විල්පත්තු මායිමට ජීවය දෙන සිසුන් සහ විරුවන්

විල්පත්තු වනය කියන්නේ ලංකාවට තියෙන සම්පතක්. විල්පත්තුව ගැන පළ වුණු ප්‍රවෘත්ති පහුගිය කාලේ සමාජ ජාලා හරහා ලොකු ආන්දෝලන ඇති කළා. ඒ අතර විල්පත්තු මායිමේ වනාන්තර එළි කරලා කරපු ජනාවාස ව්‍යෘපෘති ගැන ලොකු උනන්දුවක් තිබුනා. මේ විනාශ වෙලා තියෙන්නේ විල්පත්තුවම නෙමෙයි, මායිම් වනාන්තර. ඒ වන විනාශය ගැනත් ඒ තත්ත්වයට විසඳුම් විදිහට කළ පැළ සිටුවීමක් ගැනත් අපි විස්තර ටිකක් දැනගනිමු. 

 

1. කොහේද මේ විනාස වෙලා තියෙන්නේ? 

විල්පත්තු කියන මහ වනයට අයිති වෙච්චි කොටස් වල මේ පදිංචි කිරීම් සිදු වෙලා නැහැ. විල්පත්තු මායිමේ තියෙන කල්ලාරු මරිච්චිකට්ටි ආදී වනාන්තර බිම් වල මාර්ගය දෙපස කොටස් තමයි එළි වෙලා, නිවාස ව්‍යාපෘති ඇති වෙලා තියෙන්නේ. මේ ඇතිවුන වනාන්තර, පොතේ හැටියට වනාන්තර නොවුනත් කාලයක් තිස්සේ විල්පත්තුවට මායිම් වෙලා, මහ වනයට  ආරක්ෂාව සපයනවා. මිනිස්සු විදිහට මේ රක්ෂිත වනාන්තරය, මේ රක්ෂිත නොවන වනාන්තරය කියලා අපි වෙන්කරගෙන ඉන්නවා. ඒත් සතා සීපාවට, කුරුල්ලන්ට, ඒ වනාන්තරය ජීවය කරගත් ජීවින්ට එහෙම වෙනසක් නැහැ. ඔවුන්ට වනය කියන්නේ වනයම තමයි.

 

2. කවුද, කොහෙන්ද මේ පදිංචි කරලා තියෙන්නේ? 

කවුරුත් දන්න විදිහට මේ අලුතින් පදිංචි කරලා තියෙන අය වැඩිපුර මුස්ලිම් ජනතාව. ඒත් සිංහල ගම්මානයකුත් මේ එක්ක තියෙනවා. එක් රජයකට ඇඟිල්ල දික්කරන්න අමාරු මේ පදිංචි කිරීම් කාලාන්තරයක් තිස්සේ කරගෙන ආපු ඒවා. විදෙස් ආධාර වලින් හදාල තියෙන ඇතැම් නිවාස පද්ධති වල හැම ගෙයක්ම එකම වගේ. ඒ නිවාස ඇතැමකට ජලය සහ විදුලිය දීලා තියෙනවා. 1983 ත්‍රස්තවාදී කලබල ඇතිවෙන්නට කලින් ගම්මාන කීහිපයක් මේ විල්පත්තු මායිමේ මග දෙපස තිබිලා තියෙනවා. ඒත් අලුතින් පදිංචි කරලා තියෙන්නේ ඒ උදවිය පමණක් නෙමෙයි, පුත්තලම දිස්ත්‍රික්කයේ අයත් මේ අලුතින් පදිංචි කරපු බිම් වල පදිංචි කරලා තියෙනවා. 

 

3. ඒ ජනාවාස වල තත්ත්වය 

මේ පළාතේ පැළ සිටුවීමේ කටයුතු වලට අලුත් මුහුණුවරක් දුන් හමුදාවේ 54වැනි සේනාංකයෙන් මේ නිවාස ගැන නිල නොවන මට්ටමින් සංගණනයක් කරලා තියෙනවා.ඒ අනුව මේ නිවාස වලින් 500කට වැඩි ප්‍රමාණයක මිනිස්සු නැති බව සොයාගෙන තියෙනවා. ඒ ගෙවල්වලට අයිතිකාරයෝ ලිපි ලේඛන වල ඇති. ඒත් ඇත්තටම ඒ නිවාස වල කවුරුවත් පදිංචි වෙලා නැහැ. මේ සිලාවතුරෙයි සිට විල්පත්තු යන මාර්ගය අයිති මන්නාරම් දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ තියෙන කටුකම පළාතක්. වැස්ස අඩුයි. වගා කටයුතු කරන්නත් අමාරුයි. ඒ එක්ක අලුතින් පදිංචි කරපු ජනයාට ආදායම් මාර්ග වගේම ජලය සපයාගැනීම සහ යටිතල පහසුකම් ප්‍රශ්නත් තියෙනවා. 

 

4. හමුදාවෙන් පැළ සිටුවීම පටන් ගැනීම 

මේ විල්පත්තු වනාන්තරයට මායිම් බිම් එළි පෙහෙලි වෙලා කියලා ප්‍රවෘත්ති පළ වීමත් එක්ක විවිධ පාර්ශව තරඟයට වගේ පැළ සිටුවන්න උත්සාහ කළා. ඒ සමහර පැළ සිටුවීම් නිසි සැලැස්මක් නඩත්තුවක් නැති නිසා ඒ තරම් සාර්ථක වෙලා නැහැ. සිලාවතුරෙයි සිට විල්පත්තු කරා යන ගමනේදි ඒ විදිහට කොටු කරලා සිටවලා තියෙන පැළ මැරිලා තියෙනවාත් තැනින් තැන දකින්නට තියෙනවා. දැන් පැළ සිටුවීමට දායක වෙලා තියෙන යුද හමුදාවේ 54 වැනි සේනාංකය පැළ සිටුවීම වගේම පැළ රැකබලා ගැනීමටත් ලොකු කැපකිරීමක් කරනවා. ඒ එක්ක දැන් හිටවන පැළ රැකබලාගන්න පුළුවන් වුනොත් විල්පත්තු මහ වනය වගේම අලුතින් වන පද්ධතියක් මේ අලුත් බිම් වල ඇතිකරන්නට හැකියාව ලැබේවි. 

 

5. කොහේද හිටවන්නේ? කොච්චර හිටවනවද? 

මේ ජනාවාස පිණිස එළි කල බිම් හැම එකේම දැනට ජනාවාස ඇති කරලා නැහැ. එහෙම එළි කරලා තවමත් නිවාස ඉදි නොවුන බිම් කඩවල් අක්කර දාහකට ආසන්න ප්‍රමාණයක් මග දෙපස තිබෙනවා. ඒ පළාත් වල තමයි අලුතින් පැළ සිටුවීම හමුදාව විසින් කරගෙන යන්නේ. ඔවුන්ට අනුව දැනට පැළ 20,000ක් පමණ සාර්ථකව රෝපණය කරලා තියෙනවා. මේ වසරේ එම අගය පැල ලක්ෂයක් දක්වා වැඩිකරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ පැළ සිටුවීම පහසු නැහැ. පැළ සිටුවීමට වලවල් කැපීමට යන්ත්‍රයක් ජනතාව විසින් පරිත්‍යාග කරලා තියෙනවා. ඒත් තිබෙන බිම එළිපෙහෙළි කරලා තමයි පැළ සිටුවන්නට තියෙන්නේ. ඒ වගේම පැළ සිටෙව්වාට පස්සේ ඒ පැළ හරක් සහ අලින්ගෙන් ආරක්ෂා කරන්න වැටවල් ගහන්නත් හමුදාව කටයුතු කරනවා. පැළ වලට වැස්ස නැති කාලෙට ජල සැපයීමත් හමුදාවෙන් සාර්ථකව කරනවා. 

 

6. පැළ නඩත්තුව 

පැළ සිටුවීමට වඩා මේ මන්නාරම් මායිමේ පොළවේ පැළ ඇතිදැඩි කිරීම අපහසුයි. වසරේ වැඩි කාලයක් නියං තත්ත්වයෙන් තියෙන මේ බිමේ ජලය වැටුනේ නැතිවුනොත් පැළ ඉක්මනින්ම මැලවිලා යනවා. වනසතුන් සහ හරක්ගෙන් මේ පැළ වලට වෙන්න තියෙන හානිය පාලනය කරගන්න එකත් වැදගත්. එහෙම ආරක්ෂාව සහ රැකවරණය නැතිව පැළ දහස් ගණනින් හිටෙව්වත් පැළ ආරක්ෂා වෙන්නේ නැහැ. විවිධ කණ්ඩායම් මැදිහත් වෙලා වතුර බට, ජල ටැංකි, බින්දු ජල සම්පාදන උපකරණ, මැටි කළගෙඩි ආදිය හමුදාවට සපයලා තියනෙවා. ඒවා හමුදා ශ්‍රමය තුළින් හසුරුවාගෙන පැළ වලට නියං සමයේදී ජලය සපයන්න හමුදාවේ විරුවන් ක්‍රියාකරනවා. 

 

7. රුහුණු ඉංජිනේරු සිසුන්ගේ ක්‍රියාදාමය 

පසුගිය ජනවාරි 18 වෙනිදා ගාල්ල හපුගල රුහුණු ඉන්ජිනේරු පීඨයේ සිසුන් පිරිසකුත් මේ පැළ සිටුවීමකට පාන්දරම ගාල්ලේ ඉඳලා ආවා. ඇවිත් හමුදාවෙ සහයෝගයෙන් පැළ සීයක් පමණ සිලාවතුරෙයි, හායත්කුලි ශ්‍රීනාත්නගර් ප්‍රදේශයේ හිටෙව්වා. මේ රුහුණු විශ්ව විද්‍යාලයීය ඉන්ජිනේරු සිසුන්ගේ ගවේශකයෝ කණ්ඩායම කලින්ම හමුදාවේ 54වැනි සේනාංකයේ 542 වැනි බල සේනාව සමග මේ පැළ සිටුවීම ගැන කතා කරගෙන තිබුනා. ඒ අනුව ඔවුන්ට පැළ සිටුවීමට වඩාත් සුදුසු භූමියක් සහ ඒකට අවශ්‍ය කරන පහසුකම් හමුදාව විසින්ම සපයලා තිබුනා. සිසුන් පැළ සිටුවීමෙන් අනතුරුව මේ පැළ දැනට හොඳින් නඩත්තු කරන භූමියකට ගිහින් හොඳට නඩත්තු කරලා තියෙන වන වගාව දැකබලාගත්තා. මේ පැළ නඩත්තු කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුවෙන ආකාරය හමුදාවෙන් සිසුන්ට විස්තර කළා. 

 

මේ කාර්යයට 54 වැනි වැනි බලසේනාවේ සේනාංකාධිපති සුභාෂන වැලිකල මහතා ආශීර්වාද කළා. සිසුන්ට මේ වැඩේ සම්බන්ධ කරගන්නට 54 වැනි සේනාංකයේ මහජන සම්බන්ධතා නිලධාරී ලුතිනන් කර්නල්  ඒ. ටී හාජි මහතා සහයෝගය ලබා දුන්නා. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන ආකාරය සිසුන්ට ප්‍රායෝගිකවම පැහැදිලි කරන්නට 542 වැනි බල සේනාවේ මේජර් ලෙව්කම්ගේ මහතා කටයුතු කළා. 

 

8. අඳුරට පහනක් දල්වමු 

 

වන විනාශය ගැන දර්ශන, කතිකාවත් පරීක්ෂණ සීයක් සිදුවුවත් දැන් ඒ වන විනාශය සිදු වෙලා හමාරයි. ඒ පදිංචි වෙලා ඉන්න ජනතාවත් ලොකු ජීවන සටනක ඉන්නේ. ඒ නිසා ඒ ජනතාව ගැනත් වෛරයකින් කටයුතු කිරීම තේරුමක් නැහැ. පරිසරයට ආදරය කරන වගකිව යුතු පුරවැසියන් විදිහට නැවත වනය ඇතිකරන්නට දායක වෙන එක බොහොම නැණවත් පියවරක්. ඒ කාර්යයේ දැනටත් නිරත වෙලා ඉන්න මේ හමුදාවේ පිරිස සමග එකතු වුනොත් ඒ තුලින් වඩාත් ක්‍රමවත් විදිහට පැළ සිටුවලා අලුතින් වනාන්තර ඇතිකරන්නට දායක වෙන්නට පුළුවන්. අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වමු කියලා පැරණි කියමනක් තියෙනවා. ඒ අනුව විනාශ වූ වනය ගැන නැවත නැවත දෙස් දෙවොල් තැබීමෙන් වැළකී, එක පැළයක් හෝ හොඳින් නඩත්තු කරන්නට දායක වෙන්න පුළුවන් නම් ඒක රට වෙනුවෙන් සහ පරිසරය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ පියවරක් වෙනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *