අ​පේ ෆේස්බුක් යාළු​වෝ දේශපාලනික වශයෙන් බෙදිල ඉන්න කණ්ඩායම් 7ක්

මිනිස්සු කියන්නේ උපතින්ම දේශපාලනික සත්ත්වයෝ පිරිසක් කියලා ඇරිස්ටෝටල් කියලා තියනවා නේ.  හැබැයි ලංකාවේ දේශපාලන සත්ත්වයෝ ටික අනිත් රටවල් වලට සාපේක්​ෂව පට්ටම වෙනස් කියලා ඔබට හිතිලා නැද්ද? ඉදිරි ජනාධිපතිවරණයක් වෙනුවෙන් ලංකාවේම තැටිය රත් වෙලා තියන මේ වෙලාවේ නායකයෝ ටික තම තමන්ගේ රොටි ටික ආතල් එකේ පුච්චමින් ඉන්නේ. ඒ අතරේ ශ්‍රී ලාංකික හුදී ජන දේශපාලනික සත්ත්වයෝ ටික බොක්කෙන්ම ලිප ගිණි පිනි පිඹිමින් නායකයන්ට ලිප පත්තු කරලා දෙමින් ඉන්නවා. සැබෑ ලෝකයට වඩා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළේ මේ රත් වීම පැහැදිලිව ම දැක ගන්න පුළුවන්. තමන් කැමති දේශපාලනික මතයක් දැරීම හෝ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීම ඇත්තටම මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් තමයි. හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ වැඩ එක්ක බලද්දී, ඒ මානව අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම විහිළුවක් වෙලයි තියෙන්නේ. මීටර් එකෙන් බැලුවොත් කට්ටිය වෙන් කරලා අඳුනගන්න පුළුවන්. ඔබේ මිතුරු ලැයිස්තුවෙත් මේ වගේ අය ඉන්නවා ද බලන්න…

 

1. පාරම්පරික ඡන්ද 

ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ පාරම්පරික ඡන්ද දායකයෝ ටික. අම්මා තාත්තාගේ ආභාෂයෙන්, පරම්පරාවෙන් එන පුරුද්ද උඩ ඡන්දය තීරණය කරන කට්ටිය තමයි මේ. මේ සෙට් එකට අනුව තමන්ගේ පාරම්පරික පක්ෂය හෝ පක්ෂ නායකයන්ගෙන් තොර දේශපාලනික භාවිතාවක් නෑ. කැපුවත් ලේ පනින්නේ තමන්ගේ පක්ෂයේ පාටින් කියලයි මෙයාලා හිතන් ඉන්නේ. තමන්ගේ පක්ෂයේ ගමේ නියෝජිතයා වෙනුවෙන්, රැස්වීම් වෙනුවෙන්, මැයි දිනය වෙනුවෙන් බොක්කෙන්ම හුරේ දාන්න එකතු වෙන්නේත් මේ අයයි. සාමාන්‍යයෙන් “කණු” කියන්නේ මේ අයටනේ. ඒ කියන්නේ ස්ථීරව ම මැරෙනකල්ම ඡන්දය වෙනස් වෙන්නේ නැති නිසා වෙන්න ඇති. කොළඹ සමාජයට වඩා ග්‍රාමීය සමාජයේ වැඩිහිටි ප්‍රජාවේ තමයි මේ පාරම්පරික ඡන්ද පදනම හැම පක්ෂයකට ම ඉන්නේ. 

 

2. පාවෙන ඡන්ද

මේ අය තමයි ඕනෙම මැතිවරණ කාලයක හැම පක්ෂයකට ම තීරණාත්මක සාධකය. ඒ වගේම සීරියස් විදිහට රටේ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙත් මේ අයයි. රටේ දේශපාලනික සංස්කෘතියකාලය, සමාජය, අත්දැකීම්, තාක්ෂණය, ආර්ථිකය වෙනස් වීමත් එක්ක නිතරම අප්ඩේට් වෙන කට්ටිය තමයි මේ ගණයට වැටෙන්නේ. බොහොම විවෘ​ත මනසකින්, බුද්ධිමත් ප්‍රවේශයකින්, තර්කානුකූලව, දේශපාලනික පක්​ෂයකට හෝ නායකයෙකුට ගැති නොවී පවතින අවස්ථාවේ තත්ත්වයන් අනුව හොඳම ​තෝරා ගැනීමට ඡන්දය භාවිතා කරන්න තමයි මේ අය හැම තිස්සෙම උත්සහ කරන්නේ. කොටින්ම කිව්වොත් සාම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු වලට නොරැවටෙන, හැම දෙයක් ගැනම මීටරෙන් ඉන්නේ මේ කොට්ඨා​සය තමයි. ලංකාවේ දේශපාලනික සංස්කෘතිය ඇතුළේ  අතීතයේදී මේ අය සුළුතරයක් වෙලා හිටියත් අද වෙනකොට මැතිවරණයක දී රටේ දිශානතිය තීරණය කරන බහුතරය වෙලා ඉවරයි.

 

3. බයි ඡන්ද

ග්‍රාමීය ඡන්ද දායකයන් අතරින් බිහි වුන මේ කට්ටිය තමයි ලංකාවේ දේශපාලනික සංස්කෘතිය ඇතුළේ ආතල්ම සෙට් එක. බයියෝ කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙත් මෙයාලම නේ. පරමාදර්ශී නායකයෙක් දේශපාලනිකව අදහන්න පුරුදු වෙලා ඉන්න නිසා ​මෙයාලට ඒකෙන් තොර ලෝකයක් නෑ. මේ ගණයට අදා​ළ කොළඹ කට්ටිය නම් තමන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් පික්චර් එකේ හෝ කවර් ෆොටෝ එකේ අනිවාර්‍යෙන්ම නායකයාගේ මූණ හෝ සංකේත රිංගලයි තියෙන්නේ. කොටින්ම කිව්වොත් තමන්ගේ නායකයා පාරේ යද්දී අසූචි ගොඩක් පෙන්නලා ඒක අසූචි නෙමෙයි මැණිකක් කියලා කිව්වත් වැඳගෙන අදහන්නේ මේ එහෙයියන් ටික තමයි. ඇත්තටම ලංකාවේ ඉන්න කපටි දේශපාලකයන්ගේ මූලික අවශ්‍යතාවයත් මේ වගේ මිනිස්සු පුළුවන් තරම් හදාගන්නයි. මොකද එතකොට ගොඩ යන්න ලේසිනේ. මේ සෙට් එකත් එක්ක දේශපාලනය ගැන කතා කරන්න නම් කොහෙත්ම බෑ. තමන්ගේ මතය හෝ නායකයා විවේ​චනය ක​ළොත් උත්තර දෙන්න භාවිතා කරන්නේ සුද්ධ සිංහල ම විතර‍යි. ඒ වගේම “රට පාවා දෙනවා, විජාතික කුමන්ත්‍ර​ණ, එන්.ජී.ඕ. කාරයෝ, නිරාගමික පල්ලි කාක්කෝ, ජාතිය ආගම විකුණං කන උන්” වගේ විශේෂණ පද ටිකකුත් ඒ අස්සෙන් අහගන්න පුළුවන්, මේ කට්ටිය නායකයාගේ යටි පතුල් වලට පෑගෙන්න හරිම ආසයි. එක්තරා මො​ළ සේදීමක ප්‍රති​ඵලයක් විදිහට තමයි මේ අලුත් සංස්කෘතිය මෑත කාලීනව බිහි වුණේ.

 

4. ටොයි ඡන්ද

 ටොයියෝ කියලා හඳුන්වන මේ කට්ටිය ග්‍රාමීය ප්‍රදේශ වලට සාපේක්​ෂව කොළඹ සමාජය ආශ්‍රිතව තමයි වැඩි පුර ඉන්නේ. මෙයාලා ටිකක් ලිබරල් මත දරන් හිටියත් අවස්ථාව අනුව මෙයාලගේ ඇතුළාන්තයෙනුත් පුද්ගල වන්දනා, දේශපාලනික ඇදහීම් එළියට එනවා. එයාලටත් නොදැනීම. කොටින්ම මේ සෙට් එක ජාතිකත්වය, ආගමිකත්වය, වර්ගය, කුලය වගේ සංවේදී කාරණා වලදී ගා​ණක් නෑ වගේ පෙන්නුවාට, බයියන්ට වඩා වෙනස් කිව්වට චුට්ට චුට්ට ගෝත්‍රික මට්ටමට හැරවෙනවා දේශපාලනයේදී. මලම පැන්නොත් හංගන් හිටපුවා එලියට දාලා තමන්ගේත් වහල් බව එලිපිට ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන්ම මෙයාලා ෆේස් බුක් එකේදී බයියන්ට ව්හිලු කරලා විවේ​චනය කරන්න ට්‍රයි කළාට මෙයාලගෙත් දේශපාලනික නායකයන්, පක්​ෂ, තීරණ, හැසිරීම් ප්‍රශ්න කරන්න ගියොත් සුද්ධ සිංහලෙන් උත්තර හම්බ වෙන අවස්ථා ද නැතුවම නෙමෙයි . 

 

5. රැඩිකල් සෙට් එක

 මේ කට්ටිය වැඩියෙන්ම ක්‍රියාකාරී වෙලා වැඩ කරන්නේ සමාජ මාධ්‍ය වල. විශේෂයෙන්ම ෆේස් බුක් එකේ. පවතින සමාජයේ සාම්ප්‍රදායික දේශපාලනයට,, සංස්කෘතික කාරණාවන්ට එරෙහිව විවේ​චනාත්මක අදහස් ප​ළ කරන්න තමයි මෙයාලා හැමතිස්සෙම උත්සහ කරන්නේ. අලුත් මතවාදයන්, අලුත් සමාජයක්, වෙනස් විදිහට සමාජය කියවන්න පෙ​ළඹවීමක් මෙයාලා යෝජනා කරන නිසා මෙයාලා ෆලෝව් කරද්දී ඉගෙනගන්න පුළුවන්. ඇත්තටම ඒ අයගේ පහර ගැසීම්, මතවාදයන්, විවේචන නිසා සාධනීය ප්‍රතිඵල හම්බ වෙලා තියනවා. සමහර වෙලාවට ෆේස් බුක් භාවිතාවේදී මෙයාලගේ ලොකුම අරමුණ තමන්ගේ රැඩිකල් ප්‍රතිරූපය මේන්ටේන් කිරීම. ඒක නිසා ඒකට කවුරුහරි තර්ජනයක් කරනවා නම් ගේම ඉල්ලන්න මේ කට්ටිය ආයේ දෙපාරක් හිතන්නේ නෑ. බැරිම වුනොත් තමන්ගේ හිතවාදී සෙට් එකත් අඬගහ ගන්නවා වලියට. මේ කේස් එක වැඩිපුරම යන්නේ කමෙන්ට්ස් ඇතුළෙයි, ගොඩක් වෙලාවට මේ කට්ටියගෙන් ගේම ඉල්ලන්නේ සාම්ප්‍රදායිකත්වය අගය කරන කරන තවත් ගතානුගතික සෙට් එකක් ම තමයි. හැබැයි කමෙන්ට්ස් වලියක් කියවද්දී හම්බ වෙන ආතල් එක තමයි පෝස්ට් එකට වඩා නැගලා යන්නේ ඊළඟට. 

 

6. මධ්‍යස්ථ සෙට් එක

අවංකවම මධ්‍යස්ථ අදහස් දරන් කිසිම පක්​ෂයකට කඩේ නොයන කට්ටියකුත් ඉන්නවා, හැබැයි මීටර් එකෙන් බැලුවොත් මේ කොටස නියෝජනය කරන බහුතරය කරන්නේ  වටෙන් ගිහින් කාට හරි කඩේ යන එක තමයි. ෆේස් බුක් එකේ සාමාන්‍ය දවස් වලට මධ්‍යස්ථ පෝස්ට් ශෙයාර් කළාට මොකක් හරි සංවේදී සීන් එකක් උඩට ආපු ගමන්, ඡන්දය ලං වුණ ගමන් එයාලගේ දේශපාලනික භාවිතාව එලියට පනිනවා. අර පහුගිය කාලේ 225 ම එපා කියලා දැන් අපේක්ෂකයෝ එලි බැස්සාම එයාලට හෝ ගාලා කඩේ යන්නේ එහෙම අය තමයි. බයියොයි ටොයියොයි එලිපිට කඩේ යද්දී මෙයාලා වටේ පාරකින් දාලා කඩේ යන්න තමයි උත්සහ කරන්නෙ. මොකද මෙයාලට මෙච්චර කල් තියාගත්ත මධ්‍යස්ථ රැවුලත් බේරගන්න ඕනේ, අලුතෙන් කඩේ යන කැඳත් බේරගන්න ඕනේ. 

 

7. ආතල් සෙට් එක

මේ සෙට් එක තමයි මේ වෙලාවේ සුපිරිම ආතල් එක ගන්නේ ෆේස් බුක් එකෙන්. සාමාන්‍යයෙන් මේ අය කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ. හැබැයි පෞද්ගලික දේශපාලන මතයක් තියනවා. ඒක එලිපිට කියන්නේ නෑ. ආතල්ම තමයි හොයන්නේ. ඒක නිසා ටොයියොයි බයියොයි කොටවලා වලියක් සෙට් කරන් ආතල් ගන්න තමයි මෙයාලා ෆේස් බුක් එන්නේ. විශේ​ෂයෙන්ම ඒකටම හදාගත්ත ෆේක් අකවුන්ට්ස් ටිකකුත් මෙයාලා හදන් ඉන්නේ. ඒ වගේම ප්‍රධාන පක්​ෂ වල නිල ෆේස් බුක් පිටු වලට, ප්‍රධාන පෙළේ දේශපාලන චරිත වලට කමෙන්ට් වලින් පහර ගහන්න මෙයාලා තමන්ගේ ෆේක් අකවුන්ට්ස් භාවිතා කරනවා. සමහර වෙලාවට රැඩිකල් මතධාරීන්ගේ පෝස්ට් වලටත් ඒ අච්චුවම දෙනවා. මේ ෆේක් අකවුන්ට්ස් වල නම් පවා හරිම නිර්මාණශීලීයි. මේ නිසාම ෆේක් අකවුන්ස් තුළින් අලුත් ෆේස් බුක් උප සංස්කෘතියක් මෑත කාලයේ බිහි වුනා. මීට අමතරව ඉතින් මේ ඔක්කොම ජාතීන් මැද්දේ දේශපාලනය ගෑන මෙලෝ මගුලක් නොදැන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න සිඟිති පෝස්ට් එකක් ශෙයාර් කරන අහිංසක ෆේස් බුක් ජීවී කොට්ඨා​සයකුත් ඉන්නවා. 

 

ඔයා අයිති වෙන්නේ මේ අතරින් මොන වර්ගයටද? කමෙන්ට් එකකින් අපිට කියන්න…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *