ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොට​ස

ඊයේ පෙරේදා අපි ජනප්‍රියත්වයෙන් හිණිපෙත්තේ ඉඳලා එකපාරටම අතුරුදහන් වුණු නිළියෝ කීප දෙනෙක් ගැන සටහනක් තිබ්බා. ඒ සටහන කියෙව්වේ නැත්නම් මෙන්න පහත තියනවා ලින්ක් එක.

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ

මේ සටහනට ඔයාලගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒ වගේම දර්ශනී තිවංකා, රශ්මි රවීනා වගේ ඒ සටහනට තේමා වුණු නිළියනුත් ඒ ආටිකල් එකට ප්‍රතිචාර දක්වලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ඒ ආටිකල්  එකේ දෙවෙනි කොටසත් මේ විදිහට ඔයාලට ගේන්න.

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස මෙතනින් කියවන්න. 

 

1. සංදීපා සෙව්මිණි

මේ නම කියපු ගමන් රූපයක් හිතේ ඇඳිලා ගියා නේද? “රෑ දනියල් දවල් මිගෙල්, ජොලි හලෝ” වගේ විනෝදාත්මක චිත්‍රපටිවල වගේම ඒ දවස්වල ටෙලි නාට්‍යවලටත් සංදීපා සෙව්මිණි කියන්නේ නැතුවම බැරි චරිතයක් වෙලා තිබ්බා. “එඩ්වඩ් මල්ලවආරච්චි” මහත්මයගෙ ජනප්‍රිය නවකතාවක් වුණ “අපර්ණා” ඇසුරෙන් ඇය ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා ප්‍රධාන චරිතය වන අපර්ණාගේ චරිතය රඟ පෑවා. විවාහ වීමත් එක්ක කලා ලෝකයට සමු දුන්න ඇය මේ වෙනකොට කොළඹ ප්‍රදේශයේ​ම රූපලාවන්‍යාගාර කිහිපයක් පවත්වාගෙන ය​න සාර්ථක රූපලාවන්‍ය ශිල්පිනියක්. මේ වෙන කොට ඇයට දරුවන් දෙදෙනෙක් සිටිනවා.

 

2. සමන්තා ඈපාසිංහ

අනූව දශකයේ ළමා කාලය ගෙවපු අයට නම් දින දර්ශනවලට අනිවාර්‍යෙන්ම එකතු කරපු ඇගේ සුන්දර රුව අනිවාර්‍යෙන් මතක ඇති. සමන්තා ඈපාසිංහ ඉතා කෙටි කාලයකින් වේදිකාව,ටෙලි නාට්‍යය සහ සිනමාව කියන ක්ෂේත්‍ර තුනේම දස්කම් දක්වන්න සමත්වුණා. ඒ වගේම ඇයගේ ර​ඟපෑම් විවිධ සම්මාන උලෙළවලදි ඇගයීමට ලක්වුණා. මේ අතරතුර ඇය පෙනී හිටිය වෙළඳ දැන්වීමක් රට තුළ අන්දෝලනයට ලක්වුණා. ඒ ඇය ඊට කෙටි සහ සැහැල්ලු ඇඳුමකින් පෙනී සිටීම නිසා. ඉන් පසුව නැවත රඟපෑමට පිවිසියත් පෙර තිබූ ජනප්‍රියත්වයට ඇයට ළඟා වීමට අපහසු වුණා. ලංකාව අත්හැර එංගලන්තයට ගිය ඇය කරදර රැසකට ලක්වෙලා රෝගීව මේ වසරේ නැවතත් ලංකාවට පැමිණියා. මේ වෙනකොට ඇය සිය මව සමග හුදෙකලා දිවියක් ගත කරනවා.

 

3. තමාලී පීරිස් 

මුල් කාලීන සිංහල ටෙලිනාට්‍ය අතර “අසල්වැසියෝ” ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. එහි සහෝදරියන් තිදෙනා අතරින් අද දක්වාම ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ප්‍රියා රණසිංහ පමණයි. අනෙක් දෙදෙනා වෙන්නේ මීට කලින් අපි කතා කළ සමන්තා ඈපාසිංහ සහ තමාලි පීරිස්. මෑතකදි අප අතරින් සමුගත් ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මියගේ දියණිය වුණු තමාලී තමන්ගේ ජනප්‍රිය අවධියේම ටෙලිනාට්‍යවලට සමුදීලා මවගේ උරුමයෙන් ලැබුණු නිවේදන කලාවට යොමු වුණා. සිරස රේඩියෝවේ ආරම්භක නිවේදිකාවක් වුණු ඇයගේ කටහඬ වගේම ඇයගේ රඟපෑමුත් බොහෝ දෙනෙක්ට තවමත් මතකයි.

 

4. කුමුදුමලී ගමගේ 

කලා පවුලකින් එන “කුමුදුමලී සිල්වා” නිහාල් ගමගේ සමග විවාහ වීමත් එක්ක “කුමුදුමලී ගමගේ” වුණා. “ඉසිවර අසපුව, මායා සිහින, මැනලද පුතේ කිරි දුන්නේ” ඇය රඟ පෑ ටෙලිනාට්‍ය අතරින් කීපයක්. “පවන රළු විය”චිත්‍රපටියේ ඇය සිදු කළ රඟපෑම් සම්මානයටත් පාත්‍ර වුණා. මේ සියල්ලටම සමුදුන්න ඇය මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනවා.

 

5. නයනි මහේෂිකා 

නර්තන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආපු නයනි මහේෂිකා වෙළඳ දැන්වීම්වලින්  අපිට මුණ ගැහුණා. ඊට පස්සේ ටෙලි නාට්‍ය නිළියක් සහ නිෂ්පාදිකාවක් විදිහට. හිරු තනිවෙලා නාට්‍යයේ ඇය සරමක්  අඳිමින් කළ රඟපෑම ප්‍රේක්ෂක ආකර්​ෂණය දිනාගත්තා. ඒ වගේම “සොහොයුරෝ ” සහ “දාමිණි” ටෙලි නාට්‍යයවලත් ඇය අපුරූ රඟපෑම් සිදු කළා. විවාහයෙන් පසුව සැමියාගේ ව්‍යාපාර කටයුතු බලාගන්න ඇය මේ වෙනකොට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්

 

6. ගෝතමී පතිරාජ

“ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක්  ඕනෑ වේ” කියලා කිව්වේ ජනක සහ මංජු ගැන. නළුවෙක් විදිහට නොවුණත් ජනකගේ චරිතය රඟපාපු ජයන්තදාස් පෙරේරා, අධ්‍යක්ෂකවරයෙක් විදිහට තාමත් ක්​ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් මංජුගේ චරිතය රඟපාපු ගෝතමී පතිරාජ නම් මේ වෙනකොට ක්ෂේත්‍රයෙන් විතරක් නෙමෙයි මව්බිමෙනුත් බැහැරව ඉන්නේ. සම්භාව්‍ය සහ විනෝදාස්වාද භේදයකින් තොරව චිත්‍රපටිවලට දායක වුණු ඇය “අවසඳ” ඇතුළු ටෙලිනාට්‍යය කීපයකටත් තමන්ගේ දායකත්වය ලබාදුන්නා. නමුත් 2000න් පස්සේ ඉපදුණු අය නම් ගෝතමී පතිරාජ කියන නම අහලා තියෙනවද කියන එකත් සැකයි.

 

7. පුෂ්පලතා පෙරේරා

80, 90 දශකවල විකාශය කරපු ගමන ටෙලි නාට්‍යයේ ප්‍රියංකර පෙරේරා එක්ක රඟපාපු එක් සුරූපී නිළියක් ඒ කාලේ ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වුණා. ඈ නමින් පුෂ්පලතා පෙරේරා. මේ තියෙන්නේ ඒ ටෙලියේ ඇය රඟපාපු රූප රාමුවක්.

ඉන් පස්සේ “මල් කැකුළක්” ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චරිතයත් ප්‍රේක්ෂක අවධානයට ලක්වෙච්ච චරිතයක් වුණා. මේවාට අමතරව ඇය “පෙරළිකාරයෝ” ඇතුළු චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වුණා. හැබැයි 90 දශකයෙන් පස්සේ ඇයව අපිට තව දුරටත් දකින්න ලැබුණේ නැහැ. ආරංචි හැටියට ඇය මේ වන විට රංගනයෙන් ඈත්වෙලා නැටුම් ගුරුවරියක් හැටියට සේවය කරන බවයි දැනගන්න ලැබෙන්නේ.

 

8. ස්වර්ණමාලී ජයලත්

පුංචි තිරයේ අහිංසකාවිය වුණු ඇය “කඩුළු තහංචිය “ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට තමන්ගේ දායකත්වය ලබාදුන්නා. ඇයගේ මුහුණේ රැඳුණු අහිංසක බව නිසාමද මන්දා ඇයට කවදාවත් නපුරු චරිතයක් නම් ලැබුණේ නෑ. විවාහයෙන් පස්සේ රඟපෑමට සමුදුන් ඇයගේ නම මීට වසර කීපයකට පෙ​ර ආපහු කරලියට ආවේ වෙනත්ම විදිහකට. ඒ මොකක් සම්බන්ධවද කියලා අපි මේ සටහනට එකතු කරන්නේ නැත්තේ ඒ දේ අපිටත් හිතාගන්න බැරි නිසා.(දැනගන්න අවශ්‍යනම් ඒ නම සර්ච් කරලා බලන්න, හැබැයි අපි ඔබට සර්ච් නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි කියලත් කියනවා)

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ 1 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස 

එහෙමනම් ඉතින් ඔබේ අදහස් කමෙන්ට් තීරුවට එක් කරන ගමන් අනිත් අයටත් බලාගන්න මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *