කොරෝනාව ජය ගත් පුද්ගලයෝ

කොරෝනා රෝගය හින්දා මියගිය ප්‍රසිද්ධ පුද්ගලයෝ ගැන ඕන තරම් කතා වෙන පසුබිමක අපි හිතුවා, ඇයි කොරෝනා රෝගය පරාජය කරලා ජය ගත් මිනිස්සු ගැන කතා නොකරන්නේ කියලා. මේ නිසා අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ කොරෝනා රෝගය වැළඳීමෙන් අනතුරුව නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය ජය ගන්න සමත් වෙච්ච පිරිස පිළිබඳවයි.

 

1. පවිත්‍රා වන්නිආරච්චි 

කොයිතරම් අඩුපාඩුකම් තිබ්බත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොරෝනා වසංගතය ට සාර්ථකව මුහුණ දුන්නා කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒ සඳහා සුවිශාල වැඩ කොටසක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉෂ්ට කළා. ඇයටත් කොරෝනා රෝගය වැළඳුණු අතර සුවය ලැබූ ඇය පසුව මාධ්‍ය සාකච්ඡා වලට සම්බන්ධ වෙමින් එම රෝගය වැළඳී තිබූ කාලයේ තමන්ට සිතුණු දෑ පිළිබඳව සංවේදීව අදහස් පළ කළා.

 

2. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර 

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු සභාපතිවරයා වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සාමාන්‍ය ජනතාව අතරත් ජනප්‍රිය වෛද්‍යවරයෙක්. ඔහු පසුගියදා ප්‍රකාශ කළේ තමන් විසින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබුණත් තමන්ට කොරෝනා රෝගය වැළඳුණු බවයි. ඒ මගින් ඔහු අවධාරණය කළේ එන්නත ලබා ගත්තා යැයි කියා ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීම අත්හැරීම කිසි ලෙසකින්වත් නොකළ යුතු බවයි.

 

3. චතුරිකා පීරිස් 

ජනප්‍රිය නිළියක වන චතුරිකා පීරිස් හට කොරෝනා රෝගය වැළඳී තිබෙන බව සමාජ මාධ්‍ය හරහා ඇගේ සැමියා වන ගයාන් පෙරේරා සහ ඇය විසින් හෙළිකර තිබුණා. පසුව රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ ඇය සුවය ලැබීමෙන් පසුව කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව අදහස් දක්වා තිබුණා. කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව චෝදනා කරනු ලැබුවේ කලා ක්ෂේත්‍රයේ විශාල පිරිසකට කොරෝනා වැළඳී තිබෙන නමුත්  ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ජනමාධ්‍ය හරහා හෙළි නොවන බවයි.

 

4. සජිත් ප්‍රේමදාස 

ලංකාවේ ජනතාවට නිසි පරිදි එන්නත ලබා ගැනීම සඳහා ක්‍රියාවලියක් සකස් කරන තුරු තමන් එන්නත ගැනීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මැතිනියටත් කොරෝනා රෝගය වැළඳුණා. ඒ අවස්ථාවේදී  සජිත් ප්‍රේමදාස මහතා සමග පාර්ලිමේන්තුවේ ආසන්නයේ සිටි පිරිසට පවා ස්වයං නිරෝධායනය යෙදීමට සිදු වුණා. කෙසේ නමුත් රෝගය සුව වීමෙන් පසුව ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ඔවුන් දෙදෙනා ආගමික  වතාවත්වල යෙදී තිබුණා .

 

5. කුමුදුනී ඩේවිඩ්

ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවක වන කුමුදුනී ඩේවිඩ් තමන්ට කොරෝනා රෝගය වැළඳුණු මොහොතේ පටන් ඒ පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා ගත් අතර තමන්ව රැගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයේ තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කොට, ඊට අවශ්‍යව තිබූ බොහෝ ද්‍රව්‍ය ලබා දීමට සමත් වුණා. ඇගේ මේ ක්‍රියාව බොහෝදෙනෙකුගේ අගය කිරීමට ලක් වුණා. කෙසේ නමුත් අන් බොහෝ දෙනෙක් මෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ විවේචනයට ලක් නොකළ ඇය, කෙතරම් අඩුපාඩු තිබුණත් රජය තමන්ට හැකි උපරිම අයුරින් කොරෝනා මර්දන සටන ගෙන යන බවත්, ඒ සඳහා සාමාන්‍ය ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් අවධාරණය කරනු ලැබුවා.

 

6. භාතිය ජයකොඩි 

තමන් හට කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල හරහා ජනතාව මෙන්ම සිය සමීපතමයන්වත් දැනුවත් කළ භාතිය ජයකොඩි, ඉන් අනතුරුව ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී තිබුණා. මෙසේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවසේ සිටම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම මෙන්ම ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කමද අවධාරණය කරනු ලැබුවා.

 

7. නලීන් බණ්ඩාර 

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන නලීන් බණ්ඩාරට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය වැළඳී තිබූ අතර ඔහු එම කාලය තුළදී වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් නිරෝධායනයේ යෙදී තිබුණා. ඉන්පසුව කොරෝනා රෝගය ජය ගත් ඔහු යළිත් වරක් සුපුරුදු පරිදි තම දේශපාලන කටයුතු ආරම්භ කළා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *