දැන් ඔය ස්මාට්ෆෝන් එකක් එහෙම මිලදී ගන්න ගියහම බලන එක එක කරුණු කාරණ තියෙනවනේ. මේකේ කැමරාව කොහොමද, මෙමරිය කොහොමද වගේ අහන අටෝරාසියක් ප්‍රශ්න අතරින් එකක් තමයි “මේකේ ගෝරිල්ලා ග්ලාස් එකද තියෙන්නේ” කියන එක. සමහරු නං දන්න චිම්පන්සි ග්ලාස් එකක් නෑ. ඒත් තව සමහරු දන්නවා ගෝරිල්ලා ග්ලාස් කියලා තියෙන සීන් එක ෆෝන් එකේ ස්ක්‍රීන් එක ආරක්ෂා කරනවා කියලා. ඉතින් අපි හිතුවා, ස්මාට්ෆෝන් වලට එන සුවිශේෂී තාක්ෂණික අංගයක් වෙන ගෝරිල්ලා ග්ලාස් ගැන පොඩ්ඩක් විස්තර කියන්න. එතකොට ස්මාට්ෆෝන් එකක් තෝරගන්න ගියහම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගෝරිල්ලා ග්ලාස්ද කියලා අහලා, ගෝරිල්ලා ග්ලාස් ගැන ෆෝන් කඩේ අයියටත් උගන්නලම එන්න පුළුවන්.
1. මොකද්ද මේ ගෝරිල්ලා ග්ලාස් කියන්නේ?
ගෝරිල්ලා ග්ලාස් කියන්නේ ඩිස්ප්ලේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ දැන් ඔය ස්මාට්ෆෝන් එකක් ගත්තහම, බිම වැටුණොත්, මොකක් හරි වැදුණොත් එහෙම ලේසියෙන්ම බිඳෙන්න හැකියාව තියෙන්නේ මොන කෑල්ලද? සාපේක්ෂව බැලුවහම ඩිස්ප්ලේ එක නේද? ආන්න ඒ ඩිස්ප්ලේ එකට ඒ නිසා අමතර ආරක්ෂාවක් ලබාදෙන එක තමයි ගෝරිල්ලා ග්ලාස් එකෙන් කරන්නේ. දැන් ඔය ඉහළ පරාසේ ස්මාට්ෆෝන් වල පිටිපස්සෙත් වීදුරු පැනල් එකක් දාලා එනවනේ. මෙව්වා නිකම් එක පාරක් බිම වැටුණු ගමන් බිඳෙන වීදුරු පැනල් නෙවෙයි. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එකේ බඳට සාපේක්ෂව මොකක් හරි වෙලා බිඳෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා ඔය පිටුපස්සේ වීදුරු පැනල් එකේ උඩටත් ගෝරිල්ලා ග්ලාස් ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එක ඉහළ පරාසයේ ෆෝන් වල ඇතුළත් කරනවා. ඒ වගේම ස්මාට්ෆෝන් වලට විතරක් නෙවෙයි, ටැබ්ලට් වලට, කම්පියුටර්ස් වලට වගේ වැටීමෙන්, ගැටීමෙන් ආරක්ෂාව ඕන පැනල් තියෙන ඕනම දේකට ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි වෙනවා.
2. ආරක්ෂාව නිසා විතරද?
ඇත්තටම වෙළෙඳපොළේ තියෙන එකම ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ගෝරිල්ලා ග්ලාස් එක නෙවෙයි. තවත් තිර ආරක්ෂණ තියෙනවා. හැබැයි ඉතින් දැනට තියෙන හොඳම තිර ආරක්ෂණ තාක්ෂණය කියලා සැලකෙන්නේ ගෝරිල්ලා ග්ලාස් එක. දරා ගැනීමේ ශක්තියෙන් අති විශිෂ්ටයි. ඒ විතරක් නෙවෙයි, ගෝරිල්ලා ග්ලාස් ආරක්ෂණ වීදුරුව අතිශයින්ම සැහැල්ලු, සිහින් නිමාවකින් යුක්තයි. ඒකත් විශේෂත්වයක්. ඊට අමතරව ඉස්සර තිබුණු සමහර තිර ආරක්ෂණ වීදුරු වල වගේ ස්පර්ෂ සංවේදීතාවයට අවුලක් වෙන්නෙත් නෑ කියලා තමයි පාවිච්චි කරන අය කියන්නේ. ඉතින් ඔය ඔක්කොම කාරණා එක්ක තමයි ගෝරිල්ලා ග්ලාස් එක දැනට තියෙන හොඳම තිර ආරක්ෂණ තාක්ෂණය කියලා සැලකෙන්නේ.
3. ගෝරිල්ලා ග්ලාස් අතීත කතාව
ඇත්තටම කියනවා නම්, ගෝරිල්ලා ග්ලාස් එකට කලින් Corning Inc.එකෙන් ගහපු වෙන ඩිස්ප්ලේ ප්‍රොටෙක්ෂන් තිබිලා තියෙනවා. හැබැයි කොම්පැණියේ ගොඩ ගියපු ප්‍රඩක්ට් එක තමයි ගෝරිල්ලා ග්ලාස් එක. විශේෂයෙන්ම 2005-2007 කාලේ අයිෆෝන් වලට ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි කරපු එකෙන් තමයි මේක නැගලා ගියේ. අයිෆෝන් කියන්නේ ස්මාට්ෆෝන් වල ජනප්‍රියත්වයේ පුරෝගාමියා වුණු එකේ, ස්මාට්ෆෝන් වල ඉහළම ස්ටෑන්ඩර්ඩ් එක අයිෆෝන් කියලා මතයක් මිනිස්සුන්ගේ හිත් වල ඇතිවුණු එකේ, අයිෆෝන් එකට ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි කරන එකෙන් ගෝරිල්ලා ග්ලාස් එකේ කොලිටිය ගැනත් මිනිස්සුන්ට ෂුවර් එකක් ඇතිවෙනවනේ, නැද්ද. කොහොම හරි කියන විදියට 2017 ඔක්තෝබර් වෙනකොට උපාංග බිලියන පහක් ගෝරිල්ලා ග්ලාස් පාවිච්චි කරනවාලු!
4. ගෝරිල්ලා ග්ලාස් පරම්පරා
ඔය ස්මාට්ෆෝන් වල පරම්පරා යන විදියටම ගෝරිල්ලා ග්ලාස් එකේත් ජෙනරේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ Corning Gorilla Glass 1, Corning Gorilla Glass 2, Corning Gorilla Glass 3 විදියට ඇවිත් දැන් යන්නේ අලුත්ම Corning Gorilla Glass 6 එක. මේ නවතම ගෝරිල්ලා ග්ලාස් 6 එක හදලා තියෙන්නේ වැඩිදියුණු කරපු තාක්ෂණයෙන් සහ අමුද්‍රව්‍ය වලින් කියලා තමයි කියන්නේ. ඒ වගේම Corning Gorilla Glass 5 එකට වඩා සෑහෙන්න ශක්තිමත් සහ දැඩි ආරක්ෂණ වීදුරුවක් තමයි 6 එකේ එන්නේ. විශේෂයෙන්ම මීටරේක විතර උසක ඉඳලා රළු මතුපිටකට පහළොස් පාරක් විතර වට්ටලා බැලුවත් මේක බිඳෙන්නේ නෑ. එච්චරටම මේක දැඩියි. හැබැයි මේකත් පරණ වෙයි තව අවුරුද්දක් වගේ යනකොට. මොකද ස්මාට්ෆෝන් නවීකරණය වෙනවා හා සමානවම, ස්මාට්ෆෝන් වල භාවිතා වෙන අමතර තාක්ෂණික කාරණාත් අප්ඩේට් වෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් තාක්ෂණයන් පවා මේ මොහොතේදීත් පරීක්ෂණයන්ට බඳුන් වෙමින්, තවත් නවීන සහ යාවත්කාලීන කරන්නේ කොහොමද කියලා හොයා බලමින් තමයි තියෙන්නේ.
5. ගෝරිල්ලා ග්ලාස් තාක්ෂණය
සාමාන්‍ය ස්මාට්ෆෝන් පරිශීලකයෙක්ට ගෝරිල්ලා ග්ලාස් එක හදන තාක්ෂණය වැදගත් වෙන්නේ නැහැ. ඒත් ඉතින් මූලික කරුණු ටික දැනගෙන ඉන්න එකේ වැරැද්දකුත් නෑ. මූලිකවම ගෝරිල්ලා ග්ලාස් එක හදන්නේ ඇල්කලායි-ඇලුමිනෝසිලිකේට් වීදුරු වලින්. හැබැයි බිම වැටුණත් බිඳෙන්නේ නැති විදියට මේ තරම් දැඩි බව හා ශක්තිමත් බව මේ වීදුරු පැනල් වලට ලබාදෙන්නේ රසායනික ක්‍රියාවලියක් මගින්. මේකට කියන්නේ පොටෑසියම්-ලුණු අයන හුවමාරු ක්‍රියාවලිය කියලා. වෙන විදියකට කියනවා නම්, අර ග්ලාස් ටැම්පර්ඩ් කරනවා කියන්නෙත් මේක තමයි. මෙතනදී සිද්ධ වෙන්නේ සෙල්සියස් අංශක 400 ක විතර උෂ්ණත්වයක තියෙන ද්‍රව ඇල්කලයින් පොටෑසියම් ලුණු වල මේවා ගිල්වනවා. එතකොට මේ වීදුරුවේ තියෙන සෝඩියම් අයන අයින් වෙලා, ඒ වෙනුවට වඩාත් විශාල පොටෑසියම් අයන ඒ තැන ගන්නවා. මේ ක්‍රියාවලියෙන් තමයි සවිශක්තියෙන් යුතු, කැඩීම් බිඳීම් ඇති නොවන විදියට මේ ආරක්ෂණ වීදුරු පැනලයන් ශක්තිමත් වෙන්නේ.
6. ගෝරිල්ලා ග්ලාස් කැඩෙන්නෙ නැද්ද?
මෙන්න මේක නම් ඇත්තටම මිත්‍යා විශ්වාසයක්. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ගෝරිල්ලා ග්ලාස් එකක් දැම්මා කියන්නේ ආයි ෆෝන් එකේ ස්ක්‍රීන් එක ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැහැයි කියලා. එහෙම වෙන්නෙ නෑ. ඕන තරම් ඔය ෆෝන් පරිස්සම් කරගන්න බැරි අය ඉන්නවා ගෝරිල්ලා ග්ලාස් එකත් ක්‍රැක් කරගන්න. අපි කලිනුත් කිව්වා වගේ ස්මාට්ෆෝන් එකක ඩිස්ප්ලේ එක සාමාන්‍ය පීඩනයක් යෙදුණත්, සාමාන්‍ය උසක ඉඳලා බිම වැටුණත් බිඳෙන්න පුළුවන්. ඒත් ගෝරිල්ලා ග්ලාස් එකෙන් එහෙම සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී ස්මාට්ෆෝන් එකේ වීදුරුව බිඳෙන්නේ නැති වෙන්න ආරක්ෂාව ලබාදෙනවා. හැබැයි ඉතින් ඔය ෆෝන් එකක් පාවිච්චි කරනකොට මෙලෝ පරිස්සමක් නැති, දවසට දෙතුන් පාර ෆෝන් එක වට්ටගන්න, බස් එකේ යනකොට ජනේලෙනුත් ෆෝන් එක එලියට වට්ටගන්න ජාතියේ හාදයන්ට නං ගෝරිල්ලා ග්ලාස් දැම්මා කියලා හැමදාම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පරිස්සම් කරගන්න බැරි වෙයි.
7. දැන් එතකොට ගෝරිල්ලා ග්ලාස් එකක් අපිටත් ඕනද?
සාමාන්‍යයෙන් ඉහළ පරාසයේ සහ මධ්‍යම පරාසයේ නවීන ස්මාට්ෆෝන් වල Gorilla Glass 6 එක එනවා. එහෙම නැතුව ටිකක් පරණ මොඩ්ල් එකක ෆෝන් එකක් ගන්නකොට ඒකේ Gorilla Glass 5 එක තිබුණත් ගැටළුවක් නෑ. තමන් ගන්න ෆෝන් එකේ අපි කියමු Gorilla Glass නැතුව වෙන ජාතියක ටැම්පර්ඩ් ග්ලාස් එකක් තියෙනවා කියලා. එතකොට ඒක ගලවලා ගෝරිල්ලා ග්ලාස් එක ගහන්න යන්න ඕන නෑ. හැබැයි එදිනෙදා පාවිච්චි වෙන මිලෙන් ටිකක් හෝ අධික ෆෝන් එකක් නම් ටැම්පර්ඩ් ග්ලාස් එකක් තියෙන්න ඕන කියලයි අපි නිර්දේශ කරන්නේ. ෆෝන් එකටම එන්නේ නැතිනම් වෙනම අරගෙන ගහගන්න පුළුවන්. මොකද, ස්ක්‍රීන් එක බිඳිලා ඒක රිප්ලේස් කරන්න යන ගාණ එක්ක බලනකොට, ගෝරිල්ලා ග්ලාස් එකක් ස්ක්‍රීන් එකේ ආරක්ෂාවට ගහන්න යන්නේ සුළු ගාණක්.
Leave a Reply