හොඳට වැඩ කරගෙන හිටියත් රස්සාව අහිමි වෙලා යන්න පුළුවන් අවස්ථා 7ක්

අගමැතිටවත් ජොබ් සිකුයුරිටියක් නැති රටක අනිත් මිනිස්සු ගැන කවර කතාද? අන්න ඒ නිසා අපේ කොම්පැනියනං ඉතිං ලොවෙත් වැටෙන එකක් නෙමෙයි මේක ඉතිං සුපිරියටම යනව, අපේ ලොක්කා කපටි රජා, අපේ කොම්පැනිය ඕන ආණ්ඩුවක් එක්ක සුපිරියට ගලපගන්නවා, අපේ කොම්පැනිය ලංකාවෙ වැඩිම ලාභයක් හොයන කොම්පැනිය වගේ සිහිනවල ඔබ ඉන්නවනං ඒක එහෙම නෑ. කම්පැනි කෙසේ වෙතත් ඔයාගෙ රැකියාව ආරක්ෂිත නෑ. හේතු ​ගොඩක් නිසා ඔයා​ගේ රැකියාවට බොහෝ ක්‍රමවලින් කෙලවෙන්න පුළුවන්. අපි මේ කියන්න යන්නෙ ඕනම මනුස්සයෙකුගෙ රැකියාවට කෙලවෙන්න පුළුවන් විදි ටිකක්.

 

1. ලොක්කගෙ සූදුව

Image Source – maxim.com

ලොක්කගෙ සූදුව ඔයාගෙ රැකියාවට බලපාන්නෙ කොහොමද? කියන එක අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැති නිසායි අපි ඒක මුලින්ම කිවුවෙ. ආයෙ ඉතිං සමහරු ඔය දූ කෙලියෙ අන්තෙටම ගියාම, එහෙමත් නැත්තං ගමේ වහරෙන් සූදු අන්තුවො වුනාම නවතින්නෙ ඉන්න හිටින්න තියෙන තැන පවා උකස් තියලයි. රෝල්ස් රොයිස්වලින් ක්ලබ් එකට ගිය මිනිස්සු ආයෙ එන්න ත්‍රීවීලරයක් එනකං අත දදා බලං ඉන්නව. ඉතිං ඔබේ ලොක්කත් ඔය තත්ත්වෙට ගියොත් මුලින්ම යන එන මං නැති වෙන පිරිස අතරේ ලොක්කගෙ ගෙදර කට්ටියටත් කලින් ඔයා ඉන්නව. නොහිතූ මොහොතක රැකියාව අහිමි වෙලා කම්කරු දෙපාර්තුමේන්තුවට ගියත් ගොඩ ඒමක් නැතිවෙන්න හිඳිච්ච ලොක්කෙක්ගෙන් ආයෙ මොනවයින් කියලා වන්දි අරගන්නද? මාස තුනක පඩි ගන්නද? රැකියාව අවිනිශ්චිත කරවන්න හිමිකරුවාගෙ වැරදි පුරුදුත් ලොකු හේතුවක්.

 

2. නරක පරිපාලනය

Image Source – maxim.com

කොච්චර හොඳ ලොක්කෙක් වුනත්, අති සාර්ථක බිස්නස් එකක් වුනත්, අවංක සේවකයො හිටියත් නරක මිනිස්සු අතින් පරිපාලනය සිද්ධ වුනොත් පුතෝ ඒ බිස්නස් යන්නෙ වලපල්ලට. නරක පරිපාලකයොන්ට ඕන ලොකු මේස, සැප පුටු, ගරු නම්බු නාම, ලොකුකං කියවිලි, විශේෂ වරප්‍රසාද වගේ දේවල් විතරයි. ලොකු මේස අරගෙන වැඩ නොකරන මිනිස්සු වැජඹෙද්දි පොඩි තැන ඉඳන් කැපවීමෙන් වැඩ කරන මිනිස්සුන්ට හිතෙනව පලිගන්න. පලිය ගැනෙන්නෙ කන්තෝරුවෙන්. ඉතිං බලං ඉඳිද්දිම බිස්නස් වැටෙනවා. ඒකෙ කරුමෙ මුලින්ම කැරකෙන්නෙත් අර කියපු පරිපාලකයට නෙමෙයි. ඔයාට තමයි.

 

3. අතපෙවීම්

Image Source – thebalancecareers.com

කලින් කියපු පරිපාලකයොයි, ලොක්කගෙ ඥාතීන්, ලොක්කගෙ ගමේ එවුන්, ලොක්කට ගොට්ට අල්ලන එවුන් කරන අතපෙවීම් නිසාත් රැකියාවන් අහිමි වෙන්න පුළුවන්. ඔය මිනිස්සු තැන්තැන්වල ගිහින් කියන්නෙ මෙවුව උන්ගෙ බූදල් බිස්නස් කියලනෙ. ඉතිං අපිවත් දාලා දියංකො, අපිවත් දාලා දියංකො ඒයි කිය කිය කිසිම හැකියාවක් හරි සුදුසුකමක් හරි නැති මිනිස්සු කියන්න ගන්නව. ඒ වෙලේට ඉතිං වැඩක් නොකරන උන් තොග පිටින් වැඩ කරන්න ගන්න බැරි නිසා එකෙක් අස් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදියට අත පෙවීම් නිසා අස් කරන්නෙ ඔබව වෙන්න පුළුවන්.

 

4. ආණ්ඩු මාරුව

Image Source – s-i.huffpost.com

ආණ්ඩු මාරු වීම බලපාන්නෙ අගමැතිට විතරක් නෙමෙයි. දෙකයි පනහෙ පුංචි මන්ත්‍රී ටොයියොත් ​ඩොලර් මිලියන 2.8 කුට්ටි එක්ක නියෝජ්‍ය ඇමතිලා වෙන්නෙ ඒ ආනුභාවෙන්. අන්න ඒ නිසාම තේරුම් ගන්න ඕන දේ තමයි හොඳට වැඩ කරන ඔබත් ආණ්ඩු මාරුව නිසාම රැකියාව අහිමි වුණු කෙනෙක් බවට පත් වෙලා, කවදත් වැඩ කිසිවක් නොකරපු මනුස්සයෙක් ඔබේ පුටුවට සෙට් වීම සිද්ධ වෙන්න පුළුවන් බව. ඒ ව​ගේම සමහර සමාගම් දේශපාලන බල පෙරලි නිසා වැහිලම යන්නත් පුළුවන්.

 

5. ව්‍යාපාර/වෘත්තීය තරඟකාරීත්වය

Image Source – medium.com

හප්පේ ඔය තරඟකාරීත්වය හමුවේ නැගී නොසිටීමෙන් බොහොමයක් සමාගම්වලට බඩු බනිස් වෙනවා. නිකමට බලන්න නොකියා කොම්පැනියටම සිද්ධ වෙච්ච දේ. එයාලා ස්මාට්ෆෝන් වෙළඳපොල අල්ලපු නැති නිසා එයාලට යන එන මං නැති වුනා. අන්න ඒ විදියටම තමයි තරඟකාරීත්වය ඇතුළෙ කම්පනියක් අප්ඩේට් වුනේ නැත්තං ඒ කම්පනියටත් වෙන්නෙ. ඕකම ඉතිං මනුස්සයෙක්ටත් පොදුයි. තමුන්ට පස්සෙ ආවා වුනත් තමුන්ට වඩා සබ්ජෙක්ට් එක දන්නවනං, අලුත් දේ අත්හදා බලලා තියෙනවනං, කාලය අඩුවෙන් වැඩ ගොඩ දානවනං අන්න එතනදි රැකියා අර්බුදයක් ඔබට මතුවෙන්න පුළුවන්.

 

6. මැෂින් වලින්

Image Source – news.bitcoin.com

අනාගතේ දවසක අපිව රිප්ලේස් වෙන්න පුළුවන් කොහොමද? මචං ෆිල්ම් එකේ අංකල්ගෙ හොටෙල් රස්සාව නැතිවෙන්නෙ අත වේලන්න වොෂ්රූම් එකේ හයි කරපු මැෂින් එක හින්දා. දැන් ටෙනිස් කෝට් එකේ බෝල වැටිච්චා ඇහිඳින්නත් රොබෝලා ඉන්නවා. ඉතිං ඒ විදියට අපේ වැඩ රිප්ලේස් වෙන්න පුළුවන් කොහොමද? අවසානයේ ඉඩක් ඉතුරුවෙන්නෙ මිනිස් මොළයට විතරද? ඒ කියන්නෙ ක්‍රියේටිවු පැත්තෙ රස්සා කරන කට්ටියට විතරද අනාගතයක් ඉතුරුවෙන්නෙ? කම්පියුටර් ඉංජිනියර්ස්ලා සහ රොබෝටික් ඉංජිනියර්ස්ලා එකතු වෙලා එයාලගෙම රස්සා නැති කරගනීවිද?

 

7. හිතවතුන්

Image Source – businessinsider.com

සමාගමකට හිතවත්තු පුරවාගත්තම ඒ සමාගම ගොඩ යන්නත්, වලපල්ලට යන්නත් ඉඩ තියෙනවා. ගොඩ නොගිහින් වලපල්ලට ගියොත් අන්න ඒකටනං මේ හිතවතුන් අනිවාර්යෙන්ම වගකියන්න ඕන. ඒකට ප්‍රධානම හේතුව තමයි ග්‍රාමීය නායකයො වගේ හිතවත්තු ටික තැන් තැන්වල බලය පතුරවා ගැනීම. ලොක්කට ඕපාදූප කේලම් කීම සහ අනෙකුන්ට අංචි ඇදීම. ඕකට ඉතිං ගොඩ යෑමක් තියෙන්න නං හිත් නොහොඳ කරගෙන හරි හිතවතුන් අයින් කරන්න ඕන.

 

Cover Image Source – facultydeskmiami.com/simonandschuster .com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *