හරි, මුලින්ම ෆ්ලර්ටින් නොදන්න අයට ෆ්ලර්ට් කරනවා කියන එක තේරුම් කරලා දෙන්න එපැයි. ෆ්ලර්ට් කරනවා කියන්නේ තමන්ට යම් කිසි ආකර්ෂණයක් තියෙන කෙනෙක් එක්ක, තමන්ට එහෙම ආකර්ෂණයක් තියෙනවා කියලා හැඟවෙන විදියට හැසිරෙන එක. හැබැයි ඒක සීරියස් හැසිරීමක් නෙවෙයි. කොහොමත් ඉතින් ආකර්ෂණයක් කියන්නේ මේ හෙට බඳින්න ඕන කියන එක වත්, හරි අපි ලව් කරමු කියන එකවත් නෙවෙයි නේ. ඉතින් ඒ නිසා ආකර්ෂණයක් කියන එක එහෙම මාර සීරියස් දෙයක් නෙවෙයි. එතකොට ෆ්ලර්ට් කරනවා කියන එකත් සීරියස් දෙයක් නෙවෙයි. ඊට වඩා බොහොම කෙළිලොල්ව සිද්ධ වෙන, හැබැයි ආකර්ෂණය හැඟවෙන දෙයක්.
හරි, දැන් ඕක චැට් එකකින් කරන්න පුලුවන්ද? මොකද බැරි, පුළුවන්. විශේෂයෙන්ම දැන් කාලේ ගොඩක් වෙලාවට අපිට මිනිස්සුන්ව මුණගැහෙන්නේ චැට් පැනල් වල. ෆේස්බුක් එකේ, වට්ස්ඇප් එකේ, ට්විටර් ඩිරෙක්ට් මැසේජ් වල, එතකොට ඔය ඩේටින් ඇප්ස් වල චැට් එකේ එහෙම. අන්න එතකොට කොහොමද අපිට එතනින් පොඩ්ඩක් හිත යන කෙනෙක් එක්ක චැට් පාරක් හරියට දාන්නේ සහ ඒ චැට් එකේ හරියට ෆ්ලර්ට් කරන්නේ කියලා දැනගෙන ඉන්න එක වටිනවා. මෙන්න ඒකට ටිප්ස් කීපයක්!
1. පුදන කොටම කාපි යකා එපා
ඒ කියන්නේ ෆ්ලර්ටින් කියන්නේ ඔය ඩික් පික්ස් යවන එක, හායි හායි හායි ගගා දවසකට පන්සිය පනහක් විතර මෙසේජ් යවන එක නෙවෙයි කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම, හායි ඩියර් කියලා එහා පැත්තෙන් හෙලෝ කීයපු ගමන් නොම්බරේ ඉල්ලන එකත් නෙවෙයි ෆ්ලර්ටින් කියන්නේ. අන්න ඒ නිසා ඔය පුදන කොටම කාපි යකා සීන් නැතුව ෆ්ලර්ට් කරන්න ඉගෙන ගන්න ඕන. අනික, එහා පැත්තේ ඉන්න කෙනා ගැන අපිට තියෙන ආකර්ෂණය හොඳ හැඟීමක් වෙන්න ඕන. ඒක ලිංගික ආකර්ෂණයක් වුනත් ගැටළුවක් නෑ. හැබැයි අර කොහොමහරි ඇඳට පෙරළගන්න ඕන කියන ෆීලින් එකෙන් ෆ්ලර්ට් කරන්න ගියොත්, ඔය ෆ්ලර්ටින් එක හබක් වෙන්න තියෙන ඉඩ වැඩියි!
2. ගුඩ් මෝර්නින්, ගුඩ් නයිට්, ගුඩ් මෝර්නින්
මේක ගොඩක් අය ෆ්ලර්ටින් කියලා හිතාගෙන කරන ගොන් වැඩක්. ගුඩ් මෝනින්, ගුඩ් ආෆ්ටර්නූන්, ගුඩ් නයිට්, ආයෙ ගුඩ් මෝනින් ඔය ටික තමයි. අනිත් කාරණාව, දැන් මූලිකව කරන ආචාර සමාචාර තියෙනවනේ. ඒ කියන්නේ හායි, හෙලෝ, හව් ආර් යූ, ගුඩ්, තෑන්ක්ස් ෆෝ ආස්කින් වගේ එව්වා. ඕක ඉතින් රචනාව වගේ ඇදගෙන යන්න එපා. නිකම් පාපිස්සක් වගේ ඕනවට වඩා ආචාර සමාචාර කරන්න ගියහම අර තියෙන ආකර්ෂණයත් නැති වෙනවා. ඒ නිසා, මූලික ආචාර සමාචාර වලින් පස්සේ කෙලින්ම කතාවට බහින්න.
3. ස්වභාවික ආරම්භයක්
ඇත්තටම ෆ්ලර්ටින් සීන් එකක අමාරුම කාරණාව තමයි සංවාදේ පටන් ගන්න එක. ඒ කියන්නේ හායි හලෝ යාළුවේ කෑල්ලට නෙවෙයි. ඔය මූලික ආචාර සමාචාර ටික අවුලක් නෙවෙයිනේ. හැබැයි ඒකෙන් පස්සේ ගොඩක් අය කතාව පටන් ගන්නේ කොහොමද කියලා හිර වෙනවා. ඒකට හොඳම දේ තමයි පුළුවන් තරම් මවා පෑම්, රැඟීම් නැතුව සොබාවිකවම කතාව පටන් ගන්න එක. හොඳ ආරම්භයක් තමයි, ඇයි එයාව ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඇඩ් කරගත්තේ වගේ දේක අවංක හේතුව කියලා පටන් ගන්න එක. ඕන නම් එයාගේ අලුත් ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් එක ගැන කිව්වත් වරදක් නෑ. කොහොම නමුත්, සොබාවික, අවංක ස්ටාට් එකක් ගන්න එක ඇත්තටම ෆ්ලර්ටි ෆ්ලර්ටි කොන්වර්සේෂන් එකක් පටන් ගන්න ලේසි විදියක්.
4. තනි උත්තර එපා!
ඇත්තටම තනි උත්තර වලින් කරන්නේ සම්පූර්ණයෙන්ම ආකර්ෂණය ඉවර කරලා දැමීමක්. අපිට තනි උත්තර දීලා නං මළාට ෆ්ලර්ට් කරන්න බැරි වෙයි. ඒක අපි අන්තිමටත් කියලා තියෙනවා. අන්න ඒ නිසා තනි උත්තර දෙන්න යන්න එපා. ප්‍රමාණවත් දිගකින් යුතුව උත්තරයක් ලියන්න. බැරි වෙලාවත් ඔය ඩ්‍රයිව් කරන ගමන් එහෙම ටෙක්ස්ට් කරනවා නං, ඒක කරන්න එපා. කරන්නම ඕන නං, තනි උත්තර දෙන්න යන්න එපා පහසුවට. අනික් පැත්තේ කෙනාට දිව්‍යඥාණය නෑනේ දැනගන්න. අන්න ඒ නිසා තමන් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ කියලා කියන්න.
හැබැයි ඒ වගේම තමයි, තනි උත්තර එපා කියන්නේ මාගල් ලියන්න කියන එකත් නෙවෙයි!
5. මේක කසාදෙට ඉන්ටර්වීව් එකක් නෙවෙයි
අපි මුලිනුත් කිව්වා, නැවත නැවතත් කිව්වා, ෆ්ලර්ටින් කියන්නේ බොහොම කෙළිලොල් විදියට, සැහැල්ලුවෙන්, අනිකා ගැන අපිට ආකර්ෂණයක් තියෙනවා කියලා පෙන්නන විදියක් කියන එක. ඉතින් එතකොට ඔය කසාදෙට නැකැත් බලන්න ගිහින් හරියන්නෙ නෑ. ඒකෙන් සම්පූර්ණ චැට් එකම ඉවර වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා ඔය කසාද වලදී අහන කුල ගොත්, කේන්දර, දෑවැදි කතන්දර අහන්න ගිහින් ෆ්ලර්ටින් එකට කෙලවා ගන්න එපා.
6. අහං ඉන්න, ප්‍රශ්නත් අහන්න
ෆ්ලර්ට් කරනවා කියන්නේ තනිකරම රැස්වීමක කතාවක් කරනවා වගේ ඔහේ කියවන එක නෙවෙයි. අහන් ඉන්න එක ඇත්තටම ෆ්ලර්ටින් වලට අවශ්‍යම දෙයක්. හැබැයි ඒ වගේම ප්‍රශ්න අහන කලාවත් ෆ්ලර්ට් කරන කොට දැනගන්න වෙනවා. ඒ කියන්නේ, රහස් පොලිසියෙන් වගේ ප්‍රශ්න අහන්න ගියොත් වැඩේ කෙලවෙලා යනවා. මොකුත් අහන්නෙ නැතුව ඒ පැත්තෙන් හිතලා කියනකල් විතරක් බලන් හිටියත් වැඩේ අප්සට් යනවා. එක දිගට ප්‍රශ්න කෝටියක් ඇහුවත් අප්සට්. ඕන නැති ප්‍රශ්න ඇහුවත් අප්සට්. අපි අනික් පැත්තේ කෙනා ගැන ජෙනුයින්ලි දැනගන්න උනන්දුයි කියන එක පැහැදිළි වෙන විදියට, අර ප්ලේෆුල් ෆ්ලර්ටින් අස්සෙන් අතිශයින්ම පුද්ගලික නොවෙන, ඔය සීරියස් දේවල් නොවෙන ප්‍රශ්න අහන එක සහ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉඩ තියන එක තමයි ක්‍රමේ.
7. ඉමොජීස්, ස්ටිකර්ස්, GIFs
ෆේස්බුක් චැට් එකේ විතරක් නෙවෙයි. හැම චැට් එකකම විතරක් නෙවෙයි, දැන් තියෙන ස්මාට්ෆෝන් කීබෝඩ් වල පවා ඉමොජීස්, ස්ටිකර්ස්, GIFs එහෙම තියෙනවා. ඇත්තටම ෆ්ලර්ට් කරන අයට මේක ධන නිධානයක් කිව්වට වැරදි නෑ. ඇයි? අපිට වචන වලින් කියන්න අමාරු ෆීලින් එකක් ලේසියෙන්ම මේ ඉමොජීස් සහ ස්ටිකර්ස් වලින් වගේම GIFs වලින් කියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, එහා පැත්තෙන් අපි ගැන ස්වීට් දෙයක් කිවුවොත්, අපිට පුළුවන් කිස් ඉමොජි එකක් යවන්න. ඒක ඇත්තටම කිස් එකක් ටයිප් කරලා යවන එක තරම් අවදානමක් නෑ. අර ප්ලේෆුල් ගතියත් තියෙනවා. හැබැයි අපේ ආකර්ෂණය ගැනත් ෂේප් එකේ සන්නිවේදනය කරනවා. ආන්න බලන්න.
8. සීරියස් වෙන්න නං එපා
අපි මුලිනුත් කිව්වනේ ෆ්ලර්ට් කරනවා කියන්නේ සීරියස් දෙයක් නෙවෙයි, බොහොම කෙළිලොල්ව, කැෂුවල් විදියකට ගෙනියන්න ඕන දෙයක් කියලා. අන්න ඒ නිසා ෆ්ලර්ට් කරන එක බරසාර, සීරියස් විදියට කරන්න යන්න එපා. වැඩේ වරදිනවා. ඒ කියන්නේ සීරියස් කිසිම දෙයක් කියන්න ඕන නැහැ කියන එකත් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, කතාව නිකං ජීවිතේ පැත්තට ගිහින්, ඔයා ජීවිතේ ගැන සීරියස් හිතන්නේ කොහොමද කියලා එහා පැත්තෙන් ඇහුවොත්, ඒකට ජෝක් උත්තර දෙන්න ගිහින් හරියන්නෙ නෑනේ. හැබැයි ඒකට දාර්ශනික උත්තරයක් දුන්නත්, අනික් පැත්තට අර ලයිට්-හාටඩ් ෆ්ලර්ටින් ට්‍රැක් එකට ආයෙමත් කතා බහ ගේන්න පොඩි හැකියාවක් තියෙන්නත් ඕන ඉතින්.
9. කොතනද ඉන්නේ?
ඇත්තටම ෆ්ලර්ට් කරන්න නං එක්කෙනෙක්ට අනික් එක්කෙනා ගැන ආකර්ෂණයක් තිබ්බට මදි. එයාටත් අපි ගැන ආකර්ෂණයක් නැතත්, අඩු තරමින් ආකර්ෂණය වෙන්න පුළුවන් කියන ඕපනින් එක හරි තියෙන්න ඕන. එහෙම නැතිනම් අඩු ගාණේ ජෙනරල් කැමැත්තක් හරි. අන්න එතකොට තමයි ඔය ෆ්ලර්ට් කිරීම සාර්ථක වෙන්නේ. ඕක හොයාගන්නත් අමාරු නෑ. අපි ෆ්ලර්ට් කරන කොට වුනත් අනික් පැත්තෙන් අපිට එන්නේ තනි උත්තර නං, රිප්ලයි එන්න පැය ගණන්, දවස් ගණන් පරක්කු වෙනවා නං, ඒ කියන්නේ අනික් පැත්තෙන් කිසිම ඉන්ටරස්ට් එකක් නෑ කියන එක තමයි. අන්න එතකොට පස්සෙන් පන්න පන්න ෆ්ලර්ට් කරන්න යන එක හෙනම අප්සට්. ඒක ෆ්ලර්ටින් නෙවෙයි, ඒක වාතයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා, දෙන්නම කොතනද ඉන්නේ කියන එක පොඩ්ඩක් ගේජ් කරගන්නත් අමතක කරන්න එපා.
එතකොට ඇත්තටම කොහොමද චැට් එක ඇතුළේ ෆ්ලර්ට් කරන්නේ? ෆ්ලර්ටින් එකේදී මොනවද කියන්නේ සහ අහන්නේ? අන්න ඒ පාඩම සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරනවා.
Leave a Reply