මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ආචාර ධර්ම මේවා තමයි!

දැන් කාලේ කාගෙ අතේද මොබයිල් ෆෝන් එකක් නැත්තේ? ඒක ස්මාට්ෆෝන් එකක් වුනත්, මූලික හැකියාවන් විතරක් තියෙන මොබයිල් ෆෝන් එකක් වුනත්, ඒක පාවිච්චි කරන විදිය ගැන අපි හැමෝම සැලකිලිමත් වෙන්න ඕන. දැන් අහන්න එපා මොබයිල් ෆෝන් එකකින් කෝල් එකක් ගන්නවා, මැසේජ් එකක් යවනවා ඇරෙන්න වෙන මොකද්ද පාවිච්චි කරන්න තියෙන විදිය කියලා. වෙනත් ඕනම දෙයක් වගේ මොබයිල් ෆෝන් එකක් වුනත් පාවිච්චි කරන්න මැනර්ස් තියෙන්න ඕන. විශේෂයෙන්ම මේ කියන මැනර්ස් නැතිනම් ආචාර ධර්ම තියෙන්නේ තවත් කෙනෙක්ට අපේ මොබයිල් ෆෝන් පාවිච්චිය කරදරයක් නොවෙන්න. ආන්න එහෙම මොබයිල් ෆෝන් එකක් හරි විදියට පාවිච්චි කරනකොට, අපි යහපත් ගති පැවතුම් තියෙන බොහොම ශිෂ්ට සම්පන්න මනුස්සයෙක් කියන එක ලෝකෙට පේනවා.

 

1. ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න ඕන නෑ!

සාමාන්‍යයෙන් ෆෝන් එකකින් කතා කරනකොට අපි කතා කරන්න ඕන අදාළ කෙනාට ඇහෙන ප්‍රමාණයට. ඊට වඩා හයියෙන් කතා කරනවා කියන්නේ අහල පහල ඉන්න අනික් අයටත් අපේ කතාව වදයක් වෙන තරමට කෑ ගහනවා කියන එක. ආන්න ඒක කැතයි. විශේෂයෙන්ම ඔය බස් එකක යනකොට එහෙම බස් එකේ අනික් අයටත් පුදුමාකාර කරදරයක් වෙන විදියට කෑ ගහලා කතා කරන හාදයෝ, හාදියෝ ඉන්නවනේ. ආන්න ඒ අය විශේෂයෙන් පුරුදු පුහුණු වෙන්න ඕන තමන් කතා කරන්න ඕන ශබ්ද සීමාව සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් බස් එකක හෝ වෙනත් බාහිර සද්ද බද්ද වැඩි තැනක ඉන්නවා නම්, ඒකට පිළියම මහ හයියෙන් ෆෝන් එකට කෑ මොර දෙන එක නෙවෙයි. එක්කෝ තමන් ඉන්න තැන කතා කරන්න අමාරු බව කියලා ෆෝන් එක තියන එක. එහෙම නැතිනම් කෙටි පණිවුඩයකින් ඒ බව දැනුම් දෙන එක. එහෙමත් නැතිනම් සද්ද බද්ද නැති තැනකට යන එක.

 

2. ෆෝන් එකෙන් කොඳුරන්න යන්නත් එපා!

මේක මැනර්ස් එකක් නෙවෙයි කියලා කෙනෙක් කියයි. හැබැයි අපි ෆෝන් එකෙන් කතා කරන්නේ කොඳුරනවා වගේ නම්, අනික් කෙනාට ඒක හරියට ඇහෙන්නේ නැතිනම් හිතලා බලන්න කෝල් එකේ අනික් පැත්තේ ඉන්න කෙනාට ඒක මොන තරම් වාතජනක අවස්ථාවක් වෙනවද කියලා. මේ තත්වය විශේෂයෙන්ම තියෙන්නේ ඔය ස්වභාවයෙන්ම හෙමිහිට කතා කරන අයත් එක්ක. ඒ අය පුරුදු වෙන්න ඕන මොබයිල් ෆෝන් එකකින් කතා කරන්න ඕන සාමාන්‍ය හඬ ප්‍රමාණය ගැන. මේක ලොකු ගැටළුවක් නෙවෙයි. මොකද දැන් තියෙන මොබයිල් ෆෝන් වල මයික්‍රෆෝන් වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කරන හඬක් වුනත් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්.

 

3. ස්පීකර් ෆෝන්!

දැන් තියෙන ඕනම මොබයිල් ෆෝන් එකක තියෙනවා ස්පීකර් ෆෝන් හැකියාව. ආන්න ඒ ස්පීකර් ෆෝන් හැකියාව පාවිච්චි කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එක්කෝ තමන්ට ෆෝන් එකේ කණට සෙට් වෙන ස්පීකර් එකෙන් හරියට ඇහෙන්නේ නැතිනම්. එහෙමත් නැතිනම් අනෙක් පැත්තෙන් ඉන්න කෙනා කියන දේ තමන්ට විතරක් නැතුව, තව අහල පහල ඉන්න කීප දෙනෙක්ටත් අහන්න සිද්ධ වෙනවා නම් ඒත් ස්පීකර් ෆෝන් දාන්න වෙනවා. මේකේ කිසිම ගැටළුවක් නෑ. හැබැයි නියම විදිය තමයි “ඕන්න ඔයාව ස්පීකර් ෆෝන් දානවා” කියලා නැතිනම් “යූ ආර් ඔන් ස්පීකර් ෆෝන්” කියලා දැනුම් දීලා ඉන් පස්සේ ස්පීකර් ෆෝන් දාන එක. එහෙම නැතුව එහා පැත්තේ කෙනා නොදැනුවත්ව ස්පීකර් ෆෝන් ඔන් කරන එක කැතයි. එයා නොදැන ඔයාට විතරක් කියන්න ඕන දෙයක් වුනත් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්.

 

4. සයිලන්ට් මෝඩ්

මෙන්න මේක නම් අනාදිමත් කාලයක ඉඳලා ෆිල්ම් එකක් බලන්න ගියත් අපිට කියලා දෙන පුරුද්දක්. ඒ තමයි අදාළ තැනදී ෆෝන් එක ඕෆ් කිරීම හෝ සයිලන්ට් කිරීම. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලන්න යනකොට ස්ක්‍රීන් එකෙත් වැටෙනවා ෆෝන් එක සයිලන්ට් කරගන්න කියලා. ඒ විතරක් නෙවෙයි, අපි මීටින් එකකට යනවා නම් ඒත් ෆෝන් එක සයිලන්ට් කරන්න ඉගෙන ගන්න ඕන.මීටින් එකක ඉන්නවා නම් ටෙක්ස්ට් කරන එකත් අප්සට්. පංසලකට, පල්ලියකට යනවා නම් වුනත්, පුස්තකාලෙකට, රෝහලකට එහෙම යනවා වුනත් ෆෝන් එක සයිලන්ට් කරන්න ඉගෙන ගන්න ඕන. කෙනෙක් එක්ක ලන්ච් එකකට, ඩිනර් එකකට එහෙම යනවා නම් ඒත් ෆෝන් සයිලන්ට් කරලා ඉන්න ඉගෙන ගන්න ඕන. හරි නම් ගෙදර කෑම මේසයට එනකොට වුනත් ෆෝන් එක පැත්තකින් තියලා එන්න ඕන. මොකද, මේ හැමතැනකදීම අපි එතනට අදාළ දේට සම්පූර්ණ අවධානය දීම අවශ්‍යයි. එහෙම වෙලාවක ෆෝන් එක බෑඟිරි තලන එක කරදරයක්!

 

5. අතිශයින්ම පුද්ගලිකයි!

සාමාන්‍යයෙන් අපි පොදු ජනයා බහුලව ගැවසෙන තැනක ඉන්නකොට, අපි කොයි තරම් සාමාන්‍ය ස්වරයකින් කතා කළත්, අපි කතා කරන දේ අනික් අයට යම්තාක් දුරකට ඇහෙන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ කෙනෙක් විශේෂයෙන්ම අපේ කතාබහට ඇහුම්කන් නොදුන්නත්, ඇහෙන දේ ඇහෙනවා. ආන්න ඒ නිසා පොදු ස්ථානයක ඉඳලා කතා කරන කොට අපි කතා කරන මාතෘකා ගැන, කතා කරන අන්තර්ගතයන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් විදියට සංවේදී කරුණු කාරණා ගැන කතා කරන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය සෙක්ස් ගැන කතා කරන එක, මිනිස්සුන්ට බණින එක, විවේචනය කරන එක එහෙමත් පොදු තැනක කරන එක මැනර්ස් වලට විරුද්ධයි. එතකොට තමන්ගේ භාෂාව ගැන වුනත් සැලකිලිමත් වෙන්න ඕන ඉන්න තැන අනුව. උදාහරණෙකට ගත්තොත්, පොදු ස්ථානයක ඉඳන් ෆෝන් එකෙන් කතා කරනකොට කුණුහරුප එහෙම කියන එක හරි කැතයි.

 

6. බිල ගෙවනකොටත් කතාව

මේක ගොඩක් දෙනෙක් නොදැනුවත්ව කරන දෙයක්. ඔන්න අපි යනවා සුපර් මාකට් එකට. එතකොට කෝල් එකක් එනවා. එහෙම වෙලාවට ගොඩක් දෙනෙක් කරන්නේ කෝල් එක ආන්සර් කරලා, කෝල් එකේ ඉන්න ගමන්ම බඩු තෝරන එක. ඒක අවුලක් නෑ, වෙන කෙනෙක්ට කරදරයක් වෙන්නෙ නැතිනම්. හැබැයි ඔය රාක්කයක් ගාව බ්ලොක් කරගෙන ෆෝන් කෝල් එකේ ඉන්න එක මැනර්ෆුල් දෙයක් නෙවෙයි. ඒක අනික් මිනිස්සුන්ට කරන කරදරයක්. ඊලඟට ඔන්න බඩුත් අරගෙන බිල දාන්න කැෂියර් එකටත් එනවා කෝල් එකේ ඉන්න ගමන්ම. ඉතින් කැෂියර් එකේ ඉන්න කෙනා අපි දිහා බලාගෙන ඉන්න ඕන අපි එක්කෝ ටෙලිෆෝන් නොම්බරේ කියනකල්, සල්ලි ගෙවනකල්. සමහර වෙලාවට අපි කෝල් එකෙන් කියන දේවල් එක්ක කැෂියර් ෆුල් අන්දොස් වෙනවා. ඒ නිසා කෝල් එක හදිසියි නම් එක්කෝ ඒක ඉවර කරලා කැෂියර් එකට යන්න. නැතිනම් කෝල් එකේ ඉන්න කෙනාට පොඩ්ඩක් ඉන්න කියලා බිල ගෙවන වැඩේ ඉවර කරගන්න.

 

7. කෝල් ඇන්ඩ් ඩ්‍රයිව්!

මෙන්න මේක ඇත්තටම මොබයිල් ෆෝන් මැනර්ස් වලට අයිති දෙයක් විතරක් නෙවෙයි, අපේ මහමඟ ආරක්ෂාවටත් අතිශයින්ම අදාළ දෙයක්. ඒ තමයි වාහනේ එලවන අතරේ කෝල් ගන්න එක හරි ටෙක්ස්ට් කරන එක හරි. සමහරු රතු එළියක් ගාව නැවතුනහම පටස් ගාලා ෆෝන් එක අරගෙන ටෙක්ස්ට් කරනවා. වැරදි වැඩක්. ඒ වගේම තමයි ස්පීකර් ෆෝන් දාගෙන, හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන කතා කරන ගමන් වාහනේ එළවන එකත්. ඒක වැරදියි විතරක් නෙවෙයි, ආරක්ෂාවටත් හොඳ නෑ. මොකද අපේ අවධානය පාරෙන් ගිලිහෙන එක තත්පරයකුත් ඇති මාරාන්තික අනතුරක් සිද්ධ වෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *