ඉවත දාන තේ කොළ වලින් තවදුරටත් ප්‍රයෝජන ගන්න ඉගෙනගන්න

නැවත භාවිතය නැත්නම් රීයූස් කියන්නෙ කැළිකසල වදය ඉවරයක් කරගන්න බැරි වර්​තමාන ලෝකයට ආශිර්වාදයක්. කුණු ගොඩට නිකම්ම විසි කරන දේවල් වලින් අපි තව දුරටත් ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියල බලමුද? මේ අපේ ගෙවල් වල එදිනෙදා අහක දාන තේ රොඩු වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන ටිකක් ගැනයි. 

දවසකට තුන් හතර වේලක් තේ බොන රටක් විදියට අපේ රටේ දවසකට තේ රොඩු ටොන් ගාණක් ඉවත දානව ඇති. මේ එදිනෙදා ගෙදර ඉවත දාන තේ කොළ රොඩු වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන ටිකක්. 

 

1. ගෙවත්තට පෝ​ෂණය

ඉවත දාන තේ රොඩු ටිකට වතුර දාල පෙඟෙන්න තියන්න. ඒ වතුර ටික පෙරල අරන් පැ​ළවලට දාන්න. මෙමගින් වගාවල හැදෙන පුස් වලින් ආරක්ෂාව සපයනව. මිරිකල ඉවත් කරගත්ත තේ රොඩු ටික ගෙවතු වගාවට පොහොරක් විදියට යොදන්න. වගා හාරන මීයො වගේ කරදරකාර සත්තු තේ කොළ සුවඳට එන්නෙ නෑ.

 

2. ගෙදර දුගඳ නැති කරගන්න

පාවිච්චි කරපු තේ කොළ භාජනයක දාල ෆ්‍රිජ් එකේ පැත්තකින් තියන්න. ෆ්‍රිජ් එකේ අනවශ්‍ය දුගඳ නැති වෙනව. ගෙයි තියෙන කුණු බඳුනේ අඩියට වියළි තේ රොඩු ටිකක් දාන්න. කුණු බඳුනෙන් හමන දුඟද මට්ටු කරනව. 

 

3. මාළු පිළීගඳ දෙහි ගෙඩි 100ක බලෙන්වත් යන්නෙ නැත්නම් 

ළූණු, සුදුළූණු, මාළු එහෙම කැපුවම අත් වල එන දුගඳ නැති කරගන්නත් තේ රොඩු පාවිච්චි කරන්න පුළුවන් කියල දන්නවද? තෙත තේ රොඩු වලින් අත් හොඳට මදින්න. පහසුවෙන්ම දුගඳ නැති කරගන්න පුළුවන්.

 

4. ගෘහාශ්‍රිත සතුන්ගේ කරදරයට පිළියමක්

මීයෝ තේ කොළ සුවඳට කැමති නෑ කියල කලිනුත් කිව්වනෙ. පරණ ටී බෑග් වලට හරි ඉතිරි උන වියළි තේ රොඩු වලට හරි පෙපර්මින්ට් තෙල් හරි කුරුඳු තෙල් හරි දාලා කූඹි, මකුළුවො වගේ සත්තු ගැවසෙන තැන් වල තියන්න. ඒ සුවඳ නිසා සත්තු ගැවසෙන්නෙ නෑ. 

 

5. හොඳ කන්ඩිෂනර් එකක්

ඉතුරු උන තේ රොඩු ටිකකින් කොණ්ඩයට මොන සත්කාරයක්ද කියල හිතනව නම් මෙන්න මේ දේ කරල බලන්න. ඉතුරු තේ රොඩු වලට මද රස්නෙ වතුර ටිකක් දාල නැවත කහට ටිකක් හදාගන්න. ෂැම්පු කරල නෑවට පස්සෙ මේ හදාගත්ත ලා කහට හිස්කබලේ සහ කොණ්ඩයේ හොඳින් අතුල්ලල මසාජ් කරන්න. පස්සෙ යන්තම් සෝදල අරින්න.

 

6. ලී බඩු පරණ පැහැයට හැරිලද?

අවපැහැ ගැන්වුන ලී බඩු මත යන්තම් තෙත තියෙන තේ රොඩු අතුල්ලන්න. නැවුම් දිස්නයක් ඔබේ ලී බඩු වලට සහ ලී පොළවට ලැබෙයි.

 

7. කකුල් වලට සත්කාරයක්

තේ රොඩු දාපු මද රස්නෙ වතුර බේසමක කකුල් දෙක දාගෙ​න ඉන්න. කකුල් වලින් එන දුගඳ නැති කරන්න වගේම සම පෝ​ෂණය කරන්න මෙයට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, යටි පතුල් වල හයි උන සම මෘදු කරනව. පැළුණ, වියළි යටි පතුල් සුමුදු කරගන්න මේක හොඳ සත්කාරයක්.

 

8. ටී බෑග්වලින් එයාෆ්‍රෙශ්නර් එකක්

තේ රොඩු වලින් අවට වාතයේ දුගඳ නැති කරනව කියල කලින් කිව්වනෙ. පාවිච්චි කරපු ටී බෑග් එකක් වියළාගන්න. ඒකට ඔයාල කැමති සුවඳකින් එන සුවඳ තෙල් ටිකක් දාගන්න. වාහනේට, කාමර වලට වගෙම බාත් රූම් වලටත් හොඳ එයා ෆ්‍රෙශ්නර් එකක්. දුගඳ නැති කරන ගමන් සුවඳ පතුරන එයාෆ්‍රෙශ්නර් එකක් පහසුවෙන්ම මේ විදියට ලැබෙනව. සුවඳ අඩු වෙනකොට නැවත තෙල් ටිකක් එක් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *