ගෑණු ළමයින්ගේ අවධානය යොමුවෙන කූල් පොරක් වෙන්නේ මෙහෙමයි!

Tips to be a cool guy that girls notice

ඇත්තටම ගෑණු ළමයි කැමති වෙන්නේ මොන වගේ කොල්ලන්ටද? ඕක ඉතින් කොල්ලෙක් නං අනිවාර්යයෙන්ම ජීවිතේ එක පාරක් හරි පැන නඟින ප්‍රශ්නයක් තමයි. හැබැයි ඇත්තටම ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නවා කියන්නේ, අනිවාර්යයෙන්ම කාන්තා පාර්ශවයේ ආකර්ෂණයට ලක් වෙන කූල් මනුස්සයෙක් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් කූල් මනුස්සයෙක් වෙනවා කියන්නේ මොකක්ද, එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් අයට හරි අදහසක් නෑ. ආන්න ඒ නිසා, අපි හිතුවා, කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක් වෙන කූල් මනුස්සයෙක් වෙන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් ලබාදෙන්න.

 

01. පොසිටිව් පර්සනැලිටි

Tips to be a cool guy that girls notice

මොනවා කරන්නත් ඉතින් පර්සනැලිටි එක හදාගන්න ඕනැනේ. ‌ආකර්ෂණීය පෞරුෂත්වයක් ගොඩනංවාගන්න ටිප්ස්, එතකොට පෞරුෂත්වය වැඩි කරගන්න සාර්ථක ක්‍රම එහෙම අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. එතනදී හොඳ සන්නිවේදනයක් තිබීම, පෞරුෂත්වය වැඩි කරන සුළු ශරීර අභිනයන්, ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන ඇවිදින්න, වාඩි වෙන්න පුරුදු වීම වගේ දේවල්, ලැජ්ජාවෙන් ඇඹරෙන ගති ලක්ෂණ නැති වීම, ලෝකේ එදිනෙදා දේවල් ගැන දැනුවත්ව හිඳීම, ශක්තිමත් ආකල්ප තිබීම වගේ දේවල් වැදගත්. ඒ වගේම, පුරාජේරු කියවන පම්පෝරිකාරයෙක් නොවීම, සරල වීම වගේ දේවල් නිසාත් හොඳ පොසිටිව් පර්සනැලිටි එකක් කෙනෙක්ට ලැබෙනවා. ඒ වගේම, තැනට ගැළපෙන විදියට පිළිවෙලට, පිරිසිදුවට අඳින්න පළඳින්න පුලුවන් වීම, තමන්ගේ පෙනුම පිළිවෙලට තබා ගැනීම නැතිනම් හොඳට ගෘම් කරලා තිබීම සහ හොඳ ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් සහ සෞඛ්‍යයකින් පසුවීමත් මේකටම එකතු වෙන්න ඕන. ආන්න ඒ විදියට පර්සනැලිටි එක හදාගන්න එක, කූල් මනුස්සයෙක් වෙන්න වැදගත්.

 

02. ආත්ම විශ්වාසය

Tips to be a cool guy that girls notice

කූල් මනුස්සයෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි හොඳ ආත්ම විශ්වාසයක්. ඒ කියන්නේ, කූල් මනුස්සයෙක් තැනකට ගියහම, එයා තමන් ගැන සම්පූර්ණ ආත්ම විශ්වාසයකින් හැසිරෙන්නේ. ඒක අනික් හැමෝටමත් දැනෙනවා. මතක තියාගන්න, හොඳ ආත්ම විශ්වාසයක් තියෙනකොට, ඒ කෙනා දිහා අනික් මිනිස්සු බලන විදිය පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි මීට කලින් කියලා තියෙනවා ආත්ම විශ්වාසය ඉහළ දමාගන්න නම් කරන්න ඕන දේවල් ගැන. ඒ වගේම, ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන්න නම් කිසිසේත්ම නොකළ යුතු දේවල් ගැන. ඉතින් හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න කරන්න ඕන දේවල්, පොසිටිව් පර්සනැලිටි එකකටත් සෑහෙන්න බලපානවා. ඒ වගේම, පොසිටිව් පර්සනැලිටි එකක් තිබීමත් ආත්ම විශ්වාසය ඉහළ යන්න එක හේතුවක්. මේවා එකිනෙකට සෑහෙන්න සම්බන්ධයි.

 

03. අනික් මිනිස්සු තමන් ගැන හිතන දේවල්  

Tips to be a cool guy that girls notice

අද කාලේ ඉන්න ගොඩක් දෙනෙක්ව මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් තියෙනවා. ඒ තමයි, අනික් මිනිස්සු තමන් ගැන හිතන්නේ මොකක් ගැනද කියලා හැම තිස්සෙම හිතන එක. ඒ කියන්නේ, ගොඩක් දෙනෙක් දේවල් කරන්නේ තමන්ට ඕනෑවට නෙවෙයි, අනික් මිනිස්සුන්ව සතුටු කරන්න, අනික් මිනිස්සුන්ගේ පිළිගැනීම ලබාගන්න. මේ අනික් මිනිස්සු කියන කාණ්ඩෙට තමන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ අය, යාළු මිත්‍රයෝ, රැකියාවේ එකට ඉන්න අය, නෑදෑයෝ, අසල්වාසියෝ ඉඳලා මුළු මහත් සමාජයම අයිති වෙනවා. හැබැයි ඇත්තටම කූල් පර්සනැලිටි එක්ක් තියෙන මනුස්සයෙක්ට අනික් මිනිස්සු තමන් ගැන හිතන්නේ මොනවද කියන එක වැදගත් වෙන්නේ නෑ. කොහොමත් ප්‍රබල පෞරුෂත්වයක් තියෙන මිනිස්සුන්ට තමන්ගේම සදාචාරාත්මක රාමුවක් තියෙනවා. ඒක නිසා වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කරලා හඳුනගන්න පුලුවන්. හැබැයි ඒ නිසා, මේ අයට ලෝකේ අනික් මිනිස්සු තමන් ගැන, තමන් කරන කියන දේ ගැන හිතන්නේ මොනවද කියන එක වැදගත් වෙන්නෙ නෑ.

 

මෙතනදී විශේෂයෙන්ම, තමන්ව අවධානයට ගන්න කාන්තාවන් තමන් ගැන හිතන්නේ මොනවද කියන එක ගැන වද වෙන්න එපා කියන එකත් කියන්න ඕන.

 

04. සෙවලයෙක් නොවෙන්න, ගල් බමුණෙක් ද නොවෙන්න

Tips to be a cool guy that girls notice

ගෑණු ළමයින්ගේ අවධානයට හසුවෙන කූල් මනුස්සයෙක් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි මේක. ඒ කියන්නේ දැන් නිකමට හිතලා බලන්න දන්න අඳුනන කොල්ලෝ ගැන. එතනින් ගොඩක් දෙනෙක් කෙල්ලෙක් දැක්ක ගමන් මොකද වෙන්නේ? පරල වෙනවා! සමහර විට තනියෙන් නම් ඉන්නේ හොරෙන් බලන එක, ලැජ්ජාවෙන් ඉන්න එක ස්වභාවය වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් කොල්ලෝ සෙට් එක පිටින් එහෙම ඉන්නකොට, කෙල්ලෙක් දැක්ක ගමන් සෙවල පෙරන්න පටන් ගන්නවා. ආන්න ඒක පටන් ගන්නත් කලින්ම ලකුණු කපාගන්න පොයින්ට් එකක්. සාමාන්‍යයෙන් කෙල්ලෝ අවධානයට කැමති වුණත්, සෙවලයන්ට කැමති නෑ.

 

හැබැයි ඕකේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි, සමහරු නිකම් කෙල්ලෝ අරහං වගේ ඉන්නේ. ආයෙ රියල් ගල් බමුණා. කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ විතරක් නෙවෙයි, ආයෙ හිනාවෙන්නෙවත් නෑ. බුම්ම ගත්තු ගමන් ඉන්නේ. එහෙම එවුන්ටත් ඉතින් ආකර්ෂණයක් ලැබෙන්නෙ නෑ.

 

එතකොට කොහොමද ඉන්න ඕන? සරලයි. කෙල්ලෝ කියන්නෙත් කොල්ලො වගේම මිනිස්සු කියලා හිතන්න. සුහදව කතා කරන්න. සුහදව හිනාවෙන්න. හැබැයි අර කතාවට කියනවා වගේ කෙල්ලෝ දැක්ක ගමන් නටන්න පටන් ගන්න, කෙල්ලෙක් දැක්ක ගමන් ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්න සිඹෙක් වෙන්න එපා! කෙල්ලොද කොල්ලොද භේදයක් නැතුව, මනුස්සයෙක් විදියට, ආචාරශීලී විදියට, අනික් අයට වදයක් නොවෙන විදියට, පැන පැන සර්විස් නැති විදියට, ගෞරවයෙන් හැසිරෙන එක තමයි තියෙන්නේ.

 

05. බලෙන් කිසිම දෙයක් ඉල්ලන්නෙ නෑ!

Tips to be a cool guy that girls notice

කූල් මනුස්සයෙක්ගේ පෞරුෂත්වයත් එක්ක එලියට එන බොහොම වටිනා කියන ගති ලක්ෂණයක් තමයි මේ. කූල් මනුස්සයෙක් කිසිම විදියකට නීඩි වෙන්නෙ නෑ. මේ නීඩි වෙනවා කියන්නේ, අනික් අයගෙන් දේවල් ඉල්ලන්න යෑම. විශේෂයෙන්ම ඇටෙන්ෂන් එක වගේ දේවල්. සරල උදාහරණයක් ගමු. ඔන්න ගෑණු ළමයෙක් අපිත් එක්ක එහෙන් මෙහෙන් චැට් කරනවා. ඔහොම ටික දවසක් ගියහම ඔන්න අපි ගුඩ් මෝනින් කියලා එහෙම දවස ගාණේ කියන්න පටන් ගන්නවා. හැබැයි එයාගෙන් එහෙම රිප්ලයි එකක් නෑ. එයා අපිට මැසේජ් එකක් එවන්නේ ඉඳලා හිටලා තමයි. එතකොට නීඩි මනුස්සයෙක් මොකද කරන්න්නේ? ඔන්න ගෑණු ළමයට කණිපින්දම් කියන්න, මැසිවිලි නගන්න පටන් ගන්නවා, මැසේජ් කලාට මැසේජ් එකක්වත් නෑ, ගුඩ් මෝනින් එකක්වත් නෑ, අපි දෙන්නා ඇත්තටම කවුද, ඔය වගේ දේවල් කිය කිය. ඒකෙන් ඉතින් ලකුණු කැපෙනවා විතරක් නෙවෙයි, තමන්ගේ පෞරුෂත්වයත් බිඳ වැටෙනවා. හැබැයි ඒ වෙනුවට, හොඳ සොලිඩ් මානසිකත්වයකින් ඉන්න කූල් මනුස්සයෙක්, අනික් අය තමන්ට ඇටෙන්ෂන් දෙනවද, තමන්ගේ මැසේජ් වලට රිප්ලයි කරනවද කියන එක ගැන වද වෙන්නෙ නෑ. තමන් ගුඩ් මෝනින් කියලා තමන්ට රිප්ලයි එකක් නැතිනම්, ආයෙ ගුඩ් මෝනින් කියන්න යන්නෙ නෑ. තමන් කෙයාර් කරන, ඇටෙන්ෂන් දෙන කෙනෙක් තමන්ට ඇටෙන්ෂන් දෙන්නේ හෝ කෙයාර් කරන්නෙ නැතිනම් ඒක ඉල්ල ඉල්ල පස්සෙන් යන්නෙ නෑ, ආයෙ කොටින්ම ඒ ගැන කතා කරන්නෙවත් නෑ.

 

06. හරියට ෆනී වෙමුද?

Tips to be a cool guy that girls notice

විනෝදෙන් ඉන්න, ෆනී වයිබ් එකක් තියෙන මනුස්සයෙක් වෙන එකත්, කූල් මනුස්සයෙක් වෙන්න වැදගත් වෙන දෙයක්. හැබැයි මොකක්ද මේ හරියට ෆනී මනුස්සයෙක් වෙනවා කියන්නේ? මෙහෙමයි. දැන් සමහරු ඉන්නවා, හැම තිස්ස්සෙම ෆුල් සීරියස්. සීරියස් කියන්නේ ආයෙ කවුරුහරි හිනා යන දෙයක් කිව්වත් හිනාවෙන්නෙ නෑ. හිනාවෙන්න දන්නෙත් නෑ. අර උඩ කියපු ගල් බමුණා වගේ තමයි. එහෙම කෙනෙක් විහිළු කතාවක් කිව්වත් කාටවත් හිනායන්නෙත් නෑ. එතකොට තවත් සමහරු ඉන්නවා, ආයෙ ඉතින් සූර් වෙච්ච ජෝකර්ලා වගේ. ලයිට් එකක් පත්තු වුණත් හිනාවෙනවා, ඔහේ ජෝක් කියලා හිතාගෙන එක එක විහිලු කතා කියනවා. අන්තිමට ඉතින් අවට ඉන්න හැමෝටම එපා වෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සු මේ වගේ අයව දකින්නේ ඔහේ කියවන කට වාචාලයෝ විදියට.

 

හැබැයි හරියට ෆනී වෙනවා කියන එක වෙනම ආට් එකක්. හොඳ ෆනී වයිබ් එකක් තියෙන, විනෝදෙන් ඉන්න මනුස්සයෙක් ජෝක් කතා කියන්න, පැන පැන හිනා වෙන්න හදිසි වෙන්නෙ නෑ. මේ අය තමන් හිනාවෙනවා වෙනුවට අනික් අයව හිනස්සවන්න දන්නවා. මේ අය අනික් අයට හොඳට ඇහුම්කන් දෙනවා. එතකොට ඇත්තටම ෆනී දෙයක් කියන්න පුලුවන් තැනදී ඒක ගාණක් නැතුව කියනවා. සමහර වෙලාවට සරල දේක වුණත් ෆනී පැත්ත මේ අයට පේනවා. අන්න ඒ අය තමයි සිරාම කූල් මිනිස්සු!

 

07. ඉන්ටරෙස්ටින්ග් කොම්පැණි

Tips to be a cool guy that girls notice

මේ කියන්නේ කොම්පැණි අයිතිකාරයෙක් වෙන්න ඕන කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් කූල් මනුස්සයෙක් ස්වභාවයෙන්ම හරිම ඉන්ටරෙස්ටින්. ඒ කියන්නේ, එහෙම කෙනෙක් එක්ක කතා කරන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔය පොලිටික්ස් ගැන හරි සමාජේ ගැන හරි හැමෝම කියන එව්වා නෙවෙයි. ඕනම මාතෘකාවක් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න දන්නවා. සාහිත්‍යය, සිනමාව, සංගීතය වගේ දේවල් ගැනත් කූල් මනුස්සයෙක් දැනුවත් නිසා, ඒ වගේ දේවල් වුණත් මෙහෙම කෙනෙක් එක්ක බොහොම පහසුවෙන් කතා කතා කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත්, මේ විදියේ කෙනෙක් එක්ක අනික් මිනිස්සු කතාබහ කරන්න, සංවාදයක් පවත්වගෙන යන්න ආසයි. බොහොම ඇසූ පිරූ තැන් තියෙනවා, ලෝකේ ගැන අත්දැකීම් තියෙනවා. අන්න ඒකත් කූල් මනුස්සයෙක් වෙන්න වැදගත්.

 

08. කූල් වෙන්න ට්‍රයි කරන්න එපා!

Tips to be a cool guy that girls notice

අන්තිමටම කියනවා නම්, මේක ඉතාම වැදගත් කාරණයක්. උඩ කියලා තියෙන්නේ කොහොමද කාන්තා ආකර්ෂණය දිනාගන්න කූල් මනුස්සයෙක් වෙන්නෙ කියලනේ. හැබැයි ඔය එකක්වත් අමුතුවෙන් ට්‍රයි කරලා කරන්න ඕන දේවල් නෙවෙයි. ඒවා ප්‍රැක්ටිස් එකෙන් තමන්ගේ හැසිරීමට කාවදින්න ඕන. එහෙම නැතුව අමුතුවෙන් හිතලා ට්‍රයි කරලා කූල් වෙන්න ට්‍රයි කරන එක -උදාහරණයක් විදියට කිව්වොත්, බලෙන් ගෑණු ළමයි එක්ක කතාවට ගිහින් විහිළු කතා කිය කියා ජෝකර් කෙනෙක් වෙන්න යන එක වගේ දේවල්- තමන්ගේ පෞරුෂත්වයටත් හානිදායකයි. ඒ ඇරෙන්න තමන්ට ලබාගන්න ඕන කරන කූල් වයිබ් එකත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුලුවන් ඒ වගේ දේකින්. අන්න ඒ නිසා ජෙනුයින් වෙන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *