එළිමහනේ, ස්වභාවික පරිසරයේ විවාහ මංගල්‍යයක් පැවැත්වීමට ආසාවක් තියෙනවා නම්, මේ උපදෙස් ඔබ වෙනුවෙන්මයි

විවාහ මංගලෝත්සවයන් සඳහා අවශ්‍ය සේවාවන් කියන්නේ මේ වෙනකොට අති දැවැන්ත ක්ෂේත්‍රයක්. දැන් කාලේ සාමාන්‍ය වෙඩින් එකකට වුණත් ලක්ෂ දහයක් පහළොවක් වියදම් වෙනවා කියන කාරණාවත් එක්ක, මේ හෝටල්, මල් සැරසිලි, වෙඩින් ෆොටෝග්‍රැෆි, රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර හා මනමාලියන් ඇන්දවීම, මංගල ඇඳුම්, සංගීත කණ්ඩායම්, කේටරින් සහ තවත් විවිධ සේවාවන් වලට තමන්ගේ මංගල දිනයේදී මොන වගේ මුදලක් වියදම් කෙරෙනවද කියන එක ගැන අදහසක් ලබාගන්න පුළුවන්. 

ඉතින් මේ වගේ විශාල ක්ෂේත්‍රයක අලුත් අලුත් දේවල් කරන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නෙත්. උදාහරණයක් විදියට මංගලෝත්සවයක් පවත්වන්න යොදාගන්න තේමාවන් අලුත් කරන්න උත්සාහ කරන වෙඩි ප්ලෑනර්ස්ලා, අළුත් අළුත් විධි වලට, අළුත් අළුත් ලොකේෂන් වල ෆොටෝෂූට් කරන්න උත්සාහ කරන වෙඩින් ෆොටෝග්‍රැෆර්ස්ලා ගන්න පුළුවන්. ඉතින් මේ අලුත් වෙඩින්ග් ට්‍රෙන්ඩ්ස් වලින් එකක් තමයි නේචර් වෙඩින්ග් කියන්නේ. ඉතින් අපි බලමු එළිමහනේ, ස්වභාවික පරිසරයේ විවාහ මංගලෝත්සවයක් කරනවා නං මොනවගේ උපදෙස්ද ඒකට වැදගත් වෙන්නේ කියලා. 

 

1. කන්දෙන්ද මුහුදෙන්ද කැලයෙන්ද?

පළවෙනියටම හිතමු ටිකක් ඇඩ්වෙන්චර් සීන් එකක්. ඒ කියන්නේ අපිට බැරිවෙයිද වෙඩින් එක ගන්න නියමම ස්වභාවික පරිසරයක් හොයාගන්න? ඒ කියන්නේ ෆයිනස් කැලයක් වෙන්න පුළුවන්, කඳුපාමුලක සුන්දර තැන්නක් වෙන්න පුළුවන්, කන්දක් මුදුනක සුන්දර තැන්නක් වෙන්න පුළුවන්, සුන්දර වෙරළ තීරයක් වෙන්න පුළුවන්. අමතක කරන්න එපා, ලංකාවේ කොයි තරම් සුන්දර ස්වභාවික තැන් තියෙනවද කියන එක. 

හැබැයි මෙතනදී එකක් මතක තියාගන්න ඕන. අපිට ඕන ඕන විදියට ලස්සන කැලයක් ගාවට ගිහින් වෙඩිමක් ගන්න බෑ. සමහර තැන් පුද්ගලික අයිතියට තියෙන්නේ. සමහර තැන් රජයට අයිතියි. ඉතින් ඒ නිසා කොතන තෝරගත්තත්, මුලින්ම හොයලා බලලා අදාළ තැන් වලින් අවසර ගන්න වෙනවා.

 

2. බූටික් හොටෙල් එකක්?

උඩින් කියපු තරමට ඇඩ්වෙන්චර් සීන් කරන්න අකමැති නම් අපිට ලේසියෙන්ම, සුන්දර ස්වභාවික පරිසරයක පිහිටි ලස්සන බූටික් හොටෙල් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් කොයි තරම් සුන්දර පරිසරයක තිබුණත්, බූටික් හොටෙල් එකක නේචර් වෙඩින් එකක් අරන් වැඩක් තියෙනවද? ඇත්තටම හොටෙල් එක බුක් කළාට අපි වෙඩින් එක ගන්නේ එළිමහනේ. එතකොට අපිට පහසුවෙන්ම මුහුද අද්දර හොටෙල් එකක් බුක් කළොත්, ඒ හොටෙල් එකට අයිති වෙරළ තීරය අපේ වෙඩින් එකට යොදාගන්න පුළුවන්. කන්දක් මුදුනේ ලස්සන තැන්නක තියෙන හොටෙල් එකක් බුක් කළොත්, වෙඩින් එක එළිමහනේ පවත්වගන්න පුළුවන්.

මෙහෙම වෙඩින් එකක් ඩිසයින් කරන එකේ ප්‍රධානතම වාසිය වෙන්නේ, ලඟම හොටෙල් එකත් තියෙන නිසා, වැඩේ ගොඩක් පහසුයි.

 

3. වත්ත පිටිපස්සේ?

මෙන්න මේකත් නේචර් වෙඩින් එකක් ගන්න ඉතාම හොඳ, පහසු විදියක්. දැන් සමහර ගෙවල් තියෙන්නේ හොඳට ඉඩ තියෙන උද්‍යානයක් එහෙම එක්ක. ආන්න ඒ වගේ ගෙයක් තියෙන කෙනෙක්ට නම් ඔය කොහේවත් යන්නෙ නැතුව ගෙදරම වෙඩිම ගන්න පුළුවන්, හා නැද්ද? කොයි තරම් ලේසිද වැඩේ එහෙම වුණහම, වියදමත් සෑහෙන්න ඉතුරු කරගන්න පුළුවන්. එහෙම ගෙයක් සහ වත්තක් නැතිනම් ඉතින් එහෙම තියෙන යාලුවෙක්ගෙන් ඉල්ලගන්නත් බැරි වෙන්නෙ නෑ. හැබැයි එකක්, එහෙම ගාර්ඩ්න් වෙඩින් එකක් ගන්නවා නං, එහෙං මෙහෙං වැවුණු ඉපල් අනං මනං, කොළ වැටිලා හැඩි වුණු බිම, අපිළිවෙලට වැවුණු පඳුරු එක්ක ඉඩමක් නං හරියන එකක් නෑ. පොඩ්ඩක් හෝටිකල්චර් පාරක් දාලා, ලස්සනට හදපු ගාර්ඩ්න් එකක් වෙන්න ඕන.

 

4. ට්‍රාන්ස්පෝර්ට්?

දැන් අපි සාමාන්‍යයෙන් වෙඩින් එකක් තියෙන විදිය ගත්තොත්, කෙනෙක් තමන්ගේ වෙඩින් එකට හොටෙල් එකක් තෝරගන්නේ එක්කෝ කොළඹින්, එහෙම නැතිනම් තමන් ඉන්න ප්‍රදේශයට කිට්ටුව පාතින්. එහෙම නේද. අන්න එතකොට පොදුවේ ගත්තහම වෙඩිම කරන එවුන්ට වගේම, වෙඩිමට එන එවුන්ටත් යන්න එන්න ලොකු අමාරුවක් නෑ.

හැබැයි ඉතින් නේචර් වෙඩින් එකක් ගන්නකොට ලොකේෂන් එක තියෙන්නේ නුවර එළියේ කන්දක් මුදුනේ වෙන්නත් පුළුවන්, බණ්ඩාරවෙල ෆයිනස් කැලේක වෙන්නත් පුළුවන්, මිරිස්සේ බීච් එකක වෙන්නත් පුළුවන්. අන්න එතකොට නම් ඔය ට්‍රාන්ස්පෝට් වැඩේ පොඩ්ඩක් කේස්. දැන් අපි කියමු වෙඩිමට එන එවුන්ව කොහොම හරි ගෙන්නගත්තා කියලා. වෙඩිමේ අනික් දේවල් වලට ට්‍රාන්ස්පෝට්? එව්වට අපි අතින් එපැයි මල්ලි ගෙවන්න. ආන්න ඒ නිසා ඒ පැත්තත් පොඩ්ඩක් හිතුවොත් හොඳයි.

 

5. එකෝ ෆ්‍රෙන්ඩ්ලි

නේචර් වෙඩින් එකක් කරනවා නම්, නේචර් එකත් එක්කම යන එකෝ ෆ්‍රෙන්ඩ්ලි තීම් එකකට යන තරම් නැචුරල් දෙයක් තවත් තියෙනවද? එකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙඩින් එකක් කරන එක අමාරු නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, මල් සැරසිලි ඔක්කොම ඇත්ත මල් වලින් කරන්න පුළුවන්. කොළඹ ඉඳන් කේටරින්, ඩිසයිනින් ගෙන්නනවට වඩා, අහළ පහළ ඉන්න හොඳ අය හොයලා භාර දෙන්න පුළුවන්. ප්ලාස්ටික් කප් අනං මනං වෙඩිමට ගන්නෙ නැතුවම ඉන්න පුළුවන්. ඔය වගේ පරිසර හිතකාමී වෙන්න පුළුවන් පොඩි පොඩි කරුණු කාරණා දහසකුත් එකක් තියෙනවා.

 

6. ලිමිට්ස් මතක තියාගමු

දැන් අපි කන්දක හරි කැලේක හරි මුහුදු වෙරළක හරි අපේ නේචර් තීම් වෙඩින් එක තියන්න ලකලැහැස්ති වෙනවා කියමුකෝ. අපිට තේරුම් ගන්න වෙනවා මේ වගේ තැනක අපිට සාමාන්‍ය සාම්ප්‍රදායික වෙඩිමක් ගන්න බැහැයි කියන එකත්. ඒ කියන්නේ යම් යම් සීමාවන් තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත්, තණකොළ ගොල්ලක හරි මුහුදු වෙරළක හරි ඩාන්ස් කරන්න බෑ. එතකොට ඩාන්ස් සීන් එකක් ඕනම නම්, ඒකට ප්ලැට්ෆෝම් එකක් ලී වලින් හරි නිර්මාණය කරන්න වෙනවා. එතකොට අපි සම්පූර්ණයෙන්ම ස්වභාවික පරිසරේක අපේ නේචර් වෙඩින් එක ගන්නවා නං, අපේ නෑදෑයෝ යාලු මිත්තරයෝ හාරසීයකට විතර වෙඩිම කියන්න බෑ. සහරා ෆ්ලෑෂ් ගෙනැල්ලා දාගෙන කැලේ දෙදරන්න සිංදු දාන්නත් බෑ. බීලා වැටෙන්නත් බෑ. අන්න ඒ නිසා අපි නේචර් වෙඩින් එකක් ගන්නවා නම්, සෑහෙන සීමාවන්ට යටත් වෙන්නත් සිද්ධ වෙනවා.

 

7. කරන්ට් එකත් ඕන වෙයිද?

මේකත් ඇත්තටම උඩ කියපු කාරණාව එක්කම තමයි බැඳිලා තියෙන්නේ. ඇත්තටම නේචර් වෙඩින් එකකට කරන්ට් එක ඕනැද? සමහර වෙලාවට කෙනෙක්ට, මේක හවස් යාමේ ගන්න වෙඩින් එකක් නම් එතන පසුබිම බල්බ් දාලා අලංකාර කරලා ගන්න වුවමනා වෙන්න පුළුවන්. අර අපි උඩින් කියපු විදියට හොටෙල් එකක් එක්ක තියෙන ලොකේෂන් එකක් නම්, ගාර්ඩ්න් වෙඩින් එකක් ගන්න ලොකේෂන් එකක් නම් ගැටළුවක් නෑ. හැබැයි එහෙම නැතුව කැලේක, කන්දක, මුහුදු  වෙරළක ගන්න වෙඩිමක් නම්, විදුලි බලය අමතක කරලා දාන්න වෙනවා. 

 

8. වෙනස්ම ඩිසයින් එකක්

නේචර් වෙඩින් එකක් ගන්න එකේ ඇත්තටම වාසි තියෙනවා. ඒකෙන් ප්‍රධානතම වාසියක් තමයි, වෙඩින් වලට මෙහෙම තමයි වෙන්න ඕන කියලා වෙඩින් ෆීල්ඩ් එකේ පෙන්නන සාම්ප්‍රදායික ඩිසයින් වලින් මිදිලා, අවශ්‍ය නම් තමන්ටම ආවේණික විදියේ වෙඩින් එකක් ඩිසයින් කරන්න නිදහස තිබීම. උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් පෝරුවක් කියලා කිව්වහම එක එක විදියේ පෝරු ඩිසයින් තිබ්බට, ඇත්තටම ඒවා ඔක්කොම ලොකු වෙනසක් නෑ. අපේ වෙඩිමට විතරක් විශේෂත්වයකුත් නෑ. හැබැයි කොහොමද කැලේ ෆයිනස් ගහක නිර්මාණය කරපු සරල බැක්ඩ්‍රොප් එකක් පෝරුවට ගත්තොත්? එහෙම නැතිනම් මුහුදු වෙරළේ හදපු සරල ලී තට්ටුවක් සහ මල් ආරුක්කුවක් පෝරුවට ගත්තොත්? 

 

9. පරිසරය සුරකිමු

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නේචර් වෙඩින් එකක් ගන්න එකේ ප්‍රධාන අරමුණක් වෙන්න ඕන ෆොටෝ ෂූට් එකට අමුතු ස්වභාවික ලස්සනක් තියෙන ලොකේෂන් එකක් හොයාගැනීමම නෙවෙයි. ඊට වඩා පරිසරයත් එක්ක බැඳුණු අපූරු විවාහ මංගලෝත්සවයක් ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්න ඕන. එතකොට පරිසරය සුරැකීමත් ඒකේ ප්‍රධාන කොටසක්. අන්න ඒ නිසා, උඩින් කියපු විදියට හැකිතාක් පරිසර හිතකාමී විදියට වෙඩින් එක ගැනීම, ස්වභාවික පරිසරයට හැකිතාක් අවම බාධාවක් වීම සහ ස්වභාවික පරිසරයේ නොතිබුණු කිසිම දෙයක් දාලා නොඒම වගේ දේවල් හිතට ගැනීම වැදගත්.

 

එහෙමනම් අපි මේ උපදෙස් ඔළුවේ තියාගෙන බලමුද අපිටම අපේ වෙඩින් එක ප්ලෑන් කරගන්න පුළුවන් වෙයිද කියලා? ඊලඟට වෙන දවසක අපි කියන්නම්, නේචර් වෙඩින් එකක් ඩිසයින් කරනකොට වැදගත් වෙන ටිප්ස් කීපයක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *