තවමත් නොදියුණු පැපුවා නිව් ගිනියාව ගැන තොරතුරු දැනගනිමු

පැපුවා නිව් ගිනියාව පිහිටා ඇත්තේ ඕස්​ට්‍රේලියාවට උඩිනි. ගිනියාව කියන මහා විසාල දූපතෙන් බාගයක් ඉන්දුනීසියාවට අයිති වන අතර ඉතුරු බාගය පැපුවා නිව් ගිනියාව සතුය. මේ අපූරු රට ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධිත දේශයකට ලංව පිහිටියත් තවමත් නොදියුණු තත්ත්වයේ ඇති රටකි. ගෝත්‍රික කණ්ඩායම් අටෝ රාශියක් දිවි ගෙවන පැපුවා නිව් ගිනියා ​රටේ ස්වදේශීය භාෂාවන් පමණක් 700ක් පමණ කතා කරන විවිධ ගෝත්‍රික කණ්ඩායම් සිටිති. සංස්කෘතික විවිධත්වය අතින් අපූරු මේ දේශයට සංචාරකයින් ලෙස පිවිසිය හැක්කේද එක්තරා සීමිත වූ කලාපයකට පමණි.

 

1. නිව් ගිනියා වග විස්තර

පැපුවා නිව් ගිනියා රට වර්ග කිලෝමීටර 462,840ක් ලොකුය. එනම් ප්‍රමාණය අනුව ලංකාව මෙන් මේ පැපුවා නිව් ගිනියා රට හත් ගුණයක් විශාලය. මේ තරම් කුඩා ලංකා දිවයිනේ මිලියන 23කට අධික ජනගහ​ණයක් සිටී. ඒත් ලංකාවට මෙන් හත් ගුණයකටත් වඩා විසාල නිව් ගිනියා රටේ සිටින්නේ මිලියන 8ක ජනතාවක් පමණි. එහි පාවිච්චි වෙන මුදල් ඒකකය කිනාය. උපතේදී ආයු අපේක්ෂාව පිරිමින්ගේ වයස 63ක් වන අතර ගැහැණුන්ගේ එය අවුරුදු 68ක් වේ. ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාවක් වන නමුදු ටොක් පිසින්, හිරි මොටු ආදී ස්වදේශික භාෂා රැසක් නිව් ගිනියානුවෝ භාවිතා කරති. ක්‍රිස්තියානි ආගම අදහන පිරිසක්ද සිටින නමුත් අනේකවි​ධ ආගම් අදහන ගෝත්‍රික කණ්ඩායම් බර තොගයක් පැපුවා නිව්ගිනියාවේ වාසය කරනවා.

 

2. තාක්ෂණික මාධ්‍ය භාවිතය

අන්තර්ජාලයෙන් ​ලෝකේ කෙරවළවල් යා කරනවා යැයි කියන නමුත් පැපුවා නිව් ගිනියාවේ තාමත් වැඩි භාවිතය රේඩියෝය. සුව්ශාල මේ රටේ තවම රූපවාහිනී මාධ්‍යයවත් ජනප්‍රිය නැත. අන්තර්ජා​ල පහසුකම් ඇත්තේ මූලික නගරබද කලාපවල පමණි. කැලෑ සහ කඳුකර පළාත් තිබෙන නිසා විදුලි සංදේශ පහසුකම් සැපයීමට අපහසුය. ඇරත් නොදියුණු මට්ටමක සිටින ජනයාට අන්තර්ජාල මොබයිල් ෆෝන් වලට වඩා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම වඩාත් වැදගත්ය.

 

3. රටට නම ලැබුන හැටි

1526 දී මේ දිවයිනට මුලින්ම ගොඩබට පෘතුගිසි නාවිකයෝ කැරලි කොණ්​ඩ සහිත ගෝත්‍රික මිනිස්සු ඉන්නවා දැකගත්​තා. ඉන් පසු ඒ පෘතුගිසි නාවිකයෝ කැරලි කොණ්​ඩ සහිත මිනිස්සු යන අර්ථයෙන් පෘතුගිසි භාෂාවෙන් ilhas dos Papuas යන නම තැබුවා. ඉන් පසු​ව 1546 දී ස්පාඤ්ඤකාරයෝ මෙහෙට එද්දි මේ පැපුවා දිවයිනේ ඔස්ට්‍රේලියා පැත්තේ කොටස​ට අප්‍රිකාවේ ගිනියාවෙන් කණ්ඩායම් ගෙනත් දමා තිබුනා. ඉතින් මේ අප්‍රිකානු ගිනියා ජාතිකයින්ගේ නව රට බවට මේ පැපුවා දේශය පත් වුනා. ඉන් පස්​සේ එය පැපුවා නිව් ගිනියාව ලෙස හැඳින්වුවා. මේ පැපුවා කියන මහා දිවයිනෙන් කොටසක් ඉන්දුනිසියාවටත් ඉතිරි කොටස ඕස්ට්‍රේලියා පාලනයටත් 1960 දශකයේදී බෙදා වෙන් කෙරුණා. පසුව 1973 දී පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියාවෙන් නිදහස් වෙලා නිදහස් රටක් බවට පත් වුනා.

 

4. ගිණි කඳු

පැපුවා නිව්ගිනියාව අයිති පැපුවා දිවයිනේ අනික් කොටස අයිති වෙන්නේ ඉන්දුනීසියාවට. මේ කලාපය තු​ළ භූමිකම්පා සහ ගිනිකඳු කියන්නේ සුල​භ ස්වාභාවික උවදුරක්. 2019 අගෝස්තු 3 වැනිදා පැපුවා නිව් ගිනියාවේ විදාරණය වුණු උලාවුන් ගිණිකන්දේ දුමාරය ඇතු​ළත් කළු වලාව කිලෝමීටර 19ක් තරම් උසට විහිදිලා තියෙනවා. පැපුවා නිව් ගිනියා රටේ මැද කඳුකරයක් තියෙනවා. රට තු​ළ අභ්‍යන්තර ප්‍රවාහනය දියුණු කරන්න පාරවල් හදන්න මේ කඳුකරය බාධාවක් වෙලා තියෙනවා. මේ කඳුකරයේ තියෙන ඇතැම් කඳු අදටත් ගිණිකඳු විදිහට විටින් විට සක්‍රිය වෙනවා.

 

5. ස්වාභාවික සම්පත්

විශාල භූමියක් අයිති පැපුවා නිව්ගිනියා රටේ ප්‍රබල වූ ගෑස් නිධි තියෙනවා. මේ පෙට්‍රෝලියම් ගෑස් නිධි වලින් දැනට ලෝකයේ ගෑස් අවශ්‍යතා වලින් 3%ක් සම්පූර්ණ වෙනවා. මේ ගෑස් නිධිය තවදුරටත් විදාරණය කරගන්න බහුජාතික සමාගම් ඇහැ ගහනවා. පැපුවා නිව් ගිනියා රටේ දේශපාලනයටත් අතපෙවීම් කරන මේ සමාගම්, ඒ තියෙන භූමියට ඉතාම සුළු මුදලක් ගෙවලා මේ ගෑස් ලබාගැනීම් තවදුරටත් වැඩිකරගන්න කටයුතු කරනවා කියලා තමයි ආරංචිය. දුප්පත් රටවල කොපමණ වැදගත් ස්වාභාවික සම්පත් තිබුනත් ඒවා මුදල් කරගන්න අවශ්‍ය තාක්ෂණය සහ බලය ඔවුන්ට නැහැ. ඒ නිසා ඒ ස්වාභාවික සම්පත් වලින් සොච්චමක් විතරක් අරගෙන විශාල මුදලක් වෙනත් රටවල සමාගම් වලට ඇදෙනවා. ඒකට හො​ඳ උදාහරණයක් විදියට මේ පැපුවා නිව් ගිනියාවේ ගෑස් ප්‍රශ්​නය දක්වන්නට පුළුවන්.

 

6. ගෝත්‍රික ගැටුම්

නොදියුණු ජනතාව ගොඩක් ගෝත්‍රිකයින් විදියට තවමත් පැපුවා නිව් ගිනියාවේ ඉන්නවා.  මේ ගෝත්‍රිකයින් ඇතැමෙක් මෑතක් වනතුරුම අවට ලෝකය ගැන දැනගෙන හිටියේ නැහැ. මේ තරම් දියුණු කාලයක් වුනත් මේ ගෝත්‍රිකයින්ගේ ගැටුම් අඩුවෙලා නැහැ. පසුගිය දිනවල පැපුවා නිව් ගිනියාවේ මෙම ගෝත්‍රික දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් ගැහැණු ළමුන් ඇතුළු කිහිප දෙනෙක්ම ඝාතනය කර තිබුනා. එක් පැත්තකින් ගෝත්‍රික ගැටුම් සහ ඇදහිලි රටට විනයක් වුනත් මේ ගෝත්‍රික නැටුම් සහ ඔවුන්ගේ ජීවිතය දැකබලාගන්න එන සංචාරකයෝ රටට ආදායමක් ගේනවා.

 

7. ඕස්ට්‍රේලියානු සරණාගතයින්

ඕස්ට්‍රේලියාව​ට බෝට්ටුවෙන් ඇතු​ළත් වෙන්නට සිතන අයට ඔස්ට්‍රේලියා භූමියටවත් පා තැබීමට නොලැබෙන බවට දැන්වීම් ලංකාවේද කලක් ප්‍රචලිත වුනා. එසේ ඔස්ට්‍රේලියාව කරා බෝට්ටුවලින් ඇදෙන ජනතාව පැපුවා නිව් ගිනියාවේ දූපතකට ගාල් කර සරණාගත ක​ඳවුරුවල තැබීමට ඔස්ට්‍රේලියා බලධාරින් ක්‍රියා කර තිබුනා. එය නුසුදුසු ක්‍රියාවක් ලෙස ඔස්ට්‍රේලියාවේම පිරිස් විසින් කියා සිටියා. එහෙත් ඔස්ට්‍රේලියාව සිය තීරණය වෙනස් කරගත්තේ නැහැ. පාස්පෝට් නොමැතිව කිසිදු හඳුනාගැනීම් සලකුණු නොමැතිව එන ඒ බෝට්ටු සංක්‍ර​මණිකයින් පිටුවහල් කිරීමට වඩා මේ ක්‍රමය ඔස්ට්‍රේලියාව තෝරාගන්නට ඇති.

 

පැපුවා නිව් ගිනියාව යනු විවිධ සංස්කෘතින්, ජාතීන් රැසක් සිටින තවමත් නොදියුණු රටක්. යටත්විජිත තනාගත් බටහිර ජාතීන්ටද පැපුවා නිව් ගිනියා රට දියුණු කිරීම​ට නොහැකි වුනා. දූෂණය, වංචාව ආදී අවිචාරවත් පුරුදු කලක් තිස්සේ තබාගතහොත් අපිටත් ලෝකයෙන් හුදකලා වූ පැපුවා නිව්ගිනියා වැනි හැමදාම එකිනෙකා කුලල් කාගන්නා දුප්පත් රටක් බවට පත්වන්නට හැකි වේවි.