ස්වෝත්සාහයෙන් දියුණු වෙන මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි!

දැන් ඔය ස්වෝත්සාහයෙන් දියුණු වුණු මිනිස්සු ගැන කතා අපි කතා අහල තියෙනවනේ. මෝනිස් මුදලාලි, නවලෝක මුදලාලි, සිද්ධාලේප මුදලාලි වගේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෝ ගැන අපි අහලා තියන්නේ ස්වෝත්සාහයෙන් දියුණු වුණු මිනිස්සු විදියට තමයි. එතකොට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ගත්තොත් ඉතින් අපි අදහන ලෙවල් එකේ ස්වෝත්සාහයෙන් දියුණු වුණු, එහෙම නැතිනම් self-made මිනිස්සු ඉන්නවනේ. මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස්, වොරන් බුෆේ, බිල් ගේට්ස්, ඕප්‍රා ෆින්ෆ්‍රේ වගේ අය එහෙම ස්වෝත්සාහයෙන් බිලියනපතියෝ, මිලියනපතියෝ වුණු මිනිස්සු. දැන් ඔය ස්වෝත්සාහයෙන් දියුණු වුණු ඒ වගේ මනුස්සයෙක්ව දැක්කහම, ඒ අයගේ කතා ඇහුවහම අපිටත් හිතෙන්නෙ නැද්ද ඒ වගේ දියුණු වෙන්න ඕන කියලා? ඒ කියන්නේ කෙලින්ම ගෙදර ගරාජ් එකෙන් පටන් අරගෙන, වෙහෙස මහන්සියෙන් වැඩ කරලා අවුරුදු ගාණකට පස්සේ මිලියනර්ස්ලා, බිලියනර්ස්ලා වෙන්න පුලුවන් නම් කියලා අපි හැමෝටමත් හීන තියෙනවනේ. එහෙම වෙන්න බැරිත් නෑ. ඒ නිසා අපි හිතුවා, කෙනෙක්ට ස්වෝත්සාහයෙන් දියුණු වුණු, එහෙම නැතිනම් self-made මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න.

1. වර්ක් හාඩ්

මේ කාලේ අපි හැම තිස්සෙම අහන දෙයක් තමයි වර්ක් හාඩ් වලට වඩා වර්ක් ස්මාට් කියන එක තමයි වැදගත් වෙන්නේ කියලා. ඒක ඇත්තටම බොරුවක් නෙවෙයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම උපරිම ශක්‍යතාවයකින් වැඩ කරලා, වර්ක්-ලයිෆ් බැලන්ස් එක තියාගෙන ඉන්න හිතනවා නම්, ස්මාට් විදියට වැඩ කරන එක ඉගෙන ගන්න ඕන. හැබැයි මෙහෙම රහසකුත් තියෙනවා. තමන්ට කවදාහරි ලෝකේ අනික් මිනිස්සුන්ගෙන් ඉහළට ගියපු කීප දෙනෙක්ගෙන් කෙනෙක් වෙන්න ඕන නම්, වර්ක් ස්මාට් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එතනට මහන්සි වීමත් අත්‍යවශ්‍ය වෙනවා. වෙන විදියකට කියනවා නම්, ස්මාට් විදියට වැඩ කරලා අනික් මිනිස්සු විවේකයක් ලබනකොට, අහස අල්ලන්න සිහින තියෙන මිනිස්සු ස්මාට් විදියට තමන්ගේ උපරිමයටත් එහා මහන්සි වෙලා වැඩ කරනවා. පුදුමාකාර විදියට කැපවීමෙන් වැඩ කරනවා. ඇයි එහෙම කරන්නේ කියලා ඉස්සරහට තේරුම් ගන්න පුලුවන්.

2. වර්ක් ස්මාට්

දැන් අපි උඩින් කතා කරානේ සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් වෙන්න නම් වර්ක් ස්මාට් විතරක් මදි, වර්ක් හාඩ් කියන එකත් උපරිමයටම තියෙන්න ඕන කියලා. හැබැයි ඒකේ අනික් පැත්තත් එහෙම තමයි. ඒ කියන්නේ උපරිමයෙන්ම මහන්සි වෙලා වැඩ කළත් වැඩක් නෑ, දක්ෂව වැඩ කරන්න බැරි නම්. උදාහරණයක් ගමු. දැන් ඔන්න වඩු ශිල්පියෙක් ඉන්නවා. එයා ඉගෙන ගත්තු මූලික කැටයම් රටා හයක් තියෙනවා. දැන් එයා අතිශය මහන්සියෙන් දවස පුරා වැඩ කරලා, ඔය කැටයම් රටා හය මාරුවෙන් මාරුවට කැටයම් කරපු මේස හදනවා. හැබැයි මනුස්සයා ස්මාට් විදියට වැඩ කරන්නත් දන්නවා. ඒ නිස එයා මහන්සියෙන් වැඩ කළාට, තමන්ගේ කාලය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරනවා. එතකොට එයාට ගෙදර ගිහින් රිලැක්ස් එකේ ඉන්නත් වෙලාව තියෙනවා. මෙහෙම මහන්සියෙන් වැඩේ කරගෙන යනකොට හොඳට සල්ලි හම්බු කරන්නත් ලැබෙනවා. හැබැයි ඒ විතරක් ප්‍රමාණවත් ද?

ඇත්තටම නෑ. මෙතනදී අපි වර්ක් ස්මාට් කියන්නේ තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවය ළඟා කරගන්න ස්මාට් විදියට වැඩ කිරීමට එහා ගියපු දෙයක්. උදාහරණයක් කිව්වොත්, අර ඉගෙන ගත්තු මූලික කැටයම් රටා හයෙන් එහාට ගිහින් තව අළුත් කැටයම් රටා නිර්මාණය කරන්න එයාට පුලුවන් නම්, අඩු තරමෙන් ඒ කැටයම් රටා මිශ්‍ර කරලා නව රටා ඉදිරිපත් කරන්න පුලුවන් නම්, එයාට දක්ෂ වඩු ශිල්පියෙක් කියන තැනින් එහාට යන්න පුලුවන්. සල්ලි වලට අමතරව තමන්ගේ නම වෙනස් දෙයක් ලෝකෙට දායාද කරපු වඩු ශිල්පියෙක් විදිහට ඉතිහාසගත කරගන්නත් පුලුවන් වෙනවා. ඇත්තටම සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් කියන්නේ අන්න ඒකට. එහෙම නැතුව සල්ලි හොඳට හම්බු කරන වඩු ශිල්පීන් ඕන තරම් ඉන්නවා.

3. නොනැවතී ඉගෙන ගමු

දැන් අපි කතා කරමු වර්ක් ස්මාට් කියන තැනටත් අත්‍යවශ්‍ය දෙයක් තමයි, තමන්ගේ දැනුම නිරන්තරයෙන්ම යාවත්කාලීන කර ගැනීම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලෝකේ එක තැන නතර වෙලා තියෙන්නෙ නැහැනේ. ලෝකේ ඉස්සරහට යනවා. එතකොට දැනුමත් අලුත් වෙනවා. හැබැයි අපි ඒ අලුත් වෙන දැනුම ලබාගන්නේ නැතිනම්, අපිට එක තැනක නතර වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පිපාසයක් තියෙනවා නම්, එහෙම කෙනෙක්ට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. ඒ වගේම තව දෙයක්. අලුත් දැනුම වගේම, පැරණි දැනුමත් ලබාගැනීම අවශ්‍යයි. අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න පුලුවන් වෙන්නේ පැරණි දැනුම මතයි. ආන්න ඒ නිසා, සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් මේ නොනැවතී ඉගෙන ගැනීම කියන එකටත් කාලය වෙන් කිරීම අත්‍යවශ්‍යයි.

4. තමන්ගේම දෙයක් ආරම්භයට බිය නොවෙමු

කිසිම දවසක වෙනත් කෙනෙක් යටතේ ජොබ් එකක් කිරීම වරදක් නෙවෙයි. ඇත්තටම ගොඩක් අයට ඒක වඩාත් ආරක්ෂිත පියවරක්නේ. ඇයි, නිශ්චිත ආදායමක් ලැබෙනවා. තමන් ජොබ් එක හරියට කරනවා නම් රැකියා සුරක්ෂිත භාවය ගැන ගැටළුවක් නෑ. ඒක හරි. හැබැයි තමන්ට සෙල්ෆ් මේඩ් මනුස්සයෙක්, ස්වෝත්සාහයෙන් දියුණු වුණු මනුස්සයෙක් වෙන්න ඕන නම්, ඊට එහා යන්න ඕන. ඒ කියන්නේ, කවදාහරි තමන්ගේම දෙයක් ආරම්භ කරන්න ඕන. එහෙම නැතුව, අනුන්ගේ කොම්පැණියක ඉහළම තනතුර දක්වා ගියත්, ඒ කොම්පැණිය උපරිම තත්වය දක්වා වර්ධනය කරලා පෙන්නුවත්, ඒක තමන්ගේ නෙවෙයිනේ. එක තැනකදී තමන්ගේම කොම්පැණියක් පටන් ගන්න වෙනවා. ඉතින් සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් වෙන්න නම්, ආන්න එහෙම තමන්ගේ දෙයක් ආරම්භ කරන්න බය නොවෙන්න ඕන. ඒකේ සෑහෙන්න අවදානම් පැති තියෙනවා තමයි. හැබැයි ඒක කිසිසේත්ම කරන්න බැරි දෙයක් නම් නෙවෙයි.

5. අසාර්ථකත්වයට බිය නොවෙමු

ස්වෝත්සාහයෙන් දියුණු වෙන මනුස්සයෙක්ට අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ලෝකේ ඉහළටම නොයා, මොකක් හරි පරිස්සම් ජොබ් එකක් කරගෙන ඉන්න එක හේතුවක් වෙන්නෙත් මේ අසාර්ථකත්වයට මුහුණ දෙන්න තියෙන බය. හැබැයි දවසක ස්වෝත්සාහයෙන් දියුණු වුණු මනුස්සයෙක් විදියට නම තියන්න ඕන නම්, අසාර්ථකවීම් වලටත් එක වගේ මුහුණ දෙන්න සහ, අසාර්ථක වීම් හින්දා වැඩේ මග අතඇරලා නොදා ආයෙමත් ආයෙමත් උත්සාහ කරන්න ගටක්, අධිෂ්ඨානයක් තියෙන්න ඕන. ඕන නම් ඒකට දිරි ගැන්වීමක් විදියට අපිට මෙහෙම කියන්න පුලුවන්. මේ ලෝකේ එක වරක් හෝ අසාර්ථක නොවී, ඒ අසාර්ථකත්වයෙන් නොපසුබටව ආයෙ ආයෙත් උත්සාහ නොකර සෙල්ෆ් මේඩ් ලෙජන්ඩ්ස්ලා වුණු කිසිම කෙනෙක් නෑ!

6. මුල අමතක නොකරමු, ඒත් අතීතයට නොබැඳෙමු

අපි මුල අමතක නොකරන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. අපි කියමු අපි පටන් ගන්නේ පොල් අතු පැලෙන් කියලා. එතකොට අපි සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් වෙන ගමනේ සෑහෙන දුරක් ඇවිත් දැන් කොළඹින් අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට අරගෙන වෙන්න පුලුවන් ඉන්නේ. මේ වෙනකොට අපි අපේම ව්‍යාපාරයක් ආරම්භ කරලා වෙන්න පුලුවන් ඉන්නේ. හැබැයි අපි පටන් ගත්තේ ඈත ගමක පොල් අතු පැලකින් කියලා අමතක කරන්න හොඳ නෑ. ඒ ගැන කියන්න ලැජ්ජ වෙන්න හොඳ නෑ. හැබැයි එකක්, එහෙමයි කියලා අපි අර පොල් අතු පැලෙන් පටන් ගත්තු මුල නිසා සමාජේ එක්ක ඇරියස් තියෙන, හීනමානයන් තියෙන මිනිස්සු වෙන්න හොඳ නෑ. පොල් අතු පැලෙන් පටන් ගත්තු අතීතයට විලංගු වලින් බැඳිලා ඉන්න හොඳත් නෑ. අන්න එතකොටත් ඉස්සරහට යන්න තියෙන ගමන බාධයි.

7. සැබෑ වැදගත්කම් සහ පුහු වැදගත්කම් හඳුනාගමු

ඇත්තටම අපි ඕනම කෙනෙක්ට ජීවිතේ හැබෑ වැදගත්කම් සහ පුහු වැදගත්කම් තියෙනවා. ඒක නැහැයි කියන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට සල්ලි ඒ තරම් නැතුව තියෙනකොට, තියෙන සල්ලි වලින් කරන්න දේවල් තියෙනකොට, ලෝකෙට පේන්න ලොකුවට වෙඩින් එකක් ගන්න එකෙන් අපිට ලැබෙන්නේ ඇත්තටම පුහු වැදගත්කමක්. හැබැයි තමන් එක්ක ලෝකේ කෙළවරට හරි යන්න ගැම්මෙන් ඉන්න පාට්නර් කෙනෙක් ඉන්න එක තමයි හැබෑ වැදගත්කම. තව උදාහරණයක් ගත්තොත්, තමන් වෙලාවට වැඩ කරන එක තමයි සැබෑ වැදගත්කමක්. එතකොට, තමන් මාසෙකට අසූදාහක් උපයන මොහොතේ රුපියල් ලක්ෂ දහයක ඔරලෝසුවක් අරගෙන බැඳගෙන යන එක පුහු වැදගත්කමක්. තමන්ගේ දියුණුවට උර දෙන මිතුරෙක්ව පවත්වා ගන්න එක හැබෑ වැදගත්කමක්. එතකොට, තමන්ට ෆේස්බුක් එකේ හාට් රියැක්ට් දාන, මලාට ඇත්ත ජීවිතේ උදව්වකට නැති මනුස්සයන්ව හොඳම යාළුවෝ කියලා තියාගෙන ඉන්න එක පුහු වැදගත් කමක්.

8. කාලය රන් හා සමානයි

ස්වෝත්සාහයෙන් දියුණු වෙන මනුස්සයෙක්ගේ මන්තරයක් තමයි මේ. කාලය රන් හා සමානයි කියන එක. ඕක ඉතින් අපි පුංචි කාලේ ඉඳලම අහලා තියෙන කතන්දරයක්නේ. හැබැයි ඒකේ ඇත්ත අර්ථය අවබෝධ වෙන්න නම්, මහන්සියෙන්, අනාගත සිහින සාක්ෂාත් කරගන්න වැඩ කරන්න පටන් ගන්නම ඕන. අපිට තියෙන්නේ පැය 24් යිනේ. ඕකෙන් අඩුම පැය 6 ක් වත් නිදාගන්න ඕන. එතකොට අනික් පුද්ගලික වැඩ වලට සහ විවේකයටත් කාලය වෙන් කළහම, අපිට ගොඩක් වෙලාවට වැඩ කරන්න ඉතුරු වෙන්නේ පැය 10 ක් වගේ. හැබැයි ඉතින් ඒ පැය 10 වත් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඒකට තමයි වර්ක් ස්මාට් කියන එක වැදගත් වෙන්නෙත්. මොකද මහන්සි වෙලා වැඩ කරලා, ඉගෙන ගන්න දේවලුත් කරනවා නම්, වැඩ කල්දාන්න, අත ගගා ඉන්න, කම්මැලි කමෙන් ඉන්න වෙලාවක් නෑ.

9. ඔබේ දියුණුවට උර දෙන මිනිස්සු ළඟ තියාගමු

මේක ස්වෝත්සාහයෙන් දියුණු වෙන මනුස්සයෙක්ට ඉතාම වැදගත් කාරණාවක්. දැන් ස්වෝත්සාහයෙන් දියුණු වෙනවා කියන්නේ තමන් විසින්ම දියුණු වෙනවා කියන එකනේ. එතනදී තව කෙනෙක්ගේ උදව්ව දියුණුවට අවශ්‍ය නැහැයි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. හැබැයි ඇත්තටම ස්වෝත්සාහයෙන් දියුණු වෙනකොට වුණත්, අපිට සමීපයෙන් ඉන්න හිතෛශීන්ගෙන් උදව් පදව් තියෙන එක වටිනවා. උදාහරණයක් විදියට අපිට අවංකව අවවාද අනුශාසනා කරන, දැනටමත් දියුණුවට පත් වුණු මිතුරෙක් ඉන්න පුලුවන්. එතකොට ඒ කෙනාගේ අත්දැකීම් අනුසාරයෙන් ලැබෙන උපදේශය අපේ ගමනටත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් එහෙම අවංකවම අපේ දියුණුවට උර දෙන, සෙල්ෆ් මේඩ් සාර්ථක මනුස්සයෙක් වීමේ අපේ ගමනට අත හිත දෙන මිනිස්සු ළඟ තියාගන්නවා වගේම, මෙතනදී තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි, තමන්ගේ දියුණුව වළක්වන, තමන්ගේ දියුණුවට බාධකයක් වෙන, තමන්ගෙන් උදව් ගන්න මිසක් වචනෙකින් වත් උදව් දෙන්න සූදානම් නැති ටොක්සික් යාළුවන්ව සහ බොරු හිතෛශීකම් පෙන්වන මිනිස්සුන්ව වහාම හලන එක.

10. ඔබේ සීමාව අහසටත් එහා

අවසානයට කියන්න ඕන කාරණය මේක තමයි. ස්වෝත්සාහයෙන් දියුණු වුණු සාර්ථක මනුස්සයෙක්, සෙල්ෆ් මේඩ් ලෙජන්ඩ් එකක් වෙන්න නම්, අපි අපිට කරන්න පුලුවන් දේ විශ්වාස කරන්න ඕන. අපේ සීමාවන් තියෙන්නේ ඇත්තටම අපි හිතන පතන ප්‍රමාණය කෙතරම් විශාලද කියන තැන කියන එක තේරුම් ගන්න ඕන. උදාහරණයක් ගමු. ඔන්න මට වයස අවුරුදු 40 යි කියමු. ජීවිතේට රචනාවක් ඇරෙන්න වෙන දෙයක් ලියලා නැති, ඒත් ලියන්න ආස, හැබැයි පොතක් ලියනවා කියන්නේ මොන වගේ වැඩක්ද කියලා මෙලෝ අවබෝධයක් නැති මම අද හිතනවා මට සාර්ථක ලේඛකයෙක් වෙන්න ඕන කියලා. ඉතින් අපි දැන්ම පටන් ගන්නවා. මුලින්ම අපි රිසර්ච් කරලා බලනවා පොතක් ලියනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක. එහෙම හොයලා බලලා, අද ඉඳන්ම දවසකට පොතකට පිටු ගාණක් කියවන්න, දවසකට යම් ප්‍රමාණයක් ලියන්න පටන් ගන්නවා. දැන් එහෙම වැඩේ යනකොට ආයෙමත් ඔය පොත් ප්‍රකාශකයෙක්ට දෙන්නෙක්ට එහෙම කතා කරලා බලනවා තමන්ගේ රටේ පොත් ප්‍රකාශනය කියන්නේ මොන වගේ වැඩක්ද, ඒක කොයි විදියටද වෙන්නේ කියලා. ඒ අතරේ දිගටම කියවනවා, දිගටම ලියනවා. දැන් ඔහොම කරගෙන කරගෙන යනකොට, එක දවසක පොතක් ලියවෙයි. හැබැයි ඒක කිසිම ප්‍රකාශකයෙක් පබ්ලිෂ් කරන්න අකමැති වෙයි. හැබැයි අපි එතනින් නවතින්නෙ නැතුව දිගටම ලියනවා නම්, ලියන දේවල් ඒ ගැන එක්ස්පර්ට් කට්ටියට දීලා අදහස් එහෙම දැනගෙන, ආයෙ ආයෙත් වැරදි හදාගෙන, ආයෙ ආයෙත් ලියනවා නම්, දවසක අපි අතින් විශිෂ්ට කෘතියක් බිහිවෙන්න අති විශාල ඉඩක් තියෙනවා. දැන් මේ කියපු ප්‍රොසෙස් එකට අවුරුදු පහක් දහයක් වුණත් යන්න පුලුවන්. හැබැයි අපි හිතුවොත්, අපිට ජාත්‍යන්තර ලේඛකයෙක් වෙන්න පවා පුළුවන්. ඇත්තටම අවශ්‍ය වෙන්නේ තමන්ගේ සීමාව කොයි තරම් ඈතට විහිදිලාද, අවශ්‍ය නම් හිතුවොත් තමන්ගේ හැකියාව, ශක්‍යතාවය සීමාරහිතයි කියන එක අවබෝධ කරගැනීම සහ විශ්වාස කිරීම තමයි!

දැන් මේ උපදෙස් ටික කියෙව්වා කියලා, එහෙම කියවලා ඒ ගැන සිහින දැක්කා කියලම දියුණු වෙන්නත් අමාරුයි. එතනින් එහාට ගියපු පුදුමාකාර කැපවීමක්, ඒ දේ ඉෂ්ට කරගන්නම ඕන කියන අධිෂ්ඨානයක්, තමන්ගේ අරමුණු කරා යා හැකි විනයක් සහ හොඳ චරිත ශක්තියක් ඒකට අවශ්‍යයි. ආන්න එතකොට දවසක මෝනිස් මුදලාලි, නවලෝක මුදලාලි, සිද්ධාලේප මුදලාලි ගැන කතා කරන විදියටම ඔයා ගැනත් මිනිස්සු කතා කරයි!

Leave a Reply

Your email address will not be published.