“සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන” කියල තමයි පැරණි කවියෝ අපේ කාන්තාවන්ගේ දේහ ලක්ෂණ වර්ණනා කළේ. ඉතින් ඔන්න ඔය සිහින්, සුකුමාල කාන්තා සිරුර තවත් බොහෝම හැඩ කරල පෙන්නන අපූරු ඇඳුමක් තමයි මේ සාරිය කියන්නෙ. සාරිය කියන්නෙ ලංකාවට ආවේණික ඇඳුමක් නම් නෙමෙයි. ඈත අතීතයේ ඉඳලම ඔසරිය ලංකාවෙ රදළ, වංශවත් කාන්තාවන්ගෙ ඇඳුමක් උණාට සාරියනම් හුඟක්ම ජනප්‍රිය වෙන්නෙ දකුණු ඉන්දියානු බලපෑම් වැඩිවීමත් එක්කයි. ඔය කොහොම වෙතත් අදකාලෙ අපි සාරිය කිව්වම ඔය සාරිය, ඔසරිය කියන දෙකම ගැන තමයි පොදුවේ කියවෙන්නෙ.
සාරිය කියන්නෙ ඉතින් බාල, තරුණ, මහළු කොයි කාන්තාවටත් ගැලපෙන විලාසිතාවක්. අවශ්‍ය තැනට අවශ්‍ය පෙනුම ලබාදෙන්න විශ්මිත හැකියාවක් තියෙන විලාසිතාවක්. හැබැයි ඔය ලස්සන සාරිය සමහර නෝනල ඔහේ පටලවාගෙන යන විදිහටනම් ගලවල අන්දන්න හිතෙන තරම්. ඉතින් ඒක නිසාම අපි හිතුව අද මේ අපූරු සාරියේ හැඩය උපරිමයෙන්ම ඉස්මතු වෙන විදිහට සාරිය අඳින්න දැනගෙන ඉන්න ඕන කරණා ටිකක් ගැන කතා කරන්න.
1. සාරියද, ඔසරියද?
කලින් කිව්ව වගේ සාරියයි ඔසරියයි කියන්නේ පැහැදිලිවම වෙනස්කම් තියෙන විලාසිතා වර්ග දෙකක්. දෙකම සාරි උණාට අඳින සාරි වර්ග, අඳින ක්‍රමය, පෙනුම, පාවිච්චි කරන ආයිත්තම් එකිනෙකට සපුරාම වෙනස්. ඉතින් හැඩට සාරියක් අඳින්න නම් ඉස්සෙල්ලම හොයල බලන්න ඕනේ කාරණේ තමයි තමන්ගේ ඇඟේ උසට, හැඩයට විතරක්ම නෙමෙයි, සහභාගීවෙන අවස්ථාවටත් වැඩිය ගැලපෙන්නෙ මේ දෙකෙන් මොකක්ද කියන එක.
මේ සාරියටයි ඔසරියටයි දෙකටම එකම සාරි පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා හරිම අඩුයි. නෑ නෙමෙයි. ඒත් අඩුයි. විශේෂයෙන් සාරියටම හෝ ඔසරියටම ඩිසයින් කරපු ඒව තමයි හුඟක්ම වෙළඳ පොලේ තියෙන්නෙ. ඉතින් මුලින්ම තමන් අඳින්නෙ සාරියද නැත්තම් ඔසරියද කියන එක හිතල බලල ඊට ගැලපෙන ඩිසයින් එකක් තෝරාගන්න ඕනේ. ඇඟේ හැඩය අනුව කිව්වොත් උසින් අඩු, මහතින් වැඩි අය ඔසරියට තවත් මහත පෙනුමට පේනවා. උසින් හුඟාක් වැඩි අයවත් සාරියෙන් තවත් උස පෙනුමට පේනවා. සාමාන්‍ය ප්‍රමාණයක ශරීරයක්නම් ඔය දෙකෙන් කොයිකත් හැඩයි. ඉතින් ඔය කාරණා සලකල බලල ඔසරියද සාරියද කියල තෝරාගන්න එක තමයි මුල්ම වැඩේ.
2. සාරියේ වර්ණය
දෙවෙනි කාරණේ තමයි තෝරාගන්න සාරියේ පාට. තමන්ගෙ ශරීර වර්ණය වගේම සහභාගී වෙන අවස්ථාවයි, අදාළ වෙලාවයි කියන කාරණා ඔක්කොම සලකල බලල තමයි මේ වර්ණය තෝරන්නත් ඕනෙ. උදේ කාලෙක වගේනම් ලා පාටකුත්, හවසක තියෙන උත්සවයකට වගේනම් තද පැහැයකුත් විදිහට අවස්ථාවට උචිත වර්ණය තෝරාගන්න පුළුවන්.
3. සාරි ජැකට් එක
සාරිය කියන විලාසිතාවේ වැදගත්ම අංගය තමයි මේ ජැකට් එක කියන්නෙ. ඒ කියන්නෙ සාරියට අඳින හැට්ටය. හරියටම කිව්වොත් සාරියේ පෙනුමට වැඩිම දායකත්වයක් සපයන්නෙ මේ සාරි හැට්ටය. අන්න ඒ නිසාම තමයි මේ හැට්ටයට පාට තේරීමේ ඉඳලම බොහොම පරිස්සමට කරන්න ඕනෙ. වෙළඳපොලේ ගන්න තියෙන හුඟක් සාරි වලට ඒකත් එක්කම ජැකට් පීස් එකක් ලැබෙනවා. හැබැයි ඉතින් අර නිකං දෙන කොයිකත් වගේ මේ ජැකට් පීස් එකත් හුඟක් වෙලාවට සාරියට ලස්සනක් දෙන පාටක්නම් නෙමෙයි. ඒ නිසා සල්ලි වියදම් කරලා සාරියක් ගත්ත එකේ තව පුංචි ගාණක් දීල ජැකට් පීස් එකකුත් ගත්තටනම් පාඩු නෑ හුඟක් වෙලාවට.
අනික් යුද්ධෙ තමයි හැට්ටෙ මහන එක. ඔය පැයෙන් දෙනව දෙකෙන් දෙනවා කියල ගහල තිබ්බට මහන හැට්ටෙ නිමාව ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනෙ. අරහෙන් මෙහෙන් ලොකුවට සාරි හැට්ටෙ එල්ලෙනකොට සාරිය කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ. හරියට මහපු සාරි හැට්ටයක් ඇඟට තියල ඇලෙව්ව වගේ ලස්සනයි.
4. යට සාය
මෙන්න තවත් වැදගත්ම කාරණයක්. ඔය කෝකටත් තෛලෙ වගේ සාරි තුන හතරකට එකම පාට සායවල් අඳින එකනම් හැඩට අඳින්න කැමති කෙනෙක්ට හරියන වැඩක් නෙමෙයි. සාරියක් කියන්නේ බොහෝ වෙලාවට හුඟක් තුනී රෙද්දක්. ඉතින් යටින් අඳින සායෙ පාට නිසා සාරියෙ ඔරිජිනල් පාටට හානිවෙන්න පුළුවන්. හැට්ටෙ තෝරාගන්න පාටින්ම හරි සාරියේ කඳ කොටසට ගැලපෙන පාටින් හරි සායත් තෝරාගන්න ඕනේ. අනිත් එක තමයි සායෙ හැඩය. ඇඟේ හැඩය ඉස්මතුවෙලා පේන්න වෙනස් වෙනස් විදිහට සාය මහන්නත් පුළුවන්.
5. බ්‍රා එක
සාරි හැට්ටෙ කොච්චර හැඩට මැහුවත් වැඩක්නම් නැහැ ඒකට අඳින තනපටය, නැත්තම් සිංහලෙන් කිව්වොත් බ්‍රා එක 😉 හැට්ටෙ හැඩය ඉස්මතු නොකරනවනම්, එහෙන් මෙහෙන් පටි එලියට පනිනවානම්. හොඳම වැඩේ තමයි පුළුවන් හැම අවස්ථාවකම සාරි හැට්ටයට බ්‍රා කප් පාවිච්චි කරන එක.
6. ගැලපෙන ආයිත්තම්
සාරිය ඇඳගත්තයි කියමුකෝ. ඊළඟට මේකට දාන ආයිත්තම් මොනවද? සපත්තු, මාල, කරාබු…
සාරියකට හැමවෙලාවෙම පුංචි හරි හීල් එකක් දැම්මම තමයි ලස්සන. ඒකත් සාරියට ගැලපෙන පාටකින් තෝරගත්තම තවත් හැඩයි. දිනපතා රැකියාවට අඳින සාරියටනම් බොහොම චාම් චේන් පොටක්, පුංචි කරාබු දෙකක් වගේ තමයි හැඩ. එහෙම නැතුව අඳින්නම් වාලේ රටේම තියෙන මහා ලොකු මාල, එල්ලෙන කරාබු, විශාල සාරි කටු ගහගෙන ගියොත්නම් අර මුලින් කරපු එකකින්වත් වැඩක් නෑ.
සාරියට පළඳින ආයිත්තම් වලට වඩා වෙනස් දේවල් ඔසරියට පළඳින්න පුළුවන්. කැපී පේන සාරි කටු එහෙම සාරියට වඩා ඔසරියට ලස්සනයි. හවඩිය බඳින්නෙත් ඔසරියට.
7. කොණ්ඩ මෝස්තරය
අන්තිම කාරණේ තමයි කොණ්ඩ මෝස්තරය. ඔසරියට කොණ්ඩ ගෙඩියක් බැන්දට සාරියටනම් ඒ විලාසිතාව ගැලපෙන්නේ නෑ. ඒ වගේම තමා ස්ට්‍රේට් කරලා කඩාදාපු කොණ්ඩයක් ඔසරියකට ගැලපෙන්නෙත් නෑ. තමන්ගෙ මූණේ හැඩයත් සලකල බලල ගැලපෙන විලාසිතාවකට කොණ්ඩේ හදාගන්න එකත් සාරියක හැඩය ඉස්මතුවෙන්න බොහොම වැදගත්.
Leave a Reply