ලංකාවට බුදු දහම ලැබෙන්නේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත සේවාවේ ප්‍රතිඵලයක් විදිහට. ඒ අවස්ථාවේදී ලංකාව ඇතුළු රටවල් නමයකට ධර්ම දූතයන් යැවීමට අශෝක අධිරාජයා විසින් කටයුතු කළා. වර්තමානය දක්වා එම ධර්ම දූත සේවාව නිසා දහම පැවතෙන රටවල් දෙකක් විදිහට ශ්‍රී ලංකාව සහ බුරුමය සලකන්න පුළුවන්. පස්සේ කාලෙක දී ලංකාවෙන් සහ බුරුමයෙන් ධර්ම දූත සේවාවන් සඳහා භික්ෂූන් වහන්සේලා වෙනත් රටවලට පිටත්ව ගිහිල්ලා තියනවා.
ලංකා ඉතිහාසයේ චීනයේ සහ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයේ යෙදුණු භික්ෂූන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේදී පානදුරාවාදය ඇතිවීමත් සමගම යුරෝපයේ සහ ඇමරිකාව තුළ බුදුදහම පිළිබඳව විශාල ප්‍රබෝධයක් ඇති වෙන්නට පටන් ගත්තා. ඒ වගේම ඊට පෙර කාලවල දී ඉන්දියාවට පැමිණි විවිධ බටහිර පඬිවරුන් ඉන්දීය පොත්පත් ඔවුන්ගේ භාෂාවලට පරිවර්තනය කරමින් ඒ පිළිබඳව සංවාදයක් ඔවුන්ගේ රටවල ඇති කරමින් තිබුණා. මේ නිසා ලංකාවෙන් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් යුරෝපයේ සහ වෙනත් රටවල ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිටත්ව ගියා. අද අපි එසේ ධර්ම ප්‍රචාරයේ උතුම් යතිවරයාණන් වහන්සේලා කීප නමක් පිළිබඳව දැන කියා ගනිමු.
1. කුරුණෑගොඩ පියතිස්ස හිමි
ඇත්ත වශයෙන්ම කියනවනම් Lifie අපිට මේ ආටිකල් එක ලියන්න හිතුනේ පහුගිය ඔක්තෝම්බර් එකොළොස් වැනිදා කුරුණෑගොඩ පියතිස්ස හාමුදුරුවෝ අපවත් වීමත් එක්ක. 1928 වර්ෂයේ දී උපත ලැබූ උන්වහන්සේ පැවිදි දිවියට එකතු වෙන්නේ 1941 වර්ෂයේදී. උන්වහන්සේ තමන්ගේ ධර්මදූත කටයුතු ආරම්භ කරන්නේ එංගලන්තයෙන්. එංගලන්තයේ ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙමින් සිටියදී උන්වහන්සේට වතාවන් කීපයකදී ඇමරිකා එක්සත් ජනපදයේ බෞද්ධයන්ගෙන් එරටට පැමිණිලා ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා ලැබෙනවා. වතාවන් කීපයකදී මෙවැනි ධර්ම දේශනාවලට වැඩම කරන උන්වහන්සේ අවසානයේ දී නිව්යෝක් බෞද්ධ විහාරය ගොඩ නඟනවා. උන්වහන්සේගේ ධර්ම දූත සේවාව අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ පවා ඇගයීමට ලක් වෙනවා.
2. හම්මලව සද්ධාතිස්ස නා හිමි
අනගාරික ධර්මපාලතුමාගේ ධර්මදූත සේවයෙන් ලෝකයට ලැබුණු දායාදයක් විදිහට හම්මලව සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ සලකන්න පුළුවන්. උන්වහන්සේ ඉන්දියාව තුළ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා සුවිශාල මෙහෙයක් ඉෂ්ඨ කළා. විශේෂයෙන්ම අම්බෙඩ්කාර් මැතිතුමා සමඟ සම්බන්ධවෙමින් ඉන්දියාවේ කුලහීන ජනයා අතර බුදු දහමේ පණිවිඩය පතුරවා හැරීමට උන්වහන්සේ ක්‍රියා කළා. ඉන් පසුව උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යස්ථානය වුණේ එංගලන්තයයි. 1957 වර්ෂයේ පටන් ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ විදිහට කටයුතු කරපු උන්වහන්සේ එංගලන්තයේ බෞද්ධයන් වෙනුවෙනුත්, එරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙනුත් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහාය ලබා දුන්නා. ඒ වගේම ලංකාව වෙනුවෙනුත් විවිධ සමාජ සත්කාර සිදු කරනු ලැබුවා.
3. මැදගම වජිරඥාන හිමි
එංගලන්තෙ මහ රැජිණගෙන් පවා ගෞරව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් විදිහට මැදගම වජිරඥාන හිමි යන සලකන්න පුළුවන්. එංගලන්තේ බෞද්ධ කටයුතු දියුණු කිරීමට හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ට මැදගම වජිරඥාන හිමියන්ගෙන් ලැබුණේ සුවිශාල සහයක්.1984 පටන් ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති ධූරය දැරුවේ උන්වහන්සේ විසින්. විවිධ ආගමික විශ්වාසයන් අතර යහපත් සම්බන්ධතාවයක් ඇති කිරීමටඋන්වහන්සේ ලබා දුන් දායකත්වය විවිධ අවස්ථාවල එංගලන්තය විසින් අගය කරනු ලැබුවා. මේ නිසාම මහ රැජිණගේ ස්වර්ණ ජයන්තිය සහ මව් රැජිණගේ සිය වෙනි ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ විවිධ උත්සව සඳහා උන්වහන්සේ විශේෂ ආරාධිතයකු ලෙස සම්බන්ධ වුණා. කැන්ටබරියේ ආච්බිෂොප් පදවිය දැරූ පූජකවරු සමග උන්වහන්සේ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියා.
4. අතුරුගිරියේ ශ්‍රී ඤාණවිමල හිමි
සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි යන භාෂාවල විශාරදත්වයකින් යුක්ත වුණ ඥානවිමල හිමියන් තමන්ගේ විදෙස් ධර්ම ප්‍රචාර කටයුතු ආරම්භ කළේ බද්දේගම විමලවංශ අනුනායක ස්වාමීන් වහන්සේ සමග ජපානය සහ මියන්මාරය වැනි රටවල සංචාරය කිරීමෙන්. 1966 වර්ෂයේ දී ජර්මනියට වැඩම කරන උන්වහන්සේ එතැන් පටන් වර්ෂ පහළොවක් පමණ බර්ලින් විහාරයේ විහාරාධිපති ධූරය උසුලනු ලැබුවා. යුරෝපය තුළ දාර්ශනික සංවාද වැඩිපුරම පැවැත්වෙන රට ලෙස සැලකෙන ජර්මනිය වැනි රටක බුදු දහම ප්‍රචාරය කිරීමේ අභියෝගාත්මක වගකීම උන්වහන්සේ විසින් බාර ගනු ලැබුවා. කෙටි කලක් තුළ ජර්මන් භාෂාවේ ප්‍රවීණත්වය ලබපු උන්වහන්සේ ජර්මන් සංස්කෘතිය හඳුනාගැනීම තුළින් බුදු දහම ජර්මානුවන්ට සමීප කිරීමට කටයුතු කළා. සිය ජීවිතයේ අවසාන සමයේ නැවතත් ලංකාවට වැඩම කළ උන් වහන්සේ ගතකළේ අල්පේච්ඡ ජීවිතයක්.
5. කිරින්දේ ධම්මානන්ද නා හිමි
මැලේසියාව තුළ බුදු දහම ප්‍රචාරය කිරීමට තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කළ භික්ෂුන් වහන්සේ නමක් විදියට කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවන්ව හඳුන්වන්න පුළුවන්. 1952 දී මැලේසියාවට උන්වහන්සේ වඩින විට එරට අද තරම් දියුණු තත්ත්වයේ පැවතුණේ නැහැ. එරට තුළ ථෙරවාදී බුදු දහම රැඳී තිබුණේ මෙරටින් එරටට ගිය ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් අතර පමණයි. නමුත් උන්වහන්සේ ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් කළ ධර්ම දේශනාවන් නිසා ශීඝ්‍රයෙන් චීන සහ මැලේසියානු ජාතිකයන් අතර බුදු දහම පිළිබඳව විශාල උනන්දුවක් ඇති වුණා. උන්වහන්සේ රචනා කළ කෘතීන් මේ වන විට වාර ගණනාවක් නොකඩවා මුද්‍රණය වී තිබෙන්නේ ඒ කෘති වල ඇති සරල බව සහ වැදගත් කම නිසයි.
6. නාරද හිමි
විදේශ රටවල ධර්මදූත ප්‍රචාරයේ යෙදීමේ පෙරගමන්කරුවෙක් විදිහට නාරද ස්වාමීන් වහන්සේව හඳුන්වා දෙන්න පුළුවන්. පැලෑනේ වජිරඥාන මහා නායක ස්වාමින්වහන්සේගේ ගෝල භික්ෂූන් වහන්සේ නමක් වුණු නාරද ස්වාමින්වහන්සේ වජිරඥාන සම්ප්‍රදාය විදේශ රටවල් කරා ගෙන ගියා. උන්වහන්සේ තමන්ගේ ධර්ම ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන්නේ ඉන්දියාවෙන්. මෑතකාලයේදී ඉන්දුනීසියාවට වැඩම කළ පළමු ථෙරවාදී භික්ෂූන් වහන්සේ විදිහට උන්වහන්සේ වාර්තාවකට හිමිකම් කියනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ විසින් බොරෝබුදුර් විහාරාරාම සංකීර්ණයේ බෝ අංකුරයක් රෝපණය කරනු ලැබුවා. තමන් වහන්සේගේ නිත්‍ය වාසස්ථානය ලංකාව කර ගත් උන්වහන්සේ මුළු මහත් යුරෝපයේ සහ ඇමෙරිකා මහද්වීපය තුළ තමන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරනු ලැබුවා.
7. පියදස්සී හිමි
නාරද හිමියන් සමග සමඟ උරෙන් උර ගැටෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදුණු තවත් වජිරාරාම සම්ප්‍රදායෙන් පන්නරය ලැබූ භික්ෂූන්වහන්සේ නමක් විදිහට පියදස්සී හිමියන් හඳුන්වන්න පුළුවන්. පැලෑනේ වජිරඥාන මහ නායක ස්වාමීන් වහන්සේ ගේ ගෝලයෙක් ලෙස පැවිදි දිවියට පිවිසුණ උන්වහන්සේ, ධර්ම දේශනාවන් සඳහා මුළු රට තුළම මහත් ප්‍රසිද්ධියක් ලැබුවා. එසේම උන්වහන්සේ ග්‍රන්ථ ගණනාවක් ධර්ම ප්‍රචාර කටයුතු සඳහා රචනා කරනු ලැබුවා. විවිධ රටවල සංචාරය කරමින් ධර්ම ප්‍රචාරයේ යෙදුණු උන්වහන්සේ තමන් රචනා කළ පොත පතද ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සිද්ධ කළා. මේ නිසා අද පවා එම ධර්ම දේශනාව සහ කෘති මගින් බුදු දහම කෙරෙහි පැහැදෙන පිරිස අති විශාලයි.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් තිරුවෙ එකතු කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා…
Leave a Reply