ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා 2022 ලංකාවට අසුබ ඇයි?

සංවර්ධනය වෙමින් පවතින රටක් කියා හැඳින්වූවත් මෙතෙක් කල් අපිට තිබුණේ සංවර්ධනය නොවීමේ ගැටළු ටිකක් විතරයි. ඒත් ඉදිරියට සංවර්ධනය කෙසේ වෙතත් ආර්ථික අතින් දුර්වල, බංකොළොත් රටක් බවට පත්වෙන ලකුණු ශ්‍රී ලංකාව දැනටම පෙන්නුම් කරගෙන යනවා. එසේ වීම අපි සැමට දුක් සහිත වුවත් ඒවා වෙනස්කරගන්න නම් පුද්ගල වශයෙන් අපිට බැහැ. අපි 2022 වසරේදී මේ තත්ත්වය කෙසේ බලපෑම් කරාවිද කියා විමසා බලමු. 

 

1. අධික එළවළු මිල 

දැනටම එළවළු කියන්නේ මිල අධික දෙයක්. කෘෂි රසායන තහනම හමාර වුණත් තවමත් ඩොලර් අර්බුදය නිසා හරිහැටි රටට කෘෂි රසායනික එන්නේ නැහැ. ආවත් එයට කල් යනවා. ඉතින් මේ තත්ත්වය 2022 දිත් තදට බලපානවා. එළවළු විතරක් නෙමෙයි, ලංකාවේ වැවෙන ධාන්‍ය වර්ග, හාල් පවා ලොකු අවදානමකට ලක් වන විදිහක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපිට මේකට කරන්න තියෙන විසඳුමකුත් නැතිම තරම්. කුඩාවට ගෙදර ගෙවතු වගාවක් පටන් ගන්න පුළුවන් වුණත් ගෙවත්තකට ඉඩ නැති බොහොමයක් පිරිස ලංකාවේ ඉන්නවා. 

 

2. දැඩි උද්ධමන තත්ත්වය 

භාණ්ඩ මිල ඉහළ යෑම තමයි උද්ධමන තත්ත්වයකදි වැඩිපුරම ජනතාවට මුහුණ දෙන්න වෙන්නේ. කොවිඩ් වසංගතය එක්ක ඇමරිකාව, එංගලන්තය විතරක් නෙමෙයි, චීනය පවා යම් පසුබෑමකට ලක් වුණා. ජනතාවට සහන ලැබුණත් පෙර තරම් නිෂ්පාදන ක්ෂේත්‍ර දියුණු වුණේ නැහැ. ඒ එක්ක බඩු මිල ගෝලීය වශයෙන් ඉහළ ගියා. අපිට අද එක් පසෙකින් ඩොලර් නැතිකම, විදෙස් සංචිත හිඟවීම වගේම අනෙක් අතින් මේ ගෝලීය ආර්ථික අවපාතත් සෘජුවම බලපානවා 2022 දිත්. 

 

3. ඉලෙක්ට්‍රොනික්ස් වලට කොහොමද? 

රටේ විදෙස් සංචිත වල අඩුවීමත් එක්ක ඉලෙක්ට්‍රොනික්ස් බඩු ආදියත් රටට එන එක අඩු වෙනවා. අනෙක් පසින් ලැප්ටොප් වල චිප් ආදිය ගෝලීය වශයෙන්ම හිඟ වෙලා තියෙනවා. මයික්‍රො චිප භාවිතය වැඩි වුණාට නිෂ්පාදනය වැඩි වුණේ නැහැ. ඒ නිසා සංවේදී ඉලෙක්ට්‍රොනික උපකරණ, කාර් රථ පවා නිෂ්පාදනය අඩාල වෙලා තියෙනවා. ඉතින් ලැප්ටොප් මිල, ‍ෆෝන් මිල ඉහළයාම සහ තොග අඩුවීම නිසා ඊළඟ ‍ෆෝන් එකට ලැප්ටොප් එකට යන එකත් මහමෙරක් වෙයි ඊළඟ අවුරුද්දේ. 

 

4. රථ දුර්ලභ වීම 

මේ වෙද්දි හයර් එකට කාර් එකක්, වෑන් එකක් හොයාගන්න එකත් හරි අමාරු වෙලා. ඌබර් එකට පික් මී එකට ඩිලිවරි වලට මෝටර් සයිකල් අඩුයි. ටැක්සි සේවාවන්ටත් එහෙමයි. ඉස්සර වගේ රියදුරන් සහ වාහන නැති නිසා දැන් ඒ ඔන්ලයින් ඇප් ටැක්සි සේවාවන් වල සේවාව පහත වැටිලා තියෙනවා. ඒවගේම ආනයන තහනම නිසා අලුත් වාහන එන්නේ නැති නිසා තියන වාහන මිලත් අහස උසට නගිනවා. වාහන එච්චර ගණන්ද කියලා අපිට දැන් අහන්න පුළුවන්. ඔවු ගණන් කියන උත්තරේ ලබන අවුරුද්ද පුරාවටත් අපිට දෙන්න පුළුවන් විදිහක් තමයි දැනට පේන්නේ. 

 

5. රෝග බිය 

කොවිඩ් එප්සිලෝන් සහ ඇල්ෆා බීටා වේරියන්ට් එතරම්ම තදට ලංකාවට බලපෑවෙ නැහැ. මෑතකදි ආපු ප්‍රභේදය දැනට පැතිරෙමින් යනවා. දැන් කොවිඩ් පැතිරෙනකොටම වගේ ලොක් ඩවුන් එන්නේ නැහැ. ආර්ථිකයේ තියෙන පසුබෑම මත ලොක්ඩවුන් සාර්ථකත් නැහැ. ඉතින් නැවත 2022 නව කොවිඩ් වසංගතයක් ආවොත් එයට මුහුණ දෙන එක වඩාත් අපහසු දෙයක් වේවි. 

 

 

6. බඩු හිඟ වීමේ බිය 

බඩු කියද්දි අපි ගෙදර පාවිච්චි කරන බඩු විතරක් නෙමෙයි, රටින් එන බේත් හේත්, පිරිසිදුකාරක, ඇඳුම් පැළඳුම් ආදී ලොකු පරාසයක දේවල මිල දැනටම ඉහළ ගිහින්. මේ වසරේදි මිල ඉහළ ගිහින් හෝ යම් තරමක බඩු තියෙනවා. ඒත් තවත් තත්ත්වය නරක් වුණොත් බඩු හිඟ වෙලා ඇතැම් බඩු බාහිරාදිය දකින්නට නැතිම තත්ත්වයක් උදා වෙන්නත් ඉඩකඩ තියෙනවා. කිරිපිටි සඳහා දැනටම එහෙම වියහැකි බවට අනතුරු ඇඟවෙනවා. 

 

7. වර්ජන රැල්ල 

පවතින ආර්ථික අහේනිය එක්ක ජීවන වියදම වැඩි වෙනවා. ඒ වැඩිවෙන ජීවන වියදමට හරියන්න වැටුප් වැඩිකරගන්න පෙර පරිදිම අපේ වෘත්තීය සමිති ක්‍රියාකරනවා. ඔවුන් රටේ තත්ත්වය, ලෝකයේ තත්ත්වය, ආර්ථික තත්ත්වය ගැන අනවබෝධයෙන් කරන වර්ජන, උද්ඝෝෂණ වලට ලැබෙන දේශපාලන සහාය නිසා ඒවා ලේසියෙන් නවතින්නෙත් නැහැ. මෙතෙක් කල් දිගින් දිගටම විරෝධතා වර්ජන හරහා පඩි නඩි වැඩිවීම්, දීමනා ලැබීම් සිදුවුණා. ඒත් 2022 දී තියෙන අර්බුද ගොඩ එක්ක වර්ජන සාර්ථක වෙයිද? ආණ්ඩුව දිග මර්දනයකට යයිද කියන ගැටළුවත් තියෙනවා. 

 

රටේ ජනතාව වැඩි වැඩියෙන් රට ගිහින් විදෙස් විනිමය ගෙනාවොත්, සංචාරකයෝ තොග ගණනින් ඇවිත් ටුවරිසම් දියුණු වුණොත් සහ අනෙක් සාධක කිහිපයක් හෝ අපිට වාසි වුණොත් ආර්ථිකයේ යම් ගොඩ යෑමක් තියෙනවා. ඒත් ඉතින් ආර්ථිකය පැත්ත ගැන දන්න විද්වතුන් නම් මේ 2022 ගැන එතරම් හොඳ අදහසක නෙමෙයි ඉන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *