Interview කියල කියන්නෙ රැකියාවක් කරන අපි හැමෝටම වගේ මුහුණදෙන්න වෙන සිදුවීමක්. රජයේ විශ්‍රාම වැටුප් හිමිවෙන රැකියාවක් නෙමෙයිනම් හුඟක් දෙනෙක් නිතරම නැතත්, අඩුම තරමේ වසර පහකට සැරයක්වත් රැකියාවන් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ වෙනත් ඉහළ අවස්ථා, වැටුප් ගැන එහෙම සලකල. ඒ අයට වගේම අධ්‍යාපනයෙන් පස්සේ රැකියා වෙළඳපොලට අලුතෙන්ම පිවිසෙන අයට වුණත් මේ කියල දෙන්න යන කාරණා හුඟක් වැදගත් වෙනවා. අපි රැකියාවකට අයදුම් කරද්දී මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපේ අයදුම්පත. දැන් කාලේ විදිහට කිව්වොත් CV එක. හොඳ CV එකක තියෙන්න ඕන ගුණාංග මොනවද කියල මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.
ඉතින් කොහොමින් හරි හොඳ මට්ටමේ CV එකක් හදාගෙන රැකියාවට අයදුම් කළාට පස්සේ ඊළඟ අභියෝගය තමයි සාර්ථකව සම්මුඛ පරීක්ෂණයට එහෙමත් නැත්තම් ඉන්ටර්වීව් එකට මුහුණ දෙන එක. ඔන්න ඒකට උදව්වක් තමයි මේ කරන්න යන්නෙ.
1. තමන් ගැන හැඳින්වීමක්
ඕනම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්න කලින් අපි ඒ ආයතනයට අපේ CV එකක් යවනවනේ. එතකොට ඒකෙ තියෙන විස්තර වලින් ඔවුන්ට අපි ගැන තරමක අවබෝධයක් තියෙනවා. ඒ වගේම දැන් සමහර ආයතන මඟින් ඉහළ තනතුරු වලටනම් Facebook, LinkedIn වගේ ගිණුම් හරහා ඔබේ පසුබිම පරීක්ෂා කිරීමකුත් කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය ඉන්ටර්වීව් එකකදී ඇහුවොත් එතැනදී අර CV එක පුරාවටම ලියල තිබ්බ දේවල් හෝ ගෙදර පවුලේ අය ගැන තොරතුරු ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මෙහෙම ප්‍රශ්නයක් ඇසීමෙන් ඔවුන් මුලින්ම බලාපොරොත්තු වෙන්නෙ ඉන්ටර්වීව් එකට සාර්ථක පිවිසුමක් ලබාගන්න. මොකද ගිහින් ඉඳගත්ත ගමන්ම ජොබ් එක ගැනම ප්‍රශ්න අහන්න බැහැනේ. ඒ වගේම ඔවුන්ගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඔබේ ඉදිරිපත්කිරීමේ හැකියාව, කරුණු ගොනුකර ගැනීමේ හැකියාව, අවශ්‍ය කරුණු ඉස්මතු කරමින් කතා කිරීමේ හැකියාව වගේ කුසලතා පරීක්ෂා කරන එක. ඉතින් මෙන්න මෙහෙමයි එහෙම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඕන.
අර ඉස්කෝලේ පොඩි පන්තිවලදී කළා වගේ my self කියන රචනාව කියවන්න එපා. ඔබ කන්න ආස දේවල්, යන්න කැමති තැන් ඔවුන්ට වැඩක් නැහැ. මුලින්ම නමෙන් හඳුන්වලා දීලා ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් කෙටියෙන් කියන්න. ඒවා CV එකේ තිබුණට රැකියාවට අදාළ වෙන නිසා ආයෙමත් කිව්වට ගැටළුවක් නැහැ. ඊළඟට ඔබේ කුසලතාවයන් ඒ කියන්නේ විශ්වාසවන්ත බව, ඉක්මනින් වැඩ කිරීමේ හැකියාව, කලින් ආයතන වලදී කැපී පෙනුණු දක්ෂතාවයන්, ලබාගත් ජයග්‍රහණ සහ රැකියාවට වාසියක් විය හැකි ඔබේ විනෝදාංශ වගේ දේවල් ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නෙ ඔය මුද්දර එකතු කිරීම, පරිගණක ක්‍රීඩා කිරීම වගේ විනෝදාංශ නැතුව පොත් කියවීම, අලුත් භාෂාවන් ඉගෙන ගැනීම වගේ විනෝදාංශ. රැකියා අයදුම්පතකට වාසිවෙන විනෝදාංශ ගැන අපි මීට කලින් කතා කළා.
2. මෙම ආයතනය ගැන ඔබ දන්නේ මොනවාද?
මේ ප්‍රශ්නයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ඔබ මේ ඉන්ටර්වීව් එකට කොයිතරම් දුරට සූදානම් වෙලාද සහ ඒ හරහා ඔබ යම් කටයුත්තක් වෙනුවෙන් කරන කැපකිරීම ගැන අදහසක් ලබාගන්නයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕනම ඉන්ටර්වීව් එකකට යන්න කලින් ඒ ආයතනය ගැන අන්තර්ජාලයේ කරුණු හොයා බලලා හොඳ අවබෝධයක් ලබාගන්න. තහවුරු කරගත්ත කරුණු පැහැදිළිව ඉන්ටර්වීව් එකේදී ඉදිරිපත් කරන්න.
3. ඔබේ ශක්තීන් සහ දුර්වලතා මොනවාද?
මේ අහන්නෙ සුපර පවර්ස් ගැන නෙමෙයි. ඇත්තටම මේ ප්‍රශ්නයේ බලාපොරොත්තුව ඔබේ ධනාත්මක චින්තනය පරීක්ෂා කිරීම. ඉතින් කල්පනාවෙන් හොඳ උත්තරයක් ලබාදෙන්න ඕන. රැකියාවට වාසිවෙන ශක්තීන් ගැන සහ අවාසි නොවෙන දුර්වලතා ගැන කියන්න. උදාහරණයක් විදිහට කලට වෙලාවට වැඩ අවසන් කිරීම, කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, ඉහළ විශ්ලේෂණ හැකියාව, අන් අය සමඟ ඉතා සුහදව වැඩකළ හැකිවීම වගේ ඒවා ශක්තීන් විදිහටත් වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, ඕනම වැඩක් ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කරමින් කිරීම නිසා කාලය වැයවීම වගේ ඒවා දුර්වලතා විදිහටත් කියන්න පුළුවන්.
4. ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
හුඟක් ඉන්ටර්වීව් වලදී අහන ප්‍රශ්නයක් තමයි මේක. Where do you see yourself in next 5 years? මේ ප්‍රශ්නෙදිත් ඔබේ පෞද්ගලික කාරණා සඳහන් කරලා වැඩක් නැහැ. ප්‍රශ්නය අහන එකේ මූලික බලාපොරොත්තුව ආයතනයට ඔබේ සේවය කොයිතරම් කාලයක් ලබාගන්න පුළුවන්ද ඔබේ කැපවීමේ මට්ටම කොයිතරම්ද කියලා අදහසක් ගන්න එකයි. ඒ නිසා “ඉදිරි වසර කිහිපය තුළ මම මේ ආයතනය තුළින් ලබාගන්න පුළුවන් වෘත්තීමය දැනුම ඉතා හොඳින් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම මගේ අධ්‍යාපන සුදුසුකම් තවදුරටත් වැඩිදියුණු කරගන්න මම අසවල් ආයතනයේ මෙම අධ්‍යාපන වැඩසටහන සමඟ සම්බන්ධ වෙනවා. ඒ සියල්ල එක්ක මට ඉහළ තනතුරකට යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා” කියන්න පුළුවන්.
5. ඔබ කලින් රැකියාවෙන් ඉවත් වුණේ/වෙන්නේ ඇයි?
මේකත් ටිකක් කපටි ප්‍රශ්නයක්. කලින් රැකියාවේ ගැටළු ඇතිවීම නිසා රැකියාවෙන් ඉවත් වුණාද කියන එක මේ ඔස්සේ දැනගන්න පුළුවන්නේ. ඒ නිසා හරිම පරිස්සමෙන් උත්තර දෙන්න. වෙනත් හොඳ අවස්ථාවක් ලබාගන්න, අධ්‍යාපන අවස්ථාවක් වෙනුවෙන්, පවුලේ වෙනත් ගැටළුවක්, ස්ථානය වෙනසක් වීම නිසා වගේ හේතුවක් සඳහන් කරන්න පුළුවන්. කොයිම වෙලාවකවත් එතන අය එක්ක වැඩ කරන්න අපහසුවීම, වැඩ වැඩිවීම, ප්‍රධානියා ගැටළු ඇතිකිරීම වගේ හේතු කියන්න එපා.
6. අපි ඔබව මේ රැකියාවට බඳවාගත යුත්තේ ඇයි?
මේ අහන්නෙ අනිත් සියළුම අයදුම්කරුවන් අතරින් ඔබව තෝරාගන්න ඔබ තුළ තියෙන විශේෂත්වය මොකක්ද කියන එකයි. ඔබ වගේම අනිත් හැමෝමත් මේකට ඔවුන්ගේ එක එක කුසලතා දක්වමින් පිළිතුරු දෙන්න පුළුවන්. එතකොට ඔබව විශේෂ වෙන්නෙ නැහැ නේද? එහෙනම් මෙන්න මේකයි සුදුසුම පිළිතුර. අනිත් හැම අයදුම්කරුවෙකු වගේම මටත් කැපවීමෙන් වැඩකිරීමේ හැකියාව, තාක්ෂණික දැනුම, වෘත්තීය දැනුම වගේ කුසලතාවයන් තියෙනවා. නමුත් ඔවුන්ට වඩා මා තුළ ඇති සුවිශේෂී බව වෙන්නෙ මම නිතරම අලුත් දෙයක් ඉගෙන ගැනීමට දක්වන කැමැත්තයි. මම අන් අය සමඟ සුහදව ඔවුන්ට උපකාර කරමින් රැකියාව කිරීමට දක්වන කැමැත්තයි. ඉතින් මේ හේතුව නිසා මාව ඔබේ ආයතනයට අවශ්‍ය විශේෂ අයදුම්කරුවෙක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
7. ඔබ බලාපොරොත්තු වන වැටුප් ප්‍රමාණය කොපමණද?
මේකත් හරිම පරිස්සමෙන් උත්තර දෙන්න ඕන ගැටළුවක්. ඔබේ වැටුප් ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔබේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසකම් මත වගේම ආයතනයේ තියෙන වැටුප් තලයන්ට අනුව. සමහරවිට ඔවුන් මේ ප්‍රශ්නය අහන වෙලාව වෙනකොටත් ඔබට දෙන වැටුප් ප්‍රමාණය ගැන ඔවුන් තීරණය කරලා අවසන් වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ වැටුප් පරිමාණයට එකඟද නැද්ද කියන අදහස ගන්නයි ඔවුන් මේ ප්‍රශ්නය අහන්නෙ. ඉතින් ඔබ මුල්ම රැකියාවට යන්න ඉන්ටර්වීව් එකකට යන කෙනෙක්නම් හෝ ඉතා පහල මට්ටමේ සුදුසුකම් ඇති, අත්දැකීම් ලබාගන්න රැකියාවක් හොයන කෙනෙක්නම් ඔබේ වැටුප මෙච්චරයි කියලා කේවල් කරන්න එපා. ඒකට සුදුසුම පිළිතුර “මම මේ තනතුරට හෝ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඒ නිසා ආයතනයේ වැටුප් තලය අනුව මට ලබාදෙන වැටුපට මම එකඟ වෙනවා” කියලයි. හැබැයි අත්දැකීම් ඇති, ඒ වගේම පවුලේ සහ බාහිර වෙනත් කැපකිරීම් තියෙන කෙනෙකුට, දෙන පොඩි ගාණක් වුණත් අරගෙන පැත්තකට වෙන්න බැහැනේ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. ඉතින් ඔබ අයදුම් කරන තනතුර අනුව ඔබට අවශ්‍ය වැටුප් ප්‍රමාණය, ඒ කියන්නෙ ඔබේ වටිනාකම ඔබට කියන්න පුළුවන්. හැබැයි ඒ එක්කම ඒ ගණන සුළු ප්‍රමාණයකින් එහා මෙහා වුණාට ඔබට ගැටළුවක් නැති බව, ඒ කියන්නෙ ඉල්ලීම negotiable බවත් කියන්න අමතක කරන්න එපා.
Leave a Reply