දැකලා තියෙනවද ඇල්ල, සිරීපාදේ වගේ ලංකාවේ සුන්දර තැන්වල සීසන් එක ඉවර වෙනකොට කොහොමද කියලා. කුණු කඳු ගැහිලා. ඒවලින් වැඩි හරියක් ප්ලාස්ටික්. සමහර වෙලාවක ඇළ දොළ ගංගාවක අපි සොබා අසිරිය විඳිමින් නාමින් ඉන්නකොටත් ඔන්න ප්ලාස්ටික් බෝතල්, සිලිබෑග් එහෙම පාවෙලා එන්න පටන් ගන්නවා. ඇත්තටම අපි අපේ පරිසරයට මොකද්ද මේ කරමින් ඉන්නේ? දිරා නොයන කුණු කඳු ගහමින් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ ලෝකේ ඉස්සර තිබුණු ලස්සනටම හැමදාම තියේවි කියලා? හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ රටේ පාලකයන්ටම විසඳන්න කියලා අපිට අත පිහදාගන්න බෑ. මොකද අපිත් සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ප්‍රශ්නයට දායකත්වය සපයනවා. ආන්න ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි අපේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කරගන්න එක. ඒක කරන්නේ කොහොමද කියලා අපි කියන්නම්.
1. ෆුඩ් සිටි යනකොට මල්ලක් අරගෙන යන්න
ෆුඩ් සිටි විතරක් නෙවෙයි, ඕනම සුපිරි වෙළඳ සැලකට වුනත්, තොග කඩේකට වුනත්, සිල්ලර කඩේකට වුනත් බඩු ගන්න යනකොට තමන්ගේම මල්ලක් අරගෙන යන්න පුරුදු පුහුණු වෙන එක ඉතාම වටින දෙයක්. නැතිනම් නිකමට හිතන්න ෆුඩ් සිටි එකෙන් සතියකට බඩු අරගෙන එනකොට පොලිතීන් බෑග් කීයක් නම් අපිට දීලද කියලා. ඔව්, දැන් දිරා යන පොලිතීන් මිසක් වෙන ඒවා භාවිතය තහනම් තමයි. ඒත් මේ විදියෙන් වුනත් අපි කොයි තරම් සිලිබෑග් ප්‍රමාණයක් කුණු වලට එකතු කරනවද? හැබැයි බඩු දාගෙන යන්න මල්ලක් අරගෙන ගියහම බය නැතුව කියන්න පුළුවන් තමන් සිලිබෑග් පරිසරයට එකතු කරන්න දායක වෙන්නෙ නැහැයි කියලා.
2. එළවළු පළතුරු ගන්නකොට මෙහෙමයි
සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි එතකොට සුපිරි වෙළඳ සැලකින් එළවළු, පළතුරු වගේ දේවල් ගන්නේ කොහොමද කියන එක. මොකද එව්වා ඔක්කොම අර බෑග් එකටම දාගෙන එන්න බැහැනේ. ඕකට සමහරු කරන වැඩක් තමයි එක සිලිබෑග් එකකට ඕන එළවළු ඔක්කොම දාලා, ඒ බෑග් එකේ පිට ඒ ගත්තු එළවළු වලට අදාළ ස්ටිකර් බිල් ටික අලෝගන්න එක. හැබැයි ඊටත් වඩා සාර්ථක වැඩක් තමයි බඩු ගන්න බෑග් දෙකකුයි පොඩි නෝට් පොතකුයි අරගෙන යන එක. එක බෑග් එකකට දාන්නේ එළවළු පළතුරු. ඒවල ස්ටිකර් බිල් ටික නෝට් පොතේ දිනේ දාපු කොලේක අලවගන්නවා. සරලවම ප්‍රශ්නේ විසඳිලා.
3. ස්ට්‍රෝ, හැඳි එපා
දැන් අපි මොකක් හරි බීමක් ගත්තහම අපිට ඒකත් එක්ක ස්ට්‍රෝ එකක් දෙනවනේ ඒ බීම එක බොන්න. ඇත්තටම බීම බෝතලයක් කට තියාගෙන බිව්වත්, ගොඩක් ඔය බීම තියෙන පොඩි ටෙට්‍රා පැක් එකකින් නම් එහෙම බොන්න බෑ. අන්න ඒ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේම ස්ට්‍රෝ එකක් බෑග් එකේ තියාගන්න එක. ප්ලාස්ටික් ස්ට්‍රෝ එකක් නෙවෙයි හැබැයි. දැන් විකුණන්න තියෙනවා බම්බු වලින්, කඩදාසි පල්ප වලින් එහෙම හදපු ස්ට්‍රෝ. මේවා හෝදලා ආයෙමත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔය අයිස්ක්‍රීම්, යෝගට් වගේ දෙයක් එක්ක හැඳි අහුරකුත් කඩෙන් අපිට දෙනවනේ. ඊලඟ වතාවේ මේ ප්ලාස්ටික් හැඳි එපා කියන්න. ඒ වෙනුවට පාවිච්චි කරන්න අර කියපු විදියේ නැවත නැවත භාවිතා කළ හැකි පරිසර හිතකාමී හැඳි ටිකක් ගෙනැත් තියාගන්න.
4. කෝපි එකක් ප්ලාස්ටික් කෝප්පේ එපා
දැකලා තියෙනවද ඔය මල ගෙදරකදී හරි වෙනත් උත්සවයකදී හරි දකින්න තියෙන කෝපි මැෂින්? මෙව්වලින් කෝපි දාලා දෙන්නේ ඉස්සරනම් අර ප්ලාස්ටික් කෝප්ප වලට. දැන් නම් දිරා යන විදියේ කෝප්ප වලට තමයි කෝපි දාලා දෙන්නේ. හැබැයි දෙකෙන් කෝකට දැම්මත් කෝපි එක බිව්වට පස්සේ ඒක යන්නේ කුණු කූඩෙට. ඉතින් කුණු කඳු ගැහෙනවා. හැබැයි මේ ලේසියට කරන වැඩේ නතර කරලා, ඇයි අපිට ඔය වගේ අවස්ථාවක වීදුරු මග් පාවිච්චි කරන්න බැරි? කෝපි එක බීලා මග් එක හෝදලා තියනවා තව කෙනෙක්ට බොන්න. එතකොට මග් කීපයක් තිබ්බත් වැඩේ ඇදගෙන යන්න පුළුවන්.
අනික තමයි ඔය බරිස්තා එකෙන් එහෙම කෝපි එකක් උදේට වැඩට යනකොට අරගෙන යන අය ඉන්නවා නම්, හැමදාම තමන්ගේ උණුසුම් කෝපි මග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කෝප්පයක් වගේ, ඒත් උණුසුම රැඳිලා තියෙනවා උණුවතුර බෝතලේක වගේ. ඕක දෙන්න පුළුවන් කෝපි එක ඒකට දාලා දෙන්න කියලා.
5. චුවින්ගම් අමතක කරන්න
අහලා ඇතිනේ සිංගප්පූරුව වගේ රටක චුවින්ගම් හපලා දාලා ගියොත් කොහොමද දඬුවම් ලැබෙන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. චුවින්ගම් කියන්නේ පහසුවෙන් දිරා යන ද්‍රව්‍යයක් නෙවෙයි, කෘත්‍රිම ප්ලාස්ටික් වර්ගයක් කියලා කිවුවොත් හරි. අන්න ඒ නිසා අපි කියන්නේ චුවින්ගම් එකක් හපලා ඉවර වුණාට පස්සේ කොළයක දවටලා කුණු එකකට දාලා යන්න කියලා නෙවෙයි. අපි කියන්නේ චුවින්ගම් භාවිතය සම්පූර්ණයෙන්ම අත් හරින්න කියලා. හිතලා බලන්න නිරන්තරයෙන්ම චුවින්ගම් හපන හාදයෙක් පරිසරයට මොන තරම් චුවින්ගම් ප්‍රමාණයක් තමන්ගේ ජීවිත කාලය ඇතුළතදී මුදාහරිනවා ඇතිද කියලා.
6. තමන්ගේම වතුර බෝතලයක්
දැන් කාලේ වැඩි වැඩියෙන් බෝතල් කරපු වතුර භාවිතා වෙනවා. ඒ කියන්නේ කොහේ හරි ගියහම විතරක් නෙවෙයි, සමහරු ලේසියට ගෙදර පාවිච්චියටත් ඔය බෝතල් කරපු වතුර ගේනවා. හැබැයි හිතලා බලන්න මේ වතුර බෝතල් අපි කොයි තරම් කුණු ගොඩවල් වල දැකලා තියෙනවද කියලා. ආන්න ඒ නිසා කොහේ හරි යනකොට තමන්ගේම වතුර බෝතලයක් ගෙනියන්න පුරුදු වෙනවා නම් ඉතාම වටිනවා. ඒක අමතර කරදරයක් කියලා හිතන්න එපා. ඊට වඩා ඒකෙන් සැලසෙන වාසියත්, පරිසර දූෂණයට අපෙන් වෙන දායකත්වයේ අවම වීමත් වැඩියි. එතකොට නිවෙස් වල පාවිච්චියට වුනත් බෝතල් කරපු වතුර ගෙනියන එක අඩු කරන්න පුළුවන් නම් වටිනවා.
ඒ විතරක් නෙවෙයි, ඔය පැණි බීම එකක් වුනත් බොනවා නම්, පුළුවන්. තරම් වීදුරු බෝතලයක්ම මිලදී අරගෙන, බීලා ඉවර කරලා හිස් බෝතලේ දීලා යන එක වටිනවා.
7. ප්ලාස්ටික් කෑම පෙට්ටි එපා
සමහර අය ඉන්නවා සතියකට කිහිප වතාවක්වත් කඩෙන් කෑම බීම ගන්න සිද්ධ වෙන. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි හිතලා බලන්න කෑම පෙට්ටි සහ ඒවා ඔතලා එන පොලිතීන් බෑග් එක්ක කොයි තරම් කුණු ප්‍රමාණයක් ගොඩ ගැහෙනවද කියලා. ආන්න ඒ නිසා හොඳ විකල්පයක් තමයි තමන්ගේම කෑම පෙට්ටියක් පාවිච්චි කරන එක. කඩෙන් කෑම එකක් ගන්නකොට, පැකට් කරලා තියන කෑම ගන්නෙ නැතිනම් කෑම පෙට්ටිය දෙන්න ඒකට කෑම දාලා දෙන්න කියලා. පොඩ්ඩක් කෑම පෙට්ටිය දිනපතා හෝදන්න වෙන මහන්සිය සහ අරගෙන යන්න එන්න තියෙන එක විතරනේ.
Leave a Reply