කාලෙන් කාලෙට මාරු වුණු රට රටවල ජාතික කොඩි

රටක ජාතික කොඩිය කියන්නේ ඒ රටේ අනන්‍යතාවය මුළු ලෝකයටම නිරූපණය කරන එක සංකේතයක්. මේ නිසා ජාතික කොඩියක් නිර්මාණය කරද්දී බොහෝ කරුණු කාරණා සැලකිල්ලට ලක් කරලා තියෙනවා. මෑත ඉතිහාසයේ දී රටවල් කිහිපයක ජාතික කොඩි වෙනස් වුණා. අපි අද කථා කරන්න යන්නේ මේ ආකාරයට වෙනස්කම්වලට ලක් වුණු ජාතික කොඩි කීපයක් ගැන.

 

1. ලිබියාව 

අපේ වැඩිහිටි පරම්පරා කීපයකටම ලිබියාවේ ජාතික කොඩිය  පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබී තිබුණා. එරට අද්විතීය නායකයා වූ ගඩාෆිගේ දර්ශනය නිරූපණය කරමින් එරට ජාතික කොඩිය වර්ණ ගැන්වී තිබුණේ තනි කොළ වර්ණයෙන් පමණයි. ලෝකයේ අනෙකුත් රටවල් මෙන් ඊට කිසිදු සංකේතයක් ඇතුළත්ව තිබුණේ නැහැ. තමන්ගේ දේශපාලන දර්ශනය විස්තර කෙරෙන හරිත පැහැති කුඩා පොත සංකේතවත් කරමින් ජාතික ධජයට කොළ වර්ණය යොදාගැනීමට ඔහු තීරණය ක​ර තිබුණා. එසේම ඉස්ලාම් ආගමට සම්බන්ධ ප්‍රධාන වර්ණය කොළ වීමත් ඊට තවත් එක් හේතුවක්. කෙසේ වෙතත් 2011 වසරේ දී ගඩාෆිව බලයෙන් පහ කිරීමත් සමග ලිබියානුවන් ඔහු බලයට පැමිණීමට පෙර ලිබියාවේ භාවිතා කළ ජාතික ධජය කුඩා වෙනස්කම් සහිතව නැවතත් භාවිතා කිරීමට පටන් ගත්තා.

 

2. මලාවි 

1964 වසරේ දී මලාවි නිදහස ලබා ගැනීමත් සමග තම රටේ බලාපොරොත්තු සහ අප්‍රිකානු සහයෝගය පිළිබඳ අදහස් තම ජාතික ධජයෙන් නිරූපණය කිරීමට උත්සාහ කළා. නැගෙන හිරු බලාපොරොත්තුවේ සංකේතයක් වූ අතර එහි තිබූ කිරණ 31න් මලාවිය එවකට නිදහස ලබා තිබූ අප්‍රිකානු රටවල් අතර තිස් එක්වැන්න බව නිරූපණය කළා. කළු පැහැයෙන් දේශීය ජනතාවත්, රතු පැහැයෙන් නිදහස ලබා ගැනීම වෙනුවෙන් ගෙන ගිය සටනත් සංකේතවත් වුණා. 2010 වසරේ දී එරට රජය විසින් ජාතික ධජය වෙනස් කිරීමට කටයුතු කළ අතර නැගෙන හිරු වෙනුවට සුදු පැහැති සූර්ය සංකේතයක් යොදා ධජයේ තීරු වල පිළිවෙළ ද වෙනස් කළා. මීට මලාවිය තුළ දැඩි විරෝධයක් පැන නැගුණු අතර 2012 වසරේදී පත් වූ නව රජය විසින් නැවතත් පැරණි ජාතික ධජයම භාවිතා කිරීමට තීරණය කළා.  

 

3. වෙනිසියුලාව 

දකුණු ඇමරිකාවේ පැරණිතම රාජ්‍යයක් වන වෙනිසියුලාවේ ජාතික ධජය අවස්ථා ගණනාවකදී විවිධ වෙනස්කම් වලට ලක්වුණා. තද කහ, නිල් සහ රතු යන කොටස් තුනකින් යුක්ත වන මෙම ජාතික ධජයේ මැද කොටසේ තරු කීපයක් තිබූ අතර අවස්ථා ගණනාවකදී තරු රටාව වෙනස්කම්වලට භාජනය වුණා. එසේම ජාතික ධජයේ වම් උඩ කෙ​ළවරේ වෙනිසියුලාවේ රාජ්‍ය ලාංඡනය නිරූපණය වුණා. හියුගෝ චාවේස් විසින් එතෙක් පැවැති තරු රටාව තනි තරුවක් බවට පත්කළ අතර රාජ්‍ය ලාංඡනයට ඉදිරියට යන සුදු පැහැ අශ්වයෙකුගේ රුපයක් ද ඇතුළත් කළා. ඒ මගින් ඔහු විසි එක්වන සියවසට ගැලපෙන සමාජවාදය කරා වෙනිසියුලාව තම නායකත්වය සම​ග යන ගමන සංකේතවත් කළා.

 

4. ජෝර්ජියාව 

දීර්ඝ කාලයක් සෝවියට් රුසියාවේ අණසකට යටත්ව පැවති ජෝර්ජියාව තුළ ජාතික ධජය ලෙස රතු පැහැති විවිධ කොඩි භාවිතා වුණා. නමුත් 1990 දී පමණ සෝවියට් රුසියාව බිඳ වැටීමත් සමග නිදහස ලබාගත් ජෝර්ජියාව විසින් තමන්ගේම ජාතික කොඩියක් භාවිතා කිරීමට පටන් ගත්තා. ඒ සඳහා ඔවුන් භාවිත කර තිබුණේ සෝවියට් රුසියාවට යටත් වීමට පෙර භාවිතා කරමින් තිබූ ජාතික ධජයයි. නමුත් එරට ආගමික නායකයන්ගේ සහ විද්වතුන්ගේ මතය වූයේ ජෝර්ජියාවේ සංස්කෘතිය සහ උරුමය නිරූපණය වන පරිදි ජාතික ධජය සකස් විය යුතු බවයි. ඒ අනුව දාහතරවන සියවසේදී පමණ භාවිතය ආරම්භ වූවා යැයි සැ​ළකෙන රතු පැහැති කුරුස පහක් ඇති සුදු ධජය භාවිතා කිරීම යළිත් ආරම්භ  වුණා.

 

5. මියන්මාරය 

නිදහස ලබා ගැනීමෙන් පසුව මියන්මාරය තුළ වර්තමානය දක්වා ජාතික ධජ තුනක් භාවිතා වී තිබෙනවා. පළමු රතු පැහැති ජාතික ධජය​ට වම් උඩ කෙ​ළවරේ නිල් පැහැති කොටුවක විශාල තරුවක් සහ ඒ වටා තවත් තරු 5 ක් ඇතුළත්ව තිබුණා. එම තරු පහ මගින් බුරුමයේ වාසය කළ ප්‍රධාන ජන වර්ග පහ නිරූපණය වූ අතර රතු පැහැය මගින් නිදහස උදෙසා ගෙන ගිය සටන නිරූපණය වුණා. නැවතත් 1974 දී මෙම කොඩියේ සංකේත සංශෝධනයකට ලක් වූ අතර තරු පහ වෙනුවට බුරුමයේ ප්‍රාන්ත රාජ්‍ය 14 නිරූපණය කරමින් තරු දාහතරක් සහ එවක පාලක පක්ෂයේ ලාංඡනය නිල් පැහැති තීරුවට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා. 2010 වසරේ දී ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ නව ජාතික ධජයක් හඳුන්වා දෙනු ලැබුවා. වර්තමාන ජාතික ධජය​ට එක්සත්කම නිරූපණය කරමින් කහපැහැ කොටසක්ද, සාමයේ නිරූපණය කරමින් කොළ පැහැති තීරුවක්ද, අධිෂ්ඨානය නිරූප​ණය කරමින් රතු පැහැති තීරුවක්ද ඇතුළත් වෙනවා. එහි මැද ඇති තුඩු පහක් සහිත තරුව මගින් රටෙහි එක්සත්බ​ව  සංකේතවත් කරනවා.

 

6. රුවන්ඩාව 

ලිබියාවේ ජාතික කොඩිය වගේම රුවන්ඩාවේ ජාතික කොඩිය කාලෙකට කලින් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව අපිට තිබ්බා. ඒකට හේතු වු​ණේ ජාතික කොඩිය මැද්දේ R අකුර නිරූපණය  වීමයි.  රුවන්ඩාවේ සිදු වූ ගෝත්‍රික ගැටුම් නිසා මහා ජන සංහාරයක් සිදු වුණා. ඇතැම් අවස්ථාවල එවැනි සිදුවීම් ව​ලදී ජාතික කොඩියත් භාවිතා වී තිබුණා. මේ නිසා 2001 වසරේ සිට රුවන්ඩාව විසින් පැරණි ජාතික කොඩියට සපුරා වෙනස් කොඩියක් භාවිතා කිරීමට පටන් ගෙන තිබෙනවා. එකිනෙකට සමාන නොවන ප්‍රමාණයේ කොළ, කහ, නිල්  තීරු 3 කින් සහ කහ පැහැති සූර්ය සංකේතයක් මෙම කොඩියට ඇතු​ළත්ව පවතිනවා. නිල් පැහැයෙන් සාමයත්, කහ පැහැයෙන් ආර්ථික සමෘද්ධියත්, කොළ පැහැයෙන් සෞභාග්‍යය සඳහා වන බලාපොරොත්තුවත්, කහ පැහැති සූර්‍ය ලාංඡනයෙන් ප්‍රඥාවත් නිරූපණය වනවා.

 

7. ජපානය 

දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇමරිකා එක්සත් ජනපදයට යටත් වන තෙක් ජපානය සිය ජාතික ධජය ලෙස භාවිතා කරන ලද්දේ ජපාන අධිරාජයාගේ ධජයයි. කෙසේ වෙතත් ජපානයේ යටත් වීමෙන් පසුව මෙම තත්ත්වය දැඩි වෙනස්කම් වලට ලක් වුණා. ඇතැම් අවස්ථාවල අධිරාජ්‍යයාගේ ධජය ප්‍රදර්ශනය කිරීම පවා ගැටළුකාරී වන්නටත් පටන් ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම මත වර්තමානයේ දී අපි දකින රතු පැහැති වෘත්තාකර කොටසක් මැද ඇති සුදු පැහැති ධජය භාවිතා කිරීම ඇරඹුණා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *