ලොව වෙනස් කරන නේටෝ සංවිධානය

ලෝක සංවිධාන වල තීන්දු තීරණ ගැන ජාත්‍යන්තර තලයේදී නිතරම කතා බහ ඇති වෙනවා. ලෝකයටම අවශ්‍ය සම්මුතීන්, යුධමය තත්ත්වයන්ට මේ සංවිධාන මගින් දැඩි බලපෑම් එල්ල වෙනවා. උදාහරණ විදිහට මියන්මාර රටට දැන් හමුදා පාලකයෙක් ආවේ එරට බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳ හෙලමින්. ඉතින් මියන්මාර පාලකයින්ට දියුණු රටවලට ඇතුළුවීමේ හෝ නොදීමේ සම්මුතීන් ගැන මේ දිනවල ලෝක දේශපාලනයේ කතා වෙනවා. ඒ ආකාරයෙන් ලෝකයේ සිදුවන විවිධ ගැටුම් වලදී නිතර කියවෙන සංවිධානයක් තමයි නේටෝව. අපි නේටෝව ගැන කරුණු ටිකක් දැනගමු.

 

1. ඇරඹීම

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොමියුනිස්ට් සෝවියට් දේශය (අද රුසියාව) සහ ධනවාදී ඇමරිකාව වශයෙන් මූලික කඳවුරු දෙකක් හැදුනා. දෙවන ලෝක යුද්ධය නිමා කරන්න මේ දෙපාර්ශවය එකතු වුණත් දේශපාලනිකව සෝවියට් රුසියාවේ ස්ටාලින් එක්ක යුරෝපයේ අය එකතු වුණේ නැහැ. ඒ නිසා වෙනමම සංවිධානයක්, වෙනමම බලවේගයක් විදිහට නේටෝ සංවිධානය බිහි වුණා. එය දේශපාලනික සහ යුධ කටයුතු වෙනුවෙන් ඇතිවුණු සංවිධානයක්. ඉතින් මේ සංවිධානය මුල් කාලයේදී සෝවියට් දේශයට ‘දෙන්නම් බැටේ’ අදහසින් බිහිවුණත් 1989 සෝවියට් දේශය ලෑල්ලට සමතලා වුණාට පස්සේ තාමත් ඇක්ටිව් එකේ තියෙනවා.

 

 

2. නේටෝ ඇතිවුණු හේතුව

යුරෝපයේ සෝවියට් දේශයට මායිම් වෙලා තිබුණ කුඩා යුරෝපා රටවලට ලොකු මිලිටරි බලයක් නැහැ. ඉතින් රුසියාවට එවකට තිබුණ ලොකු බලය එක්ක ඒ කුඩා රටවල් යටත් කරගන්නට රුසියාව ඒවිය කියලා බයක් යුරෝපීය රටවලට තිබුණා. ඒ නිසා මේ නේටෝ සංවිධානය හරහා ඒ රටවලටත් එවැනි අවස්ථාවකදී සහයෝගය නොමඳව ගන්නට හැකි වෙන්න නේටෝ එක බිහි වුණා. පසුකලෙක යුද්ධය නිමා වීමත් එක්ක බටහිර ජර්මනියත් මේ සංගමයට එකතු වුණා. නවසිය හැට ගණන් වල ආන්දෝලනාත්මක ප්‍රංශ නායක ඩිගෝල් නේටෝ සංවිධානයේ මූලස්ථානය ප්‍රංශයේ තිබෙනවාටත් කැමති වුණේ නැහැ. ඔහු ඇමරිකාවට නේටෝ එකේ තිබෙන බලය ගැනත් ප්‍රශ්න මතුකළා . ඒත් තවමත් නේටෝ සංවිධානය ලෝක දේශපාලනයේ ක්‍රියාකාරී සංවිධානයක්.

 

 

3. අන්තර්ගතය

මුලින් ඇමරිකාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ආදී යුරෝපීය රටවල් කිහිපයක් එකතු වෙලා පටන් ගත් මේ සංවිධානයට පසුව අනෙක් යුරෝපා රටවලුත් එකතු වුණා. ඉතින් දැන් යුරෝපයේ රුසියාව හැර ගොඩක් රටවල් සහ ඇමරිකාව, කැනඩාවත් මේ උතුරු අත්ලාන්තික් රටවල් ටිකට අයිතියි. මේ එකතුවෙන් හමුදා මෙහෙයුම් වෙනුවෙන් සහයෝග දක්වනවා. මෙහි නේටෝ හමුදාවන් කියලා වෙනමම ධජයක් නැහැ. ඒත් යම් සිදුවීමක් වුණාම ඒකට අදාළව යුධමය මැදිහත්වීම් වලට දායකත්වය දක්වන්න මේ රටවල් සැදී පැහැදී ඉන්නවා. උදාහරණ විදිහට ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වුණාම නේටෝ එකෙන් ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ මෙහෙයුම් වලට සහයෝගය දැක්වූවා.

 

 

4. කාර්යයන්

පොදු සතුරන් මෙන්ම වෙනත් ගැටළු ගැනත් මේ නේටෝ සංවිධානය හරහා කතා කරනවා. දැන් නම් දේශගුණික වෙනස්වීම් ගැනත් නේටෝ එකෙන් මැදිහත්වීම් තියෙනවා. හමුදාමය වැඩි දියුණු කිරීම්, අභ්‍යාස ආදියත් නේටෝ සංවිධානය හරහා සිද්ද වෙනවා. එක් එක් රටවල දායකත්වයෙන් අවශ්‍ය වෙලාවට සවිමත් හමුදාවක් ක්ෂණිකව නිදහස් කරගන්න හැකියාව නේටෝ එකට තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසා රටකට තවත් රටක් යුධමය වශයෙන් යටත් කරගන්න බැහැ. ඒත් නේටෝ එකට පැහැදිළි හේතු තියෙනවා නම් රටක් තුළ යුධ මෙහෙයුම් කරන්නට හැකියාව තියෙනවා.

 

 

5. ට්‍රම්ප් ගේ අදහස්

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අදහස වුණේ නේටෝ එකේ තිබෙන එක් රටකට අභියෝගයක් වූ කළ එය සියළු දෙනාටම අභියෝගයක් සේ සළකා ක්‍රියාකරන එක තේරුමක් නැති වැඩක් විදිහට. ඔහු අනෙක් ලෝක සංවිධාන වගේම නේටෝ එකත් විවේචනය කළා. පසුව ඔහු නේටෝ එකට මුදල් ආධාර දුන්නත් ඔහුගේ අදහස් වෙනස් වුණේ නැහැ. බයිඩ්න් පාලනය නේටෝ එක සම්බන්ධයෙන් වෙනත් කාලවලදී වගේම සිය ආධිපත්‍යය එලෙසම තබාගන්නට කැමති ආකාරයක් පෙනෙනවා. බයිඩ්න් පාලනයෙන් ඇෆ්ඝනිස්ථානයේ සෙබළුන් ඉවත් කරගැනීමට සහාය පළකළත් බයිඩන් ජනාධිපතිවරයාගේ පළමු යුරෝපා සංචාරයේදී නේටෝ නායකයින් හමුවීමටත් ඔහු යොදාගෙන තිබෙනවා.

 

 

6. මෑතක සිදුවූ මැදිහත්වීම්

මෑතක නේටෝ සංවිධානය මගින් ඇෆ්ඝනිස්ථානයේ හමුදා ඉවත් කරගන්නට තීරණය කර තිබෙනවා. 2015 පැරීසියට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී නේටෝ සංවිධානය ඒ සඳහා සමූහික ලෙස එක්සත් වීමේ වැදගත්කම සඳහන් කළා. 2014 වර්ෂයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා. යුක්‍රේනය නේටෝ සංවිධානයේ නොවීත් යුක්රේනයට සහාය දෙන්න නේටෝ සංවිධානය තීරණය කළා. ස්ලාමීය සංවිධාන අයිසිස් මර්දනයටත් නේටෝ රටවල් වෙන වෙනම දායකත්වය දුන්නා. දැනට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ අනෙක් රටවල් නිරීක්ෂණය කිරීමේ සයිබර් යුද්ධමය කටයුතු වලදීත් නේටෝ සංවිධානය සිය රටවලට අවශ්‍ය සහායන් ලබා දෙනවා.

 

 

7. නේටෝ සංවිධානයේ දත්ත

නේටෝ සංවිධානයට මූලික භාෂා දෙකක් තිබෙනවා. එකක් ඉංග්‍රීසි අනෙක ප්‍රංශ. නේටෝ සංවිධානයට සෘජුවම රටවල් 29ක් එකතු වෙලා තියෙනවා. එයින් අයිස්ලන්තයට හමුදාවක් නැතත් ඔවුන් මුල පටන්ම නේටෝ සංවිධානයේ ඉන්නවා. නේටෝ සංවිධානයේ මූලස්ථානය බ්‍රසල්ස් නුවර පිහිටලා තිබෙනවා. නේටෝ සංවිධානයට අයිති අත්ලාන්තික් රටවල් වුවත් මෙහෙයුම් ආදියේදී අනෙකුත් රටවල් සමගත් සිය මිතුරුකම් ඇතිකරගන්නවා. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් සමගත් නේටෝ සංවිධානය සබඳතාවයන් පවත්වාගෙන යනවා.

 

සාමය, සහයෝගය ආදී අරමුණු මූලික කරගෙන ගියත් මේ ජාත්‍යන්තර සංවිධාන වල සැබෑ උවමනාව, සැබෑ මැදිහත්වීම ඇතැම් විට ආන්දෝලනාත්මකයි. ඇෆ්ඝනිස්ථානයේ යුධ ගිනි ඇවිළුව නේටෝව දැන් ඒ රට හැර යන්නේ එරටට සිවිල් යුද්ධයක බිය සංකා නැවත ඇති කරවමින්. කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධය වැනි මහා විනාශකාරී තත්ත්වයන් නැවත ඇති නොවන්න මේ මහා සංවිධාන වලින් ලැබෙන දායකත්වය වැදගත් වෙනවා.