දී නිරාවරණය කර තිබේ. දහසක් අත් සහ ඇස් ඇති බෝධිසත්වයෙක් මෙම පිළිමයෙන් නිරූපණය වේ. පද්මයක් මත සිටි පිළිමයක් ආකාරයට තිබෙන මෙම පිළිමයේ දහසක් අත් නිරූපණයට අත් රැසක් නිර්මාණය කොට තිබේ.
7. Great Buddha of Thailand
මෙම මහා පිළිමය තායිලන්තයේ පිහිටා ඇති විශාලතම බුදු පිළිමය වේ. ථෙරවාද බුදුදහම මූලික වූවද තායිලන්තයේ ප්‍රතිමා ලාංකික බුද්ධ ප්‍රතිමා වලට වඩා මදක් වෙනස්ය. මීටර් 92ක් පමණ උස මෙම ප්‍රතිමාව දළ වශයෙන් ලංකාවේ පිහිටි උසම ප්‍රතිමාව වන අළුත්ගම කන්දේ විහාර ප්‍රතිමාව මෙන් දෙගුණයක් උසය. වර්ෂ 2008 දී නිමවුණු මේ බුදු පිළිමය වට් මුවාන් ආරාමයට අයිති අන්ග් තොන් පළාතේ පිහිටි එකකි. කොන්ක්‍රීට් වලින් නිමවා, පිත්තල ආලේප කොට ඇති මෙම පිළිමය ඈතට රන් පිළිමයක් මෙන් දිස්නයක් දෙමින් බැබළේ.
ඉන්දියානු නිදහස් සටනේ පතාක යෝධයකු වූ සර්දාර් පටේල්ගේ යුනිටි ප්‍රතිමාව හැරුණු කොට අනෙක් සියළුම උස පිළිම බෞද්ධ ආගමට සම්බන්ධ වූ පිළිම වහන්සේලාය. එයිනුත් පිළිම 6ක් පමණ බුදුන් වහන්සේගේ පිළිම වේ. ලංකාවේ උසම ප්‍රතිමාව අලුත්ගම කන්දේ විහාරේ පිළිමය වන අතර, දෙවැනි තැන වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙර පිළිමයට හිමි වේ. සුවිශාල දේවස්ථාන මගින් දෙවියන් කොතරම් විශාලද යන්න ගැන බැතිමතුන්ට අදහසක් ලැබෙන බව ලෝ ප්‍රකට වාස්තු ශිල්පියෙකු වන මයිකල් ආන්ජලෝ පවසා තිබේ. පිළිමවල සිටින ඔවුන් කෙතරම් විශාලද යන්න මේ සුවිශාල පිළිම මගිනුත් හොඳින්ම නිරූපණය වේ.
Cover Image Source – edition.cnn.com/ qz.com
Leave a Reply