ඇමෙරිකාවත් බයවෙච්ච, ඉන්දියාවත් අපිට එපා කියද්දී ලංකාවේ ලැගුම් ගත්තු යුවාන් වෑන් 5 නැව ගැන අපි නොදන්නා දේවල් ටිකක් දැනගමු
ඔයාලා කවුරුත් දන්නවානේ පහුගිය අගෝස්තු 16 ඇවිත් අගෝස්තු 22 ලංකාවෙන් පිටත්ව ගිය චීනයේ යුවාන් වෑන් 5 නැව ගැන අපි ගණන් නොගත්තත් ලෝකයම කතා වුණා කියලා. ඒකට හේතු වුණේ නාමික වශයෙන් මේ නෞකාව විද්‍යාත්මක පර්යේෂණය සඳහා යොදාගැනෙන සිවිල් නෞකාවක් වුනත් ඒක යුධමය ඔත්තු බලන වැඩ වලටත් යොදාගන්න පුළුවන්ය කියන දේ ගැන හැමෝම අනුමාන කරපු නිසයි. ඉතිං ඉන්දියාව වගේම ඇමෙරිකාවත් මේ නැව එන එකට එයාලගේ විරෝධය ප්‍රසිද්ධියේ කියලා දැම්මා. කොහොම වුණත් චීනය තරහා කරගන්න බැරි තරම් තැනක ලංකාව ඉන්න නිසා ලංකා රජය ඒකට හම්බන්තොට වරායට ඇතුල්වෙන්න ඉඩදුන්නා. ඒ මෙරට මුහුදු සීමාවේ කිසිම පර්යේෂණ කටයුත්තකට නියැලෙන්නේ නැති බවට වාචික පොරොන්දුවක් එක්ක.
ඉතිං මේ නැව ඇතුලේ වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා හොයලා බලන්න අපිට අයිතියක් නැති නිසා ඒ පොරොන්දුව වචනයකට විතරක් සීමා වෙන්න ඉඩකඩනම් තියෙනවා. කොහොම හරි මේ අපූරු නැව ගැන හා ඒක සතු පුදුමාකාර හැකියාවන් ගැන ඔයාලට කියන්න lifie සූදානම්.
01. නෞකාවේ වර්ගය
ලංකාවට ආපු මේ යුවාන් වෑන් 5 නැව ඒ නමින්ම තියෙන එහෙමත් නැත්නම් ඒ ක්ලාස් එකටම අයිති වගේම මුලික වශයෙන් විවිධාකාර නිරික්ෂණ කටයුතු සඳහා ගොඩනගපු එකක්. මේකේ මුලික අවධියේදී යුවාන් වෑන් 1 හා 2 නෞකා 1977 තරම් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ඒවා වුනු අතර දෙවෙනි පරම්පරාව විදිහට තමයි 1994 අවුරුද්දේදී යුවාන් වැන් 3 නෞකාව නිෂ්පාදනය කළේ. පස්සේ 1998 දි යුවාන් වැන් නෞකාවෙ අඩංගු දේවල්ම වෙනත් නෞකාවක් මත සවිකිරීමෙන් තමයි යුවාන් වැන් 4 නෞකාව ඉදිකළේ. මේ නැව් 4 ම චීන නාවික හමුදා සේවයට එක්කර ගත්තා. පහුගිය දා අපේ රටට ආවේ 2007 දී නිපදවපු තුන්වෙනි පරම්පරාවේ යුවාන් වැන් 5 නෞකාවයි. යුවාන් වැන් නෞකාවල නිරික්ෂණ හැකියාවන් සියල්ලම පාහේ මෙම නැවට ඇතුල් වුනත් චීන නාවුක හමුදාව වෙනුවට චීන රජයට අයත් වෙන විදිහටයි මේක සේවයට එක්කර ගත්තේ. ඉතින් යුවාන් වැන් නෞකාවල පහසුකම්,හැකියාවන් ගෙන් සන්නද්ධ වුනත් එය නිලවශයෙන් සිවිල් විද්‍යාත්මක පර්යේෂණය සඳහා වූ නෞකාවක් කියලයි සැලකෙන්නේ.
02. නෞකාවෙ විශාලත්වය
චීන රජය විසින් යුවාන් වෑන් 5 නැව ගැන තොරතුරු හෙළිකරලා තියෙන්නේ ඉතාමත් සීමිත වශයෙන්. කොටින්ම කියනවනම් මේකේ දිග පළල ගැන උනත් හරි තොරතුරක් අනාවරණය කර ගන්න පුළුවන් වුණේ ඒක ලංකාවට ආවට පස්සෙයි. දිගින් මීටර් 222 ක් හා පළලින් මිටර් 22.5 ක් වෙන මේ නෞකාව විස්තෘත බර ටොන් 22000 ක් විතර වෙනවා. මීට පෙර නිෂ්පාදනය වුණ නැව් 4 ටම වඩා විශාල වෙන මේකේ නාවිකයින් 400 ක් සේවයේ යෙදිලා ඉන්නවා. චීන රජයේ කොන්ත්‍රාත් එකක් මත CSIC සමාගම තමයි මේක නිපදවලා තියෙන්නේ.
03. හම්බන්තොට දිස්ත්‍රික්කයටම විදුලිය දෙන්න පුළුවන්
යුවාන් වෑන් නෞකාවෙ එක්තරා විශේෂත්වයක් වෙන්නේ එකේ තියෙන විදුලිජනක පද්ධතිය. නෞකාව දිහා බලාපු සැනින් දකින්නට ලැබෙන දැවැන්ත රේඩාර් පද්ධති 3 ඇතුළුව එහි භාවිත කටයුතු සඳහා යොදාගන්නා පද්ධතීන් සියල්ලම අතිශයින්ම ප්‍රභල ඒවා. ඒ නිසා මේවා පනගන්වන්න දැවැන්ත විදුලි බලාගාරයක් නැව ඇතුලේම පිහිටුවලා තියෙනවා.
මේ බලාගාරය ගැන නිවැරැදි දත්ත හෙළිකරලා නැතත් ඊට අනුමාන කරගන්න පුළුවන් පුවතක් චීන මාධ්‍ය පලකරලා තිබුණා. එකෙන් කියැවුණේ නිවාස ලක්ෂ 3 කට විතර විදුලිය සපයන්න පුළුවන් හැකියාවක් ඒකට තියෙනවා කියලායි. මේ නිසා සාමාන්‍යයෙන් මෙගා වොට් 100 ක පමණ ධාරිතාවකින් යුක්ත බව හිතාගන්න පුළුවන්. මෙහි ප්‍රමිතියෙන් නව ලක්ෂපාන විදුලි බලාගාරය වගේ අපේ රටේ ප්‍රධාන විදුලිබලාගාරයකට සමාන විදුලියක් උත්පාදනය කරන්න පුළුවන්. මේ නිසා මුළු හම්බන්තොට දීස්ත්‍රික්කයටම උනත් විදුලිය දෙන්න යුවාන් වෑන් 5 නෞකාවට.
04. ශ්‍රී ලංකාව වගේ 27 ගුණයක් විශාල රේඩාර් සීමාවක්
ඉතිං යුවාන් වෑන් 5 නැවට අපේ රටේ බලාගාරයක් තරම්ම විදුලිය අවශ්‍ය වෙන්නේ මොකටද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. එකේ මූලිකම කාරණාව වෙන්නේ නෞකාවෙ තියෙන ප්‍රධාන රේඩාර් පද්ධතිය බලගැන්වීම. මේ ප්‍රධාන රේඩාර් එකට කිලෝමීටර් 750 වැඩි දුරක පවතින වස්තූන් හඳුනගන්න පුළුවන්. ඒ වගේ වස්තූන් සිය ගණනක් වුනත් එකපාර ට්‍රැක් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා කියලයි ඉන්දියාව හා ඇමරිකානු ඔත්තු සේවා විසින් මේ වනවිටත් ඇස්තමේන්තු කරලා තියෙන්නේ.
ඉතිං යුවාන් වෑන් නෞකාවට එය වටා වර්ග කිලෝමිටර් මිලියන 1.7 කට වැඩි ප්‍රදේශයක් සෝදිසි කරලා බැලීමේ හැකියාවක් මේ වෙද්දී පවතිනවා. විශාලත්වය ගත්තොත් එක ලංකාව වගේ විසිහත් ගුණයක්. එහෙමත් නැත්නම් ඉන්දියාවෙන් හරි අඩකටත් වඩා විශාලයි. මෙහි ඉඳන් ඉන්දියාවේ දකුණු හා බටහිර ප්‍රදේශ සෑහෙන ප්‍රමාණයක කටයුතු ගැන සෝදිසි කරන්න ඒකට පුළුවන්. ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන සතිෂ් ධවාන් මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නෙත් හම්බන්තොට වරායේ ඉදලා සෝදිසි කරන්න පුළුවන් දුරකින්. මේක නිසයි ඉන්දියාව මේ නෞකාවෙ ආගමනයට වැඩි විරෝධයක් දක්වන්න ප්‍රධානතම හේතුව.
05. ඉහළ අහසේ සහ අභ්‍යවකාශයේ නිරීක්ෂණ කටයුතු
යුවාන් වෑන් 5 නෞකාව නිල වශයෙන් චීනයේ සිවිල් අභ්‍යවකාශ කටයුතු වලදී නිරික්ෂණ කටයුතු හා ට්‍රැකින් කිරීම සඳහා සහය වෙන නෞකාවක්. පසුගියදා චීනය දියත්කරපු ලෝන්ග් මාර්ච් 5 රොකට්ටුව ඇතුළු චීනයේ සිවිල් චාරිකා දියත්කිරීම් වලදී ඒවයෙ ගමන් මාර්ගය, වේලාව, පිහිටි ස්ථානය ඇතුළු වැදගත් දත්ත රැස් කිරීමට නිතරම යුවාන් වෑන් 5 නෞකාව යොදාගත්තා. කොහොම උනත් ඒ සඳහා යොදාගත් තාක්ෂණය පහසුවෙන්ම ඉන්දියාව දියත්කරණ චන්ද්‍රිකා බැලස්ටික් මිසයිල ආදිය ගැන ඔත්තු බලන්නටත් යොදා ගන්නට පුළුවන්. අපි කලින් කතකරපූ වායුගෝලයේ රේඩාර් නිරික්ෂණ කටයුතුවලට අමතරව කිලෝමිටර් දහසක් විතර ඈත අහසේ පවතින චන්ද්‍රිකාවන් ගැනත් ඔත්තු බැලීමේ හැකියාවක් එහි රේඩාර් පද්ධතියට පවතින බවයි ඇස්තමේන්තු ගතකරල තියෙන්නේ.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන පවා පවතින්නේ මෙන්න මේ සීමාව තුළයි. ඉතිං මේ වෙද්දී තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉඳිකරමින් සිටින චීනයට මේ විදිහට එක්රැස් කරගන්නා තොරතුරු වඩාත් වැදගත් වෙන්න පුළුවන්.
06. ඉන්දියන් සමුද්‍රය ගැන දත්ත රැස් කිරීම
යුවාන් වෑන් 5 නෞකාව විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් විදිහට නම් කරලා තිබුණත් ඒක සතු පද්ධතීන් පහසුවෙන්ම යුධමය ඔත්තු බැලීමේ කටයුතු සඳහාත් යොදාගන්න පුළුවන්. ඒ විද්‍යාත්මක කටයුතු සඳහා එක්රැස් කරන දත්ත කෙලින්ම යුධමය විශ්ලේෂණයන් සඳහාත් ප්‍රයෝජනවත් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ අනුව යුවාන් වැන් 5 නෞකාව නිල වශයෙන්ම රැස් කරන බව කියන ඇතැම් දත්ත පවා යුධ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන් ගමන් කරන සාගර කලාපයේ ලවණ මට්ටම, උෂ්ණත්ව වෙනස්වීම්, තරංග ප්‍රචාරණය ඇතුළු දත්ත රාශියක්ම එක්රැස් කිරීම සහ ඒවයින් දත්ත ගබඩා සෑදීම සිද්ධ කරනවා. ඒවා විවිධ සමුද්‍රීය පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥයන්ට අතිශයින්ම වැදගත් වෙන්නට පුළුවන්. කොහොම උනත් මේ දත්ත අවශ්‍යනම් චීන නාවික හමුදාවට උනත් තමන්ගේ මෙහෙයුම් සැලසුම් කිරීමට යොදාගන්න හැකියාවක් තියෙනවා. ඉන්දියාව අවට සාගර කලාපයේ මෙවැනි නිවැරදිම දත්ත චීනය අතට පත්වීම ඉන්දියාවට තර්ජනයක් කියලා සැලකෙන්නේ අන්න ඒ නිසයි.
07. ඉලෙක්ට්‍රොනික හා සංඥා තොරතුරු එක්රැස් කිරීම
මේ නැවතුළ දියුණු තොරතුරු රැස් කිරීමේ හා විශ්ලේෂනය කිරීමේ පද්ධතීන් නිසා එයට යුධ කටයුතු සඳහා අතිශයින්ම වැදගත් වියහැකි ඉලෙක්ට්‍රෝනික සහ සංඥා තොරතුරුත් ගණනාවක්ම එකලස් කිරීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් විදිහට හැම නෞකාවකටම, සබ්මැරීන් එකකටම එයටම සුවිශේෂී වූ හඩ සලකුණක් එහෙමත් නැත්නම් එකොස්ටික් සිග්නේචර් එකක් පවතිනවා. මේක හරියටම මිනිස් ඇඟෙන් නිකුත්වෙන ඉව අපටම සුවිශේෂී වූ එකක් වගේ. බල්ලෙක් වගේ සතෙක්ට ඒක යොදාගෙන මිනිස්සු සියගණනකින් උනත් උගේ ස්වාමියා හඳුනගන්න පුළුවන්.
ඉන්දියානු යුද නෞකා, සබ්මැරීන, ගුවන්යානා වල මෙවැනි හඩ සලකුණු රැස් කිරීමෙන් හුදෙක් රේඩාර් සංඥා වලින් එහාට ගිහින් ඒවා හරියටම හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. යුවාන් වෑන් 5 නෞකාව සාගර ජීවීන් හඳුනාගැනීම වගේම විද්‍යාත්මක කටයුතු සඳහා මේ වගේ දත්ත රැස් කල හැකි විවිධාකාර සංවේදක රාශියකින් දැනටමත් සමන්විත වෙනවා. ඉතිං අවශ්‍යනම් මේ වගේ ඔත්තු බැලීමේ කටයුතු වල නිරත වෙන්නත් එයට කිසිම අපහසුවක් නෑ. යුද ව්‍යාවහාරයේ සිග්නල් ඉන්ටලිජස් යනුවෙන් හඳුන්වන්නේ මේ වගේ දත්ත සැබෑ යුද්ධයකදී චීන හමුදාවට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන නිසාමයි.
08. හම්බන්තොට වරායට ඇත්තටම ආවේ මොකටද?
කොහොම නමුත් යුවාන් වෑන් 5 නෞකාව ඔත්තු බැලීමේ කටයුතු සිදුකරන බව ඔවුන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මෙය සාමාන්‍ය සිවිල් පර්යේෂණ නෞකාවක් වරායට ගමන් කිරීමක් බවයි. නැවියන්ට අවශ්‍ය ආහාර, ජලය ලබාගන්නත්, ඉන්ධන පුරවා ගන්නටත් මේ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බවයි චීනය කිව්වේ. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල කිසිම පර්යේෂණ කටයුත්තක නිරත වෙන්නේ නැති බවට ඔවුන් පොරොන්දුවකුත් ලබාදුන්නා.
කොහොම වුනත් යථාර්ථය දිහා බැලුවොත් මේ ගමනේ යටි අරමුණු රැසක්ම පවතින්නට පුළුවන්. හම්බන්තොට වරාය දැනටමත් 99 අවුුරුද්දක බද්ධක් යටතේ චීනයට හිමිකාරීත්වය තිබෙන ස්ථානයක්. නිල වශයෙන් බැලුවොත් මේක ලංකාවට අයත් මුහුදු තීරයක් උනත් අන්තර්ජාතිකව පිළිගත් සම්ප්‍රදායන් අනුව සිවිල් කටයුතු සඳහා එයට ළඟාවීමේ යම් අයිතියක් චීනයට තියෙනවා. ඒ බව ඉන්දියාවට හා ඇමෙරිකාවට ප්‍රදර්ශනය කිරීම චීනයේ එක් අරමුණක් වෙන්නත් පුළුවන්. යුවාන් වෑන් 5 නැව ලංකාවට පැමිණීම සැලසුම් කිරීම පවා සිද්ධ වුණේ ඇමරිකා කතානායිකා නැන්සි පෙලොයි මහත්මියගේ තායිවාන සංචාරයෙන් පසුව වීම මෙයට හොඳ සාක්ෂියක්.
Leave a Reply