ඉංග්‍රීසින්ට යටත් වීමෙන් පස්සේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය ජනප්‍රිය වීම දක්වා අපේ රටේ අධ්‍යාපනයේ මූලස්ථානය වුණේ පන්සල. පන්සලේදී ගිහියන්ට වගේම පැවිදි හිමිවරුන්ටත් එකසේ අධ්‍යාපනය ලබාදීම සිදු වුණා. අපි අද කතා කරන්න යන්නේ ඒ යුගයේදී භාවිතා කරපු පතපොත කීපයක් පිළිබඳව. අද දක්වාම ඇතැම් පන්සල්වල සහ පිරිවෙන්වල වෙනසක් නැතුව මේ පතපොත භාවිතා වෙනවා.
1. හෝඩි පොත
අද වගේ මුද්‍රණ ශිල්පය සුලභ නොවුණු යුගයක හෝඩි පොත නමින් හැඳින්වුණු පුස්කොළ පොතක් පන්සලේ තිබ්බා. මේ හෝඩිපොතට එදිනෙදා භාවිතා වන අක්ෂරමාලාව ඇතුළත් වෙලා තිබ්බා. හැබැයි මේ පිළිබඳව පර්යේෂණ කරපු විද්වතුන් කියන විදිහට මේ හෝඩි පොත සහ අද භාවිතා වන හෝඩි පොතේ ඇති අක්ෂර මාලාවේ යම් යම් වෙනස්කම් තිබිලා තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ මේ හෝඩි පොත ආශ්‍රයෙන් වැලිපිල්ලේ දරුවන්ට අකුරු ලියන්න, කියවන්න උගන්වලා තියෙනවා.
2. නම් පොත
හෝඩි පොතෙන් අකුරු ඉගෙන ගත්ත දරුවන්ට ලිහිල් අක්ෂර යෙදුණු වචන උච්චාරණය කරන විදිය කියලා දෙන්න තමයි නම් පොත භාවිතා වුණේ. නම් පොතට ඇතුළත් වුණේ ලංකාව පුරා විහිදී ගිය බෞද්ධ සිද්ධස්ථානවල නාමාවලියක්. මේ පොතේ අවසාන පාඨයෙන් කියවෙන විදිහට මෙම සිද්ධස්ථානවල අධිගෘහිත දෙවියන්ට යැවෙන සංදේශයක් විදිහට තමයි මේ පොත ලියවිලා තියෙන්නේ.
3. මඟුල් ලකුණ
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ පිහිටා තිබෙන මංගල ලක්ෂණ දෙසීය දහසය මේ මඟුල් ලකුණ කෘතියට ඇතුළත් වෙනවා. සංස්කෘතියට බර වුණු විලාශයකින් ලියවිලා තියෙන මේ කෘතිය ශබ්ද නගා උච්ඡාරණය කිරීම මගින් ශිෂ්‍යයන්ට අල්පප්‍රාණ සහ මහප්‍රාණ අකුරු උච්චාරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා
4. ගණ දෙවි හෑල්ල
සාමාන්‍යයෙන් මේ කෘතියට ගණ දෙවි හෑල්ල සහ ගණපති යාදින්න කියන කොටස් දෙකම ඇතුළත් වෙනවා. මුල් කවි තිස් අට ගණපති යාදින්න ලෙසත් අවසාන කවි එකොළහ ගණ දෙවි හෑල්ල ලෙසත් හඳුන්වා තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳව තවමත් අපේ රටේ සාහිත්‍යවේදීන් අතර එකඟතාවයක් නැහැ. ඇතැම් මුඛ පරම්පරාගත කතා වලට අනුව මේ කෘතිය රචනා කරල තියෙන්නෙ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා. හින්දු දේව සමයට අනුව නුවණට අධිපති ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීම මේ කෘතියේ මුඛ්‍ය අරමුණ වෙනවා
5. වදන් කවි පොත
මේ පොතත් රචනා කරල තියෙන්නෙ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. ඒ වගේම මේ කෘතියේ අවසානයට සඳහන් වන කවියකට අනුව වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේ මේ කෘතිය ලියවුණා කියලා හිතන්න පුළුවන්. මේ කෘතිය පරිශීලනය කිරීම මගින් ශිෂ්‍යයෙකුට හෝඩිපොතෙන් එහාට ගිහිල්ලා සිංහල මිශ්‍ර හෝඩියේ අක්ෂර භාවිතාවෙන් ගොඩනැගෙන වචන පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.
6. බුද්ධ ගද්‍යය
බුද්ධ ගජ්ජය විදිහට සාමාන්‍ය භාවිතයේදී සඳහන් වුණාට මේ කෘතියේ මුල් නම බුද්ධ ගද්‍යය විදිහට නිවැරදි විය යුතුයි කියලා මේ කෘතිය සංස්කරණය කරපු විද්වතුන් විසින් සඳහන් කරලා තියෙනවා. සංස්කෘත වචන බහුල වශයෙන් යෙදිලා තියෙන මේ කෘතියේ අඩංගු කවි හතළිහ තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණසම්පත්තිය, බුද්ධි සම්පත්තිය සහ රූප සම්පත්තිය වර්ණනා කරලා තියෙනවා. එක්තරා විදිහක භක්ති කාව්‍යයක් විදිහට බුද්ධ ගද්‍ය කෘතිය හඳුන්වන්න පුළුවන්.
7. සකස්කඩ
සාමාන්‍යයෙන් අපේ රටේ කතාවක් තියෙනවා “සකස් කඩ නොකියූ කට උගේ කට හුඹස් කට” කියලා.මේ නිසා සකස්කඩ විදිහට සාමාන්‍ය භාවිතයේදී සඳහන් වුණාට මේ කෘතිය නිවැරදි නම සකස් කට විය යුතුයි කියලත් මතයක් තියෙනවා. ඇතැම් තැන්වල මේ කෘතිය මහබිනික්මන සකස් කඩ විදිහට සඳහන් වෙන්නේ මේ කෘතිය තුළ මහ බෝසතාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය විස්තර කෙරෙන නිසා. සංස්කෘත ශ්ලෝකයකින් ආරම්භ වන මෙහි අවසානය දක්වාම හමුවෙන්නෙ එකම එක දීර්ඝ වාක්‍යයක්.
පැරණි අධ්‍යාපනයේ මූලිකව භාවිතා වන පතපොත ගැන තමයි අපි අද ඔබ වෙත ගෙනාවේ. මේ කෘති කියවීමෙන් අනතුරුව ශිෂ්‍යයන් විසින් පරිශීලනය කළ යුතු අනෙකුත් පැරණි අධ්‍යාපනය ග්‍රන්ථ පිළිබඳව ඉදිරි ලිපි මඟින් ඔබට කියන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply