පුරාවිද්‍යාව කියන්නේ අපිට පාසලේදී සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ලැබෙන විෂයක්නම් නෙමෙයි. හැබැයි විෂයක් හැටියට ඉගෙන නොගත්තත් පුරාවිද්‍යාව කියන්නේ බොහෝ දෙනෙක් උනන්දු වෙන මාතෘකාවක්. කවුරුත් ආසයිනෙ අපේ රටේ පරණ දේවල් බලලා, තොරතුරු අහලා දැනගන්න. විශේෂයෙන්ම ලංකාව වගේ දිගු, ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක ජීවත් වෙනකොට බලන්න පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන බොහොමයි. අපිට වගේම අනාගත පරපුරටත් දකින්න මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම විශාල සේවයක්. ඒ පුරාවිද්‍යාත්මක උරුමය මනාලෙස කළමනාකරණය කරලා මතු පරපුරට දායක කිරීමේ දැක්මෙන්ම කටයුතු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නම් කෙරුණු, ඒත් අපේ අවධානය වැඩිපුර යොමු නොවුන, ඒ කිව්වෙ වැඩිය අහල හුරු පුරුදු නැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ලංකාවේ ස්ථාන කීපයක් ගැනයි මේ කතා කරන්න යන්නෙ.
1. ඇම්බැක්කේ අම්බලම
ඇම්බැක්කේ දේවාලය කිව්වමනම් අහල නැති කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම ප්‍රසිද්ධයි. හැබැයි මේ කියන්න යන්නෙ ඒ ප්‍රසිද්ධ දේවාලය ගැනනම් නෙමෙයි. මේ ඇම්බැක්ක අම්බලම තියෙන්නෙත් මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඒ ප්‍රසිද්ධ ඇම්බැක්ක දේවාලය අසලම තියෙන වෙල්යාය ළඟ. මේක ඇම්බැක්ක දේවාලය තරම්ම පරණයි කියල තමයි පොත පතේ සඳහන් වෙන්නේ. දැනටනම් අබලන් වෙලා ගල් කණුයි පාදමයි විතරයි ඉතුරු. ඒත් ඒ කාලෙ නම් අම්බලම ඉදිකරවපු සිව්වන බුවනෙකබාහු රජතුම පෙරහැර බැලුවෙත් “සිංහාසන මණ්ඩපය” කියල ප්‍රසිද්ධ වෙලා තිබුන මේ අම්බලමේ ඉඳල කියල තමයි කියන්නෙ.
2. ගලබැද්ද
ගලබැද්ද කියන්නෙ නටබුන් වෙච්ච මාළිගා ගොඩනැගිල්ලක්. මොණරාගල ගලබැද්ද ග්‍රාමයේ තමයි පිහිටලා තියෙන්නෙ. හරියටම කිව්වොත් මොණරාගල පොතුවිල් මාර්ගයේ දෙවෙනි සැතපුම් කණුව අසල. පොලොන්නරුවේ මාළිගය, පඬුවස්නුවර මාළිගය කියන මාළිගා වල සැලසුම් වලට සමානකම් දක්වන ලක්ෂණ තිබුනත් ප්‍රමාණයෙන් කුඩා නිසාම මේ මාළිගය අම්පාර රජගල ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය පාලකයෙකුට අයිති වෙලා තිබුන මාළිගාවක් කියල තමයි සැක කරන්නෙ. පරණ දිය අගලකිනුයි ප්‍රාකාරයකිනුයි වටවුන මේ මාලිගාවේ දාගැබක සහ පිළිම ගෙයක අවශේෂ දකින්න පුළුවන්. ඒ වගේම ඒ මාළිගා ගොඩනැගිල්ලට ආසන්න ප්‍රදේශයේම ප්‍රකාරයකින් වටවුන ශිලාමය පොකුණකුත් දැකගන්න පුළුවන්.
3. මල්විල පුරාවිද්‍යා රක්ෂිතය
මල්විල කියන්නෙත් වැඩිය අහන්න නොලැබෙන පුරාවිද්‍යා රක්ෂිත භූමියක්. ජනප්‍රවාද වල සඳහන් වෙන්නෙ සාලිය කුමරු විසින් කරවපු විහාරයක් කියලයි. මේ භුමිය ඇතුලේ නටබුන් වුණු දාගැබක්, ගල් කුළුණු, සහන ගොඩනැගිලි තුනක්, බෝධිඝරයක්, ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්, සඳකඩපහන්, කොරවක්ගල් සහිත පියගැට පෙළක් කියන දේවල් දකින්න පුළුවන්. පිහිටලා තියෙන්නෙ වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඩිපුව කියන ග්‍රාම නිලධාරී වසමේ සාලියපුර ගම්මානයේ.
4. මුල්ගිරිගල රජමහා විහාරය
මුල්කිරිගල රජමහා විහාරය කිව්වමනම් ඕනෑම කෙනෙක් අහල ඇතිනේ. මේ කියන්නේ හම්බන්තොට බෙලිඅත්ත ග්‍රාමයේ පිහිටලා තියෙන ඒ ප්‍රසිද්ධ මුල්කිරිගල ගැනනම් නෙමෙයි. මුල්ගිරිගල කියන්නේ වෙනම පුරාවිද්‍යා ස්ථානයක්. ලඟින් යන නමක් තිබ්බට මේ සෑහෙන්න දුරකින් ස්ථාන දෙකක පිහිටලා තියෙන තැන් දෙකක්. අපි මේ කතා කරන මුල්ගිරිගල පිහිටලා තියෙන්නෙ පුත්තලම, නවගත්තේගම, මුල්ලීගම කියන ගමේ. දප්පුල කියන රජතුමා විසින් කරවූවක් කියල ජනප්‍රවාද වල සඳහන් වෙන මේ විහාර භුමියේ චෛත්‍යයනම් මේ වනවිට කීප වතාවක්ම ප්‍රතිසංස්කරණයට ලක්කරලා තියෙනවා. ඒ වගේම පසුකාලීනව අලුත්වැඩියා කරපු ආරාම සංකීර්ණයට අයත් ආවාස ගෘහයත් අදටත් භාවිතා කෙරෙනවා. ඊට අමතරව ශිලා ලේඛන සහ ගල්ලෙන් සමූහයකුත් මේ භූමියේදී දැකගන්න පුළුවන්.
5. රාජකුලවඩන විහාරය
පොළොන්නරු යුගයේ කල්‍යාණවතී රාජ්‍ය සමයේ හිටපු සෙන්පතියෙකු විසින් කරවපු පිරිවෙනක් කියලයි මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානය සැලකෙන්නේ. මේ විහාරය ගැන කෝකිල සන්දේශයෙත් කරුණු සඳහන් වෙනවා කියල කියනවා. මේ රජකුලවඩන විහාරය පිහිටලා තියෙන්නේ වැලිගම නගරයේ. වැලිගම අග්‍රබෝධි විහාරයේම කොටසක් විදිහට තමයි දැනට සැලකෙන්නේ. හිටපු අමාත්‍ය සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මහතාගේ මැදිහත් වීමෙන් පසුකාලීනව මේ වැලිගම අග්‍රබෝධි විහාරය ඇතුළුව රජකුලවඩන විහාරයත් දියුණු කරන්න කටයුතු කෙරිලා තියෙනවා.
6. වෙලේකඩේ පැරණි වෙළඳපොල
මේ වෙළඳපල පිහිටලා තියෙන්නෙ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහා රෝහල අසල. 1818 උඩරට ගිවිසුමෙන් පස්සේ ඉංග්‍රීසින් විසින් බදුල්ල නගරයේ හැදුව මේ විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ලංකාවේ ඉදිකළ පළමු නිදහස් වෙළඳ ගොඩනැගිල්ල හැටියටයි සැලකෙන්නේ. වෙල්යායක් ආසන්නයේ ඉදිකරලා තියෙන නිසයි වෙලේකඩේ යනුවෙන් හැඳින්වෙන්නෙ. අෂ්ටාකාර හැඩය සහිත මැද මිදුලක්, පිවිසුම් දොරටු හතරක් ඇතුළු විශිෂ්ට ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යා වගේම වාස්තු විද්‍යා වටිනාකමකිනුත් යුක්ත ස්ථානයක් විදිහට තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කරලා තියෙන්නේ.
7. වෙල්ගම් වෙහෙර
වෙල්ගම් වෙහෙර කියන්නෙත් වැඩිය අහල නැති උනාට ලොකු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක්. පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ කට්ටුකුලම්පත්තුව පෙරියකුලම ගම්මානයේ. මේක බෞද්ධ විහාරයක්. ලංකාවේ දෙමළ බසින් ලියවුන ශිලාලේඛන දකින්න තියෙන්නේ බොහොම සුළු ස්ථාන කිහිපයක පමණයි. මේ වෙල්ගම් වෙහෙර කියන්නේ ඒ ස්ථාන කිහිපයෙන් එකක්. මේ විහාරය ද්‍රවිඩ බෞද්ධයින් වන්දනාමාන සඳහා භාවිතා කළ ස්ථානයක් බවයි සඳහන් වෙන්නේ. පසුකාලීනව කැලෑ වැදුන මේ ප්‍රදේශය ද්‍රවිඩ ගම්වාසීන් ඊශ්වර දේවාලයක නටබුන් ලෙස සලකලා නතනාර් කෝවිල් ලෙස හඳුන්වමින් ඉඳලා තියෙනවා. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහත්මයාගේ මැදිහත් වීමෙන් කරපු පරීක්ෂණ හරහා සොයාගත්ත සෙල්ලිපි වලින් තමයි මේ වෙල්ගම් වෙහෙර කියන බෞද්ධ විහාරස්ථානය බව තහවුරු කරගෙන තියෙන්නෙ. මේ වෙල්ගම් වෙහෙර විහාරභුමිය ඇතුලේ නටබුන් වූ දාගැබ් තුනක්, හින්දු කෝවිල් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන පිළිම ගෙයක් සහ ශිලා ලිපි විශාල සංඛ්‍යාවකුත් පිහිටලා තියෙනවා.
Leave a Reply