ඩිස්නි සිනමා ලෝකය අපිව ඇඬෙව්ව හැටි මතක් කරගමු

ඩිස්නි කොම්පැණිය මේ දවස්වල එලෝ මෙලෝ නැතුව ඉන්නේ ඩිස්නි ක්ලැසික්ස් රීමේක් කරන සීන් එකේ. මේ වෙනකොටත් ඇලඩින් ආදායම් වාර්තා තියෙන ගමන් තමයි ඉන්නේ. ඩිස්නි චිත්‍රපට විශේෂ වෙන්නේ අපේ හැඟීම් එක්ක මහා පුදුමාකාර විදියට කරන ගනුදෙනුව එක්ක. වෙලාවකට හිනාව දෙනවා, අඬවනවා, මරවනවා ආය ටිකකින් අතීතෙට එක්කන් යනවා. ඉතින් ඔය වගේ හැඟීම් සුප් එකක් අස්සේ අමතක කරන්න ම බැරි මතක තමයි අපිව අඬවපු ඒවා. වැඩුණු මනුස්සයෙක්ව පවා මී හරකෙක් වගේ බිම පෙරළලා අඬවන්න පුළුවන්කමක් තිබුණු සහ තියෙන මේ සිද්ධි ඔයාට මතක ද?



1. මුෆාසාගේ මරණය


දෙයියම්පා මේක බලලා ඇහැට කඳුළක් ආවේ නැත්තම් ලාදුරු හැදිච්ච මනුස්සයෙක් වෙන්න ඕනි. ඇයි දෙයිහාන්දුරුවනේ! මැරිච්ච තාත්තව නැගිට්ටවන්න පොඩි පැටියා වද වෙන හැටි හොඳ සිහියෙන් ඉන්න එකෙක්ට නම් නාඬා බලන්නම බැරි එකක්. 1994 එළි බැහැපු The Lion King ගොඩක් දෙනා ඉස්සෙල්ලා ම බලන්න ඇත්තේ තඩි VHS පටවලින්. සිංහ රජ්ජුරුවන් වෙන මුෆාසාට මරණය හිමි වෙන්නේ මහ දරුණු විදියට. තමන් අතින්ම පාලනය වෙන සත්තු කොට්ඨාසයක පයට පෑගිලා. ඒකටත් වඩා දුක හිතෙන්නේ මුෆාසාගේ පැටියා වෙන සිම්බා එතනට ඇවිල්ලා මැරුණු තාත්තට පණ දෙන්න දඟලනකොට. දැන් මේකේ රීමේක් එක එනවා. ඒ අවස්ථාව ත්‍රිමාණවම බලනකොට ඇහැටයි පපුවටයි ගාණට ඊයම් බරු බැස්සිලා තියේවි.

2. ඩම්බෝ සහ අම්මා

මුෆාසාගේ සිද්ධියටත් වඩා ඩිස්නි ඉතිහාසයේ බොහෝ දෙනා සංවේදී කරපු සිද්ධියක් තමයි Dumbo චිත්‍රපටයේ එන මේ අවස්ථාව. මේ චිත්‍රපටය නිසා ඇත්තට ම සර්කස් ප්‍රතික්ෂේප කරන්න තරම් මිනිස්සු පෙළඹුනා. ඒ තරමට බලපෑමක් කළා. තමන්ටත් වඩා ලොකුම ලොකු කන් දෙකක් තියන අලි පුංචට තිබුණු එකම සතුට තමන්ගේ අම්මා විතරයි. හැමෝට ම වඩා වෙනස් වෙන එකේ ආතල් එක පැටියට කියලා දුන්නේ අම්මා විතරයි. ඒ අම්මාව කූඩු කරලා තියනකොට, පැටියා අම්මා හොයන් එනවා. ඒත් තුරුළට වෙලා ඉන්න ඉඩක් නෑ. යාන්තම් හොඬේ දිගට තියන නිසාවත් ෂේප් වෙනවා. අම්මා Baby Mine සින්දුව කියන්න පටන් ගත්තත් හරි පොඩ්ඩගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. එතැන ඉඳන් කතා දෙකක් නෑ බලන එවුනුත් අඬනවා.



3. ට්වීඩ් නෝනාගේ වෙන් වීම


තවත් දරාගන්න ම බැරි මොහොතක් තමයි The Fox and the Hound චිත්‍රපටයේ මේ මොහොත. ටොඩ් කියන අහිංසක නරි පැටියා ව පොඩි කාලේ ඉඳන් ම හදාගත්තේ ට්වීඩ් නෝනා. දෙන්නට දෙන්නා විතරයි. අනේ ඒත් ටොඩ්ගේ හොඳට ම මේ දෙන්නට වෙන් වෙන්න වෙනවනේ. ටොඩ් ව කැලේ දාලා එන ඩිංගිත්ත මේ ඩිස්නි හාදයො පෙන්නපු විදියට දුකට පොළවේ පස් කැවෙනවා අම්මප. කරන්න පුළුවන් හැම දහංගැටයක් දාලා ම බලන්නේ අපේ පපුවලට ෂෙල් බෝම්බ ගහන්න තමයි. ට්වීඩ් නෝනගේ අසරණකම එක්ක ඒ වෙලාවේ අන්තිම ෆයිනල් සොට් එක වෙච්චි ‘දැන් මම මොකක්ද කරන්නේ?’ කියන ප්‍රශ්නාර්ථයකින් පිරුණු ටොඩ්ගේ මූණ මතක් වෙන ගාණට මොකක් හරි පෙත්තක්වත් ගහන්න වෙනවා දුක නැති කරගන්න.



4. බැම්බිගේ අම්මාගේ මරණය

Bambi කියන්නෙත් ඩිස්නි ක්ලැසික් එකක් තමයි. ඩිස්නි චිත්‍රපට ජීවිතයට යමක් අවසානයේ අනිවාර්‍යයෙන් ම එකතු කරනවා. හැබැයි ඒක කොරන්න කලින් අපිව නියපොත්තේ ඉඳන් පට්ට ගහනවා. අහිමිවීම්වල වේදනාව අපිටත් දෙනවා. තනිකම අපිටත් දෙනවා. එහෙම එකක් වුණා බැම්බි කියන මුව පැටියගේ අම්මාව දඩයක්කාරයෙක්ගේ අතින් මැරෙන කොට. පැටියාට දුවන්න කියලා වෙඩි කන්න අම්මා නවතිනවා. පස්ස නොබලා දුවන පැටියාට වෙඩි හඬ ඇහෙනවා. එතනින් ගැලවුණා කියලා හිතලා අම්මට කතා කරන්න පිටිපස්ස බලනකොට අම්මා නෑ. බැම්බි විතරයි තනියම. දඩයක්කාරයෙක් ඒ වෙලාවට ඇවිත් අපිවත් වලපල්ලට යැව්වා නම් එක අතකට සැපයි.



5. ක්වාසිමෝඩෝට කළ විහිළු

The Hunchback of Notre Dame නවකතාව අනුසාරයෙන් නිම වුණත් එක අතකට කතාවේ තියෙන දරුණු ගතිය ඒ විදියට ම ගත්තේ නැති එකට එක අතකට පින් සිද්ධ වෙන්න ඕනි. පොඩි සිද්ධියකින් මනුස්ස සංහතිය ම අපිට එපා කෙරෙව්වා නම් ඕක ගෙඩිය පිටින් දැම්මා නම් මොනවයින් මොනවා වෙයි ද දන්නේ නෑ. ක්වාසිමෝඩෝ තමයි නොත්‍ර දාමයේ විකෘති කුදා. එහෙමයි මිනිස්සු ඔහුව දැක්කේ. ඒ නිසාමයි ඇස් රතු වෙන කැත විහිළු ටිකක් මේ අහිංසකයාට අනික් මිනිස්සු කරන්නේ. තමන් ව මේ ජරා මිනිස්සුන්ගෙන් බේරගන්න කියලා ස්වාමියාට කියද්දිත් ඒ යකා ඉන්නේ තමන්ගේ සේවකයාව බල්ලෙක් ගානට දාලයි. තරහව පිට කරන්න ඕනි. ඒත් බනින්න ඕනි කාට ද කියලවත් තේරෙන්නේ නෑ අපිට. ක්වාසිමෝඩෝ එක්ක මේ අවස්ථාවේ අපිත් අසරණයි.



6. ෆ්‍රෙඩ්රික්සන් යුවළගේ සදාකාලික ප්‍රේමය


Up චිත්‍රපටයේ මුල් ම විනාඩි දහය. මේක එහෙම කිව්වම ලේසියි. ආදරයේ පටන් ගැන්ම සහ ආදරය පැවතුණත් ශරීර ස්කන්ධවලින් ඈත් වීම කියන දේ දක්වා වෙන පෙළගැස්මයි මේ. ෆ්‍රෙඩ්රික්සන් මහත්තයගේ ලෝකය නෝනා නිසා හරිම ලස්සනට තිවුණා. ඒක නෝනා නැති වෙලා තමන් තනි වුණාට පස්සෙත් මහත්තයගේ මතකයේ තියෙනවා. තමන්ගේ ළඟ ම තියෙන සෝපා පුටුව දිහා නිතර බැලෙන්නෙත් ඇය තමන්ගේ ළඟින් ම ඉන්නවා වගේ ඔහුට දැනෙන්නෙත් අන්න ඒ නිසයි. ෆ්‍රෙඩ්රික්සන් මහත්තයට දුකෙන් ඉන්න එපා කියනවට වඩා මේ ටික බලන්න ඔයා හිත හදාගෙන ඉන්න ඕනි.


7. ලෙස්ලිගේ මරණය


The Bridge to Terabithia. මේක ටිකක් වෙනස් චිත්‍රපටයක්. ඒ කියන්නේ පොඩි ම පොඩි හාදයන්ටත් වඩා ටිකක් ඉලන්දාරි ලෙවල් එකේ ඉන්න පොඩ්ඩොන්ට වැදෙන එකක්. හැබැයි ඉතින් ඩිස්නි චිත්‍රපටයි එව්වා බලන වයස් භේද ගැනයි කියවන්න කාටත් අයිතියක් නැහැනේ. කතාව ගැන කිව්වොත් ජෙසීට ඉන්න එක ම යාළුවා ලෙස්ලි. දෙන්නා එකතු වෙලා කැලේ තැනක් හොයාගෙන මායා ලෝකයක් හදාගන්නවා. එතෙන්ට යන්න කඹේක එල්ලිලා යන්න ඕනි. මේ දෙන්නා මාර වීර වැඩ මේ ලෝකේ ඉඳන් කරනවා. දවසක් දා ලෙස්ලිට මේ මායා ලෝකෙට තනිය ම යන්න වැඩ සිද්ධ වෙනවා. අනේ ඒත් කඹේ කැඩිලා වැටිලා ඈ මැරෙනවා. තමන්ට හිටපු එක ම යාළුවා නැති වීමේ ශෝකය පුංචි ජෙසී එක්ක අපිත් විඳවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *