හීන වලදි අපි නිතර දකින සත්තු අතරින් බල්ලන් ඉදිරියෙන්ම ඉන්නවා. මිනිසාගේ ළඟම හිතවතෙක් වන මේ අපූරු සතාව හීනෙන් පෙනෙන ආකාරයන් අනුව ඒවාට විවිධ මනෝවිද්‍යාත්මක අර්ථකතන දෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ එයින් කීපයක් ගැනයි. මේ හීන වලට වඩා බල්ලන් ගැන වෙනස් හීන දකිනවනම් ඒ ගැන අපට කමෙන්ටුවකින් කියන්න. අපි උත්සාහ කරන්නම් ඒවායේ තේරුම් ඔබට කියන්න.
1. බල්ලෙක් හදාගන්නට ගන්නවා දැකීම
ඔයාට සුරතල් බල්ලෙක් හිටියත් නැතත් බල්ලන් ගැන හීන පේන්න පුළුවන්. හීනෙන් අපි බල්ලෙක්ව ගෙදරට ගේනවා දකින එකෙනුත් ඔයා දැන් ඉන්න මානසික මට්ටම නිරූපණය වෙනවා. බල්ලෙක්ව ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා මේ වෙලාවේ ජීවිතේ ගෙවන්නේ යම් තනිකමකින් කියන එකලු. ඒ වගේම හොඳ මිතුරු ඇසුරක් හරි සහකරුවෙක්/සහකාරියක් හරි ඔයාගෙ ජීවිතේට ලැබිය යුතුයි කියන එක ඒ මගින් අදහස් වෙනවා කියලයි කියන්නෙ.
2. බල්ලෙක් හපනවා දැකීම
තමන්ගෙම බල්ලා තමන්ව හපනවා දකින එක නම් තරමක් අසුබ හීනයක් කියලයි කියවෙන්නෙ. ඒ මගින් ජීවිතේට උදාවෙමින් පවතින නරක කාලයක් ගැන ඉඟි සපයන බවටයි විශ්වාසය. බල්ලෙක් තමන්ගේ අත හපනවා හීනෙන් දැක්කොත් එයින් අදහස් වෙන්නේ ඔයාගෙ ළඟම කෙනෙක් ඔයාට ද්‍රෝහිකමක් කරපු බවක් හරි, එහෙම දෙයක් කරමින් පවතින බවලු. ඒ වගේම බල්ලෙක් කකුලක් හපනවා දැක්කොත් ඒකෙන් ඔයාගෙ ජීවිතේ සමබරතාවය ගිලිහෙන විදිහේ සිදුවීමක් සිද්ධ වෙන්නට යන බවක් ඇඟවෙනවලු.
3. එළවගන්න බැරි බල්ලෙක්
සමහර හීන තියනවා බල්ලෙක් අපිට ඇවිත් කරදර කරනවා, කොච්චර එළවන්න හැදුවත් ඌව එළවගන්න බැහැ. එහෙම හීනෙකින් අදහස් වෙන්නේ ඔයාගෙ ජීවිතේට කරදරයක්, හිරිහැරයක්, වාතයක් වෙමින් කවුරු හරි ඉන්න බවක්ලු. ඒ වගේම කවුරුහරි ඔයා මතම ඕනෑවට වඩා යැපෙනවනම් (කාර්යාල සඟයෙක්, මිතුරෙක්, පෙම්වතෙක්/පෙම්වතියක්) අන්න ඒ වගේ දේකුත් මේ වගේ හීනෙකින් පෙන්නනවලු.
4. බුරන බල්ලන්
සපාකන බල්ලන් ගැන කිවුවනෙ. මේ කියන්නෙ සපා කන්නෙ නැතිව බුරන බල්ලන් ගැන. ඔයාගෙම බල්ලා ඔයාට බුරනවා කියන්නෙ ඔයා ආශ්‍රය කරන සමහරු ඔයා කෙරෙහි ඉරිසියාවකින්, කුහකකමකින් ඉන්නවා කියන එකලු. කවුරුහරි බල්ලෙක් තරහින් බුරනවා දකිනවානම් ඒකෙන් අදහස් වෙන්නෙ ඔයා ඕනෑවට වඩා ඔයාගෙ වටේ ඉන්න අයට නීති රීති දාගෙන, ඒ අයව පාලනය කරගෙන ඉන්න උත්සාහ කරනවා කියන එකලු. ඒ වගේම බල්ලෙක් සතුටින් බුරනවා දකිනවා කියන්නෙ ළඟදීම හිතවතුන් එක්ක එකතු වෙලා විනෝදවෙන්න අවස්ථාවක් උදාවෙනවා කියන එකලු.
5. බල්ලන් පිරිසක් ඔබට අනතුරක් කිරීමට පැමිණීම
බල්ලෙක් හපනවා දකිනවාට වඩා ටිකක් වෙනස් හීනයක් මේක. මේකෙදි බල්ලන් කීප දෙනෙක් ඔයාට අනතුරක් කරන්න එළවගෙන එනවා හරි, ඇඟට පනිනවා හරි තමයි දකින්නෙ. මේ වගේ හීනෙකින් අදහස් වෙන්නේ ළඟ ළඟම එන අනතුරක තර්ජනයක්ලු. සමහරවිට මේ වගේ හීනයක් දැක්කට පස්සේ ඔයා ගෙවමින් ඉන්න ජීවිතේ සහ ඔයාගෙ එදිනෙදා සමාජ ගනුදෙනු ගැන පොඩ්ඩක් බරපතලව කල්පනා කරල බැලුවොත් අර කියපු තර්ජනේ එන්න පුළුවන් කොහෙන්ද කියල තේරුම් ගන්නත් ඔයාට හැකියාවක් ලැබේවි!
6. හීනෙන් බල්ලෙක්ව අතගෑම
බල්ලෙක්ව අතගානවා හීනෙන් දකිනවානම් ඒකෙන් බොහෝවිට අදහස් වෙන්නේ ඒ වෙද්දි ඔයා බොහොම තෘප්තිමත් ජීවිත සම්බන්ධතාවයන් ගොඩ නගාගෙන ඉන්නවා කියන එක බවටයි සඳහන් වෙන්නෙ. ඒ කිවුවෙ ඔයාට විශ්වාසවන්ත සහ ඔයාව හොඳින් විශ්වාස කරන පෙම්වතෙක්/පෙම්වතියක් එහෙමත් නැත්නම් ඉතාම ශක්තිමත් හිතවත්කමක් කවුරුන් එක්ක හරි ඔයා ගොඩනගාගෙන සතුටින් ඉන්න බවලු.
7. හීනෙ ඇතුළෙ ඔයත් බල්ලෙක් නම්?
මෙහෙම හීනත් පේන්න පුළුවන්. ඒ තමයි තමන් බල්ලෙක් වෙලා ඉන්නවා හීනෙන් දකින එක. ඒ හීනේ ඇතුළෙ ඔයා බල්ලෙක් වෙලා තවත් බල්ලන් එක්ක රංචු ගැහිලා ඉන්නව දකිනවනම් ඒ කියන්නේ ඔයාගෙ පෞද්ගලික ජීවිතේ සම්බන්ධතාවලට ඔයා මීට වඩා අවධානය යොමු කරන්න ඕනෙ කියන එකලු. ඒ කිවුවෙ ඔයාගෙ පවුලේ අය එක්ක, සහකරු හරි සහකාරිය එක්ක එහෙම තියෙන බැඳීම තව ටිකක් ශක්තිමත් කරගන්න කියලා දෙන ඉඟියක්ලු මේ හීනය.
Leave a Reply