සිනහව ගෙන දී අපෙන් සමුගෙන ගිය කලාකරුවෝ – 2 කොට​ස

සිනහව ගෙන දී අපෙන් සමුගෙන ගිය කලාකරුවෝ ආටිකල් එක ලියන්න කලින් අපි පොඩි රිසර්ච් එකක් කරා. ඒ රිසර්ච් එකේදි අපිට තේරිච්ච දෙයක් තමයි එහෙම කලාකරුවෝ ගණනාවක් ඉන්නවා කියන එ​ක. මේ නිසා අපි පළවෙනි ආටිකල් එකෙන් කලාකරුවන් පිළිබඳවත් දෙවැනි ආටිකල් එකෙන් කලාකාරිනියන් පිළිබඳවත් කතා කරන්න හිතුවා. අද මේ ඔබ කියවන්නේ කලාකාරියන් පිළිබඳ ආටිකල් එක.

 

මේ ලිපියේ පළමු කොටස මේ ලින්ක් එක ක්ලික් කර කියවන්න!

 

1. පර්ල් වාසුදේවි 

පර්ල් වාසුදේවිව පසුකාලීන පරම්පරා අඳුනගන්නේ විකට ජවනිකා නිරූපණය කරපු නිළියක් විදිහට වුණාට ඇය ග්‍රැමෆෝන් යුගය තුළ ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච ගායිකාවක්. ඒ වගේම වේදිකා නාට්‍ය නිළියක්.

නමුත් සිනමාව ඇතුළෙදි නම් ඇයට ගායිකාවක් විදිහට ලොකු ගමනක් යන්න ලැබුනේ නැහැ. ඇය දායක වුණු පළවෙනි සිනමා නිර්මාණය වන ‘අම්මා’ චිත්‍රපටයේ ඇය ගීතයක් ගායනා කළ බවට සඳහනක් තියෙනවා. ඒ ඇරුණම ඇය තමන්ගේ ගායන හැකියාව ලබා දීලා තියෙන්නෙ ‘බඹර පැටික්කී’ චිත්‍රපටියේ එන මේ ගීතයට විතරයි 

කවුද හරි, බඹර පැටික්කි, සුසී, ඇමතිකම, සුරංගනී වගේ චිත්‍රපටි ගණනාවකින් ප්‍රේක්ෂකයන් සිනාගන්වන්න ඇය සමත් වුණා.

 

2. ලිලියන් එදිරිසිංහ 

‘කෝලංකාරයෝ’ චිත්‍රපටියේ එක් අපූරු දර්ශනයක් තිබ්බා. ඒ දර්ශනයේ ලංකාවේ ප්‍රවීණතම විකට නිළියන් දෙදෙනෙක් බොක්සිං සටනක යෙදුණා. ඒ නිළියන් දෙදෙනාගෙන් එක් කෙනෙක් වුණේ අපි කලින් ස​ඳහන් කරපු පර්ල් වාසුදේවි, අනිත් කෙනා ලිලියන් එදිරිසිංහ. සමහර සටහන්වලට අනුව ලිලියන් එදිරිසිංහ තමයි වැඩිම චිත්‍රපටි ගණනාවක රඟපාල තියෙන නිළිය බවටත් පත් වෙලා තියෙන්නේ. එතුමිය තමන්ගේ සිනමා ජීවිතය ආරම්භ කරන්නේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්මයාගේ අයිරාංගනී චිත්‍රපටියෙන් ඊට පස්සේ සුරංගනී, සැඩ සුළං, දෙයියන්ගේ රටේ, අල්ලපු ගෙදර, සුවිනීත ලාලනී, පිපෙන කුමුදු වගේ චිත්‍රපටි ගණනාවක ඇය රඟපානවා. රඟපාපු අවසාන චිත්‍රපටය වුණු ‘චෙරියෝ කැප්ටන්’ චිත්‍රපටයේ රඟපාද්දි සිදුවුණු අනතුරක් නිසා ඇය රෝගී තත්ත්වයට පත් වෙනවා. මේ නිසා ඇයගේ අවසාන කාලය තුළ බොහෝ අපහසුතාවලින් ගත කරන්න ඇයට සිද්ධ වෙනවා.

 

3. මර්සි එදිරිසිංහ 

විකට නළුවන් අතර ෆ්‍රෙඩී සිල්වා රජු වෙනවා නම් විකට නිළියන් අතර මර්සි එදිරිසිංහ රැජින කියන එක ගැන විවාදයක් නැහැ. ඇය අපිට මතක හිටින්නෙම විකට නිළියක් විදිහට. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇය සුගතපාල ද සිල්වා මහත්මයාගේ  වේදිකා නාට්‍ය ගණනාවක ප්‍රධාන නිළිය විදිහට රඟපාලා තියෙනවා. ගුවන් විදුලිය සහ ටෙලි නාට්‍යවලින් ඇය අපිට අතිශයින් සමීප වුණා. ඒ නිළියක් වගේම දක්ෂ හඬකැවීම් ශිල්පිනියක් විදිහට. ක්ෂේත්‍රය තුළ බොහෝ කලාකරුවන්ට උදව් උපකාර කළ ඇයගේ අවසාන කාලය තුළ නොසිතූ ලෙස ලෙඩ ඇඳට වැටීමට ඇයට සිද්ධ වුණා. නමුත් ඒ අවස්ථාවේ දී බොහෝ කලාකරුවන් ඇයට උදව් උපකාර කිරීමට එකතු වුණේ ඇයගේ හිත හොඳකම නිසා.

 

4. මේබල් බ්ලයිත් 

මේබල් බ්ලයිත්ව අපේ පරම්පරාව අඳුරන්නේ නැති වුණාට ඇය ‘දෛව විපාකය’ චිත්‍රපටයට ගායනා කරපු ගීතය නම් හැමෝම වගේ දන්නවා. හැබැයි පසු කාලීනව ගායිකාවන් ගායනා කරපු හඬින්. අපි මුලින් සඳහන් කළේ මේබල් බ්ලයිත්ගේ මුල් ගායනය.

මේබල් බ්ලයිත්ගේ හොඳ හඬක් තිබ්බ නිසා ඇය රඟපාපු බොහෝ චරිතවල පසුබිම් ගායනයත් ඇයට ලැබුණා. ‘සැඟවුණු පිළිතුර’ චිත්‍රපටියේ ඇය නැන්සි වෙද්දිත්, ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ ලිසී වෙද්දිත්, ‘කැලෑහඳ’ චිත්‍රපටයේ මිසී වෙද්දිත් ඇගේ පෙම්වතා විදිහට රඟපෑවේ එඩී ජයමාන්න මහත්තයා. ‘කවට අන්දරේ’, ‘හදිසි විවාහය’, ‘සූකිරි කෙල්ල’, ‘ජීවන් මල්ලි’, ‘සැපට දුකට සනී’ වගේ චිත්‍රපටි ගණනාවකට ඇයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඇගේ  සොහොයුරියන් වුණු ෂර්ලි බ්ලයිත් සහ ප්‍රින්සි බ්ලයිතුත් චිත්‍රපටි කීපයකටත් සම්බන්ධ වුණා.

 

5. ලැටීෂියා පීරිස් 

‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ එන ළමා චරිතය වුණු හිල්ඩාගෙ චරිතය නිරූපණය කරන්න නියමිතව තිබුණේ ලැටීෂියා පීරිස් හටයි. ඒ ඇය කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍ය​යේ එම චරිතය නිරූපණය කළ නිසා. අවාසනාවකට වගේ ඒ දිනවල රෝගී වීම නිසා චිත්‍රපටයේ රඟපෑම ඇයට අහිමි වී යනවා.

නමුත් ඇය තමන්ගේ චිත්‍රපටි ගමන ‘හදිසි විනිශ්චය’ චිත්‍රපටයෙන් ආරම්භ කරනවා. ඉන් පසුව ‘සිරියලතා’, ‘බයිසිකල් හොරා’, ‘දුලීකා’, ‘කතුරු මුවාත්’ වගේ චිත්‍රපට ගණනාවක රඟපෑමට එක් වෙනවා. ‘අසල්වැසියෝ’, ‘හැංගි හොරා’, ‘වඩදිය’, ‘නෝනාවරුනි මහත්වරුනි’ වගේ ටෙලි නාට්‍ය ගණනාවකට ඇය දායකත්වය ලබා දුන්නා.

ජීවිතයේ අවසන් කාලයේ දී ඇල්සයි​මර් රෝගයට ගොදුරු වීම නිසා, ඇයට ඉතාමත් දුක්ඛිත කාලයකට මුහුණ දෙන්න වුණා. අවසන් සමයේදී ඇයට අවශ්‍ය බෙහෙත් හේත් පවා සපයා ගෙන තියෙන්නෙ දැඩි දුෂ්කරතා මධ්‍යයේ.

 

6. ජෙමිනි කාන්තා 

ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසයේ පළවෙනි වික​ට නිළිය බවට පත් වෙන්නේ ජෙමිනි කාන්තා. ඒ වගේම ඇය ලංකාවේ පළමු මුස්ලිම් නිලිය විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊට හේතුව වන්නේ ඇය උපතින් මැලේ ජාතික කාන්තාවක් වීම නිසා.

‘කඩවුණු පොරොන්දුවේ’ ජොසී බබා විදිහට මනුප්පුවා වුණු එඩී ජයමාන්න සමඟ ඇය ගායනා කරපු මේ ගීතය අදටත් ජනප්‍රියයි.

 

ඔවුන් දෙදෙනාම ‘වැරදුණු කුරුමානම’ චිත්‍රපටයට මෙහෙම ගායනා කරනවා

 

විවාහයෙන් පසුව ඇය රංගනයට සහ ගායනයට සමු දෙනු ලැබුවා.

 

7. දමිතා සළුවඩන 

දමිතා සළුවඩන කියන නම අපේ සමහර ටෙලිනාට්‍ය රසිකයෝ නොදන්නවා වුණාට කෝපි කඩේ ඇසිලින් කිව්වොත් එකපාරට ඒ  කවුද කියලා හැමදෙනාම හඳුනා ගන්නවා.”හැංගි හොරා” චිත්‍රපටයෙන් තමන්ගේ සිනමා ගමන ඇරඹුව ඇය වැඩිපුරම දායකත්වය ලබා දුන්නේ වේදිකා නාට්‍යවලට. ඒකට හේතු​ව හැටිය​ට ඇය කිව්වේ ඇගේ රූපය සිනමාවේ ප්‍රධාන චරිතවලට ගැලපුනේ නෑ කියලායි.

‘සුද්දහාමි’ ටෙලි ටෙලිනාට්‍යයෙන් තමන්ගේ ටෙලි නාට්‍ය ජීවිතය ආරම්භ කරපු දමිතා ‘නිල් පලිඟු දිය’, ‘සරා’ වගේ ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑවා. අවසාන වශයෙන් ඇය දායකත්වය ලබා දුන්නේ ‘සුන්දර පෙමානිස්’ ටෙලිනාට්‍ය​ය සඳහා. දියවැඩියා රෝගයෙන් ඇතිවුණ සංකූලතාවයක් නිසා ඇය හදිසියේ අප අතරින් සමුගෙන ගියේ කිසි​වෙකුත් නොසිතූ නිමේෂයකදී.

 

මේ කලාකාරිනියන් ගැන වගේම අපේ ආටිකල් එකට මග ඇරුණු, අපට සිනහව දීලා සමුගෙන ගිය කලාකාරිනියන් ගැනත් ඔබට කියන්න කමෙන්ට් තීරුව අපි විවෘත කරලා තියෙනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *