පොත් කියවන්නෝ කිව්වම හුඟක් වෙලාවට පරිවර්තන සහ නවකතා තමා කියවන්නෙ. මේ අතර කෙටි කතා රසිකයන් නැතුවාම නෙවෙයි. ඉතින් කෙටි කතා කියවන්න කැමති අය වෙනුවෙන්ම අද අපි හිතුවේ මෑත කාලයේ ආපු විශිෂ්ටතම කෙටිකතා පොත් හතක් ගැන කතා කරන්න. අලුත්ම කෙටි කතා එකතු වගේම මීට ටික කාලෙකට කලින් ප්‍රකාශයට පත් වුණ ඔයාලා කියවිය යුතුමයි කියලා අපි හිතුව පොත් කීපෙකුත් තියෙනව.
1. සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
මේක සුමුදු නිරාගී සෙනවිරත්න කියන කතුවරියගේ කෘතියක්. ඇගේ දෙවනි කෙටිකතා සංග්‍රහය. මීට පෙර ඇය ලියපු දූල්වල අලංකාරේ කෘතිය ගොඩක් පාඨක පිරිසක් වැළඳගත්තා. ඒ වගේමයි ඇයගේ මේ සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සම්මාන වලටත් පාත්‍ර වුණා. ඉතින් කියෙව්වට පාඩු ඇති අතිවිශිෂ්ට කෙටිකතා සංග්‍රහයක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
2. කියවා පිළිස්සිය යුතු කතාවක්
මේක නම් ආධුනික කතුවරයෙක් ගේ කෘතියක්. මේක රචනා කරන්නේ සුමුදු අතුකෝරල කියන කතුවරයා. මේක කෙටිකතා හතකින් සැදුම් ලත් කෙටිකතා සංග්‍රහයක්. ආධුනික රචකයෙක්ගේ වුණත් මේකෙ කෙටිකතා හතම ගොඩක් ඉහළ මට්ටමේ තියෙනවා. එක හුස්මටම කියවන්න පුළුවන් විදියේ පොතක්.
3. ශුද්ධ වූ ජුදාස්
මේක රචනා කරන්නේ මංජුල වෙඩිවර්ධන. ඔහු අතිශය ජනප්‍රිය වුණු කවියෙක්, කෙටිකතාකරුවෙක් සහ නවකතා රචකයෙක්. ඒ විතරක් නෙමෙයි, ජනප්‍රිය තිරපිටපත් රචකයෙක්. ඉතින් මේක ඔහු ලියපු කෙටිකතා සංග්‍රහයන් වලින් එකක්. ඔහුගේ පොත් වල තියෙන සුපුරුදු භාෂාව මේ කෘතිය තුළත් අන්තර්ගත වෙනවා. කෙටි කතා 6කින් සමන්විත මේ පොත අහස ප්‍රකාශනයක්.
4. ආලන්දර
අපේ රටේ අතිශය ජනප්‍රිය කතුවරියක් වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය තමයි මේක රචනා කරන්නේ. ඇගේ කෘතීන් එකක් හෝ නොකියවූ ලංකාවේ පාඨකයෙක් නම් නැති තරම්. ඇගේ නවකතා වගේම මේ කෙටිකතා සංග්‍රහයත් එක හුස්මට කියවන්න පුළුවන් හරිම රසවත් කෘතියක්. නමේ හැටියටම මේකෙ කෙටි කතා හැම එකකින්ම වගේ කියවෙන්නෙ ආල අන්දර ගැන.
5. දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා
කුරුලු හදවත, අහම්බකාරක, අටවක පුත්තු වගේ ස්වර්ණ පුස්තක හා රාජ්‍ය සම්මාන දිනපු ලේඛකයෙක් වන ලියනගේ අමරකීර්ති මහත්මයාගේ මැතකදි පිටවුණු කෙටිකතා සංග්‍රහය තමයි මේ. මේකත් ඔහුගේ නවකතා වගේම ඉහළ මට්ටමේ තියෙන නිර්මාණයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේමයි ගොඩක් ජනප්‍රිය වුණු කෙටි කතා සංග්‍රහයක්.
6. ගිහින් එන්න කානිවල්
මේක රචනා කරන්නෙත් වර්තමානයේ අතිශය ජනප්‍රිය වුණු, අපි කලින් කතාකරපු සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් කෙටිකතා සංග්‍රහය රචනා කරපු සුමුදු නිරාගී සෙනවිරත්න විසින්මයි. ඉතින් ඇගේ මේ කෙටිකතා සංග්‍රහයත් අතිශය ජනප්‍රිය වුණා වගේම රජත පුස්තක සම්මානයටත් පාත්‍ර වුණා. මේකේ තියෙන අග්නි ප්‍රේත වස්තුව ගොඩක් විශිෂ්ට ගනයේ කෙටිකතාවක් කියල කියන්න පුළුවන්. විශේෂයෙන්ම එහි භාෂාව හා සංකේත භාවිතය විශිෂ්ටයි.
7. මැරීන් ඩ්‍රයිව්
මේක රචනා කරන්නේ වර්තමානයේ අතිශය ජනප්‍රිය කතුවරයෙක් වුණු අනුරසිරි හෙට්ටිගේ. තරු දූවිලි, බැඳමාරිය, පණ්ඩක පුත්‍ර වස්තුව වගේ ගොඩක් පොත් ඔහු රචනා කළා. ඔහුගේ මේ කෙටිකතා සංග්‍රහයත් විශේෂයි. ඒ වගේමයි මේක මේ කතුවරයාගේ හතරවෙනි කෙටිකතා සංග්‍රහය. මේ කතුවරයාගේ මීට කලින් ප්‍රකාශයට පත්වුණ දිමියා සහ සිංහබාහු එනකන් යන කෙටි කතා සංග්‍රහ සම්මානයන්ට පවා පාත්‍ර වුණා.
ඉතින් ඔයාලා මේ කෙටිකතා වලින් නොකියපු ඒව වගේම කියවපු ඒවත් ඇති. මීට අමතරව ඔයා මෑත කාලයේ කියවපු හොඳ කෙටිකතා පොත් ගැනත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න අමතක කරන්න එපා.
Leave a Reply