තරු විදිහට මතුවෙන ගොඩක් දේවල් තියෙනවා. ගීත නිර්මාණකරුවන් අතර “තරුද සැඟවුනේ ඇයි? තරු තියෙන්නේ රෑ විතරද? තරුමල් කඩා දෙන්නෙමි” ආදී ලෙසින් තරු ගැන වූ ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ අතර කලකදී ලංකාව කළඹමින් පෑයු සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් තරු තරඟ තවමත් පැවැත්වුණත්, ඒවායේ මුලින් තිබූ දිලිසීම දැන් නම් පේන්නට නැහැ. ෆේස්බුක් ආවට පස්සේ ෆේස්බුක් වලත් තරු නිර්මාණය වුණා. අහස වගේ නිල්පාට තීම් එකෙන් එන ෆේස්බුක් අවකාශයේ තරුවක් වීමත් හිතන තරම්ම ලේසි නැහැ. මේ ෆේස්බුක් ස්පේස් එකේ ස්ටාර් එකක් වෙන්න අපි මොනවද කරන්නට ඕනා? ඒ ගැන පොඩ්ඩක් හිතා බලමු අපි.
1. ආගම සහ ජාතිය
ආගම, ජාතිය ගත්තාම පාර්ශව දෙකක ෆේස්බුක් තරු නිර්මාණය කරලා තිබෙනවා. පිරිසක් ආගම, ජාතිය දිවිහිමියෙන් රැකගන්නට පොටෝශොප් භාවිතා කරලා, පෝස්ට් හදලා ඒවා බෙදාහදාගන්නවා. ආගම දහම ගැන ප්‍රචාරය ගෙනයමින් ජීවිතයට ආගමේ වැදගත් කම කියාදෙන්නටත් සුලු පිරිසක් සැදී පැහැදී සිටිනවා. තවත් පිරිසක් ආගම් නම් බොරුය, ආගම කියා දෙයක් නොමැති යැයි ආගම් වල ඇති සෑම සියලුදේටම නිතර දෙවේලේ දෙස් තියමින් පෝස්ට් ෂෙයා කරනවා. පිටරට නිරාගමික අය කියන විදියට ආගමක බැඳීමක් නැති ජීවිතය කියන්නේ සැහැල්ලු දෙයක්. ඒත් ලංකාවේ ජනප්‍රිය ෆේස්බුක් නිරාගමිකයින් නම් ඒ විදියේ නිදහසක් භුක්ති විඳින ආකාරයක් පේන්නේ නැහැ. ආගමික සිද්ධස්ථානයකට, දේවස්ථානයකට මොනවා හරි ලොකුවට පූජා කළත් ආගමිකයින් සහ අන්‍යාගමිකයන්ට වඩා නිරාගමිකයන් ෆෝම් වෙනවා. කොහොම වුණත් ලාංකික ෆේස්බුක් අවකාශය තුළ ආගම කියන්නෙ නම් හොඳටම මාකට් විෂයයක්.
2. නිලියන්ගේ යට ඇඳුම් ප්‍රශ්න
ඇත්තටම නිලියක් යට ඇඳුමක් ඇඳීම කියන්නේ නිවුස් එකක් නෙමෙයි. ඒත් නිලියන්ගේ පුද්ගලික ජීවිතයේ සෑම සියලු දෙයක්ම සොයන පිරිසක් සිටිනවා. ඔවුන්ට අනුව සියලු නිලියන් වටේ යන අතර, ඒවා සොයා බලා ෆේස්බුක් වෙත වාර්තා කිරීම ෆේස්බුක් නියමුවන් ලෙස ඔවුන්ගේ රාජකාරියක් වෙනවා. නිලියන් සහ නිරූපිකාවන් නටන කියන දේවල්, ඔවුන් පාටි යන අයුරු, ඔවුන් රඟපාන විට කරන කියන දෑ අමාරුවෙන් සොයාගෙන වාර්තා කිරීම මේ ආකාරයේ ෆේස්බුක් වීරයින්ගේ වගකීමක් වෙනවා. ඔවුන්ගේ මෙහෙවර තවත් ව්‍යාප්ත කරන්න ඔවුන් ගොසිප් අඩවි සහ පේජ්ද පාවිච්චි කරනවා.
3. සභ්‍යත්වයට අනුව සාය තිබේදැයි බලන පිරිස
1960-70 කාලයේ ලංකාවේ සේයාරූ ගතහොත්, ඒ කාලයේ ලංකාවේ සිටි කාන්තාවන් අදටත් වඩා කොටට ඇඳගෙන පාරේ ගිය බවක් අපිට පැරණි පිංතූර බැලූවිට පේනවා. ඒත් නූතන ජාතිය ආගම කරට ගත් එක්තරා පිරිසක් රටේ ප්‍රශ්න කොපමණ තිබුණත් ස්ත්‍රීන්ගේ සායේ උස බැලීම, එවැනි දෙයක් දුටු සැනින් ෆොටෝ ගැසීම, ඒවා සඳහා කවි ලිවීම ජයටම කරගෙන යනවා. ඇතැම් අය ඒ දකින දේ ඒ අවස්ථාවේ පමණක් විඳ අමතක කිරීම වෙනුවට ෆොටෝ ගහගෙන, ඒවාට කවි කතා ලියා, අනුවේදනීය ලෙස ෆේස්බුක් හි පළකොට ලයික් හිඟාකෑමට ආදරණීය ගෲප් ද අටවාගෙන තිබෙනවා.
කාට උනත් ඔය හැඩ කකුල
රෑට ලැබෙනවානම් අඩුවට
පාට නැතිවුනත් ඒ තරමට
කෝටු පාර දේවි නේද සැරට
ආදී ලෙසින් අනුන්ගේ අනවසරයෙන් ඡායාරූප ගත් කකුල් වලට කවි ලියන පිරිස්ද එක්තරා ලෙසකින් ෆේස්බුක් හි වීරයන් ලෙස පෙනී සිටිනවා.
4. රට ගොඩනගන දේශපාලන බලය
මේ රටට වසර 5කට වතාවක් නිතර පැමිණෙන විදේශිකයෙක් සිටිනවා යැයි සිතමු. පසුගිය වසර 20-30ක කාලය තුළ දිගටම ඔහු ලංකාවට ආවානම්, ඒ සෑම කාලයකදීම දූෂණය, භීෂණය, අයහපත් පාලනය ආදිය දැකගන්නට ඔහුට ලැබෙනවා. ඒත් පාට පක්ෂ අනුව බෙදිලා ඉන්න ෆේස්බුක් ෆෑන්ස්ලා පිරිසකට අනුව රට විනාස කරන්නේ නිතරම ඔවුන්ගේ විරුද්ධ පාර්ශවයේ අය විසින් පමණයි. රටට ආදරේ කරන අය, ආර්ථිකය නංවා ජනතාවට අතමිට සරුකරන අය සහ දූෂණ මඩින, උනුත් එපා මුනුත් එපා තියරිය අදහන අයත් ෆේස්බුක් අවකාශයේද සිටිනවා. ඔවුන් රටේ සෑම ප්‍රශ්නයකදීම ගමේ කෝපි කඩේ දාං අදින පිරිස ලෙස දෙපසට තුන් පසට බෙදී ඇතැම් විට කමෙන්ට් දෙතුන් දාහ යනතෙක් දීර්ඝ වාද විවාද ෆේස්බුක් අවකාශය තුළ සිදුකරනවා. මේ දේශපාලනය කතා කිරීම නිසාම තරු බවට පත් වූ චරිතද රැසක්ම ෆේස්බුක් අවකාශය තුළ දිලිසෙනවා.
5. ඇරිස්ටෝටල් ප්ලේටෝට පසු ෆේස්බුක් එකට ලංකාවෙන්
යම් සිදුවීමක් සිදු වූ පසු අතීතයේදී නම් ලංකාවේ රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ ඒ ගැන වූ විචාර යම් යම් පාර්ශව වෙතින් නිකුත් වුණා. දැන් ඒ අඩුව පුරවාගන්නට කුමන සිදුවීමක් සිදුවුණත් දරුණු ගණයේ දාර්ශනික මත පළකරන අය සිටිනවා. ඇතැම්විට ඔවුන් කියන්නට යන දේ ඔවුන්ටම නොතේරුණා වගේ වුණත්, ඔවුන්ගේ අනුගාමිකයින්ට එය ගැටළුවක් නෙමෙයි. තරමක් සරල බසින්ද විටෙක ලියවෙන දාර්ශනික ලියවිලි වල…
“1834 දී ඉන්දියාවේ රාජේශ් පළාතේ ඛන්නා ජනපදයේ බේලුව නම් ගමේද මෙවැනි සිද්ධියක් සිදුවූ අතර, එහිදීද ජනතාව පොලිසියට එරෙහිව අවි අතට ගන්නට විය. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරින්ගේ හැසිරීම පොලිසිය විසින් සාධාරණීකරණය කළේ ලංකාවේ මේ සිදුවීමේ ආකාරයටමය. එහෙත් එදා ඉන්දීය රජයෙන් ඒ පොලිසිය වෙත ලැබුනේ ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොවේ.”
ආදී පුරාණ සිද්ධීන්, ඒ සිද්ධියට සමාන වෙනත් සිදුවීම් සහ දීර්ඝ පණ්ඩිත වදන් ඇතුළත් වෙනවා. ඇතැම්විට කිසිදා අසා නොමැති ඒ උදාහරණ සිදුවීම් සැබෑවටම සිදුවූවාදැයි කිසිවකු දන්නේ නැති වුවත්, ඒ කමෙන්ට් බැලුවොත්… “එලට ලියලා තියෙනවා“, “සුපිරී මේකනම් අයියේ…” ආදී කමෙන්ට් ගොඩක්ද දැකගන්නට හැකියි. ඒ අනුව ටිකක් ආස හිතෙන බාසාවකින් දාර්ශනික මත පළකිරීමත් ෆේස්බුක් හි නිතර ෂෙයාර් වන, උඩයන තරුවක් වෙන්නට පහසු මගක්.
6. වෙස්සන්තර බ්‍රදර්ස් ඇන් සිස්ටර්ස්
“යාලුවනේ මේ ආච්චි ඉන්නේ දෙල්ගහවත්ත හංදියේ. මේ ආච්චිට හැරමිටියක් නැහැ නැගිටින්න. ඔයාලගේ සහයෝගය ලැබෙනවා නම් මට හැරමිටියක් ආච්චි වෙනුවෙන් හදා දෙන්න පුලුවන්.”
ඇත්තටම ආච්චිට හැරමිටියක් හදා දීම එතරම් ලොකු වැඩක් නොවුණත්, ෆේස්බුක් හි පෝස්ට් පළ කොට, ආධාර රැසක් එකතුකරගෙන හැරමිටියක් හදා දීමත් එක්තරා ෆේස්බුක් පිරිසකගේ වැඩක්. ෆේස්බුක් මූලික කරගෙන හොඳ වැඩ ගොඩක් සිද්ධ වුණත්, ඇතැමුන් බොරු පෝස්ට් හදාගෙන තමුන් සුලු දෙයක් දී ලකුණු දමාගන්නත්, අනෙක් අයගෙන් මුදල් එකතු කිරීමටත් ෆේස්බුක් අවකාශය යොදාගෙන තිබෙනවා. ඒ වගේ අහිංසක ආධාරකරුවනුත් ෆේස්බුක් තුළ ජනප්‍රියතම චරිත වෙලා තියෙනවා.
7. උදව්ව තමයි මගේ ෆැෂන් එක බ්‍රෝ!
ඉදිරියේදී දේශපාලනය කරන්නට හෝ නැතිනම් වෙනයම් වාසියක් බලාගෙන ඉන්න ටිකක් ලොකු චරිත වලටත් තමුන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න ෆේස්බුක් එක ලොකු අවකාශයක්. ඒ වගේ අය අසරණයින්ට උදව් කිරීම උදෙසා හිඟන්නන්ට කෑම පැකට් 10ක් දීම ආදි දේවල්ද සිදුකරන අවස්ථාවේදීම ෆේස්බුක් හි පළ කරන්නට කටයුතු කරනවා. මෙලෙස ටික කලක් ගිය පසු තරමක කැපී පෙනෙන වැඩ කටයුතු වලටද මෙම වර්ගයේ අය සහභාගී වෙනවා. බැලූ බැල්මට අනුන්ට උදව් කරනවා යැයි පෙනුනත්, සැබෑ මුහුණ දැකගන්නට අපිට මදක් අපහසුයි. ඇතැම් විශාල චරිත ෆේස්බුක් හි අසරණ දරුවන්ට පාසැල් උපකරණයක් දෙකක් බෙදා දී, ලයික් විශාල ගාණක් උපයාගත්තා වුණත්, ඔවුන්ට අයිති කර්මාන්ත ශාලා වල, වැඩබිම් වල සේවකයින්ට ලැබෙන වරප්‍රසාද ආදිය සොයා බැලුවොත් අරුම පුදුම විස්තර මතුවන්නට ඉඩ තිබෙනවා.
ෆේස්බුක් කියන්නේ තවත් සමාජයක්. ඒ තුළ හොඳ මිනිසුන් වගේම හොයාගෙන ගියොත් එහෙමට හේතුවක් හොයාගන්න අමාරු සබන් බෝල වගේ උඩ පාවෙන ජනප්‍රිය ජීවීන්ද රැසක් අපේ ලාංකික ෆේස්බුක් අවකාශය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් හරි වුනත්, වැරදි වුනත් අපේ ෆේස්බුක් එකේ යම් කොටසක් මේ ෆේස්බුක් චරිත වෙනුවෙන් වෙන් වෙනවා. ඔවුන් ඇතැම්විට අපේ නිවසේ සිටින බිරිය, සැමියා හමුවෙන වාර ගණනටත් වඩා ගණනක් ෆේස්බුක් එක තුළදී අපිට මුණ ගැහෙනවා. ඇත්තටම වර්චුවල් ලෝකයේ වීරයෝ කියන්නේ ගොඩක් වෙලාවට සැබෑ මහපොළවේ වීරයෝ නම් නෙමෙයි. ඒත් දවසකට ඇතැම් විට පැය ගණනක් ෆේස්බුක් ඉන්න කෙනෙක් සැබෑ ලොව වීරයන්ට වඩා සයිබර්ගත වීරයන්ට කැමති වීම ලොකු අරුමයකුත් නෙමෙයි.
Cover Image Source – customerthink.com
Leave a Reply