මිනිස්සු මහන්සි වෙන්නෙ සතුටින් ජීවත්වෙන්න. ඒත් ඒ සතුට, මහන්සියෙන් උපයපු දෙයක් නැතිවුනොත් එහෙම්මම නැතිවෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසාම මිනිස්සු මහන්සියෙන් උපයපු දේ ආරක්ෂා කරගන්න ඕන. අපි මෙතනදි ආරක්ෂා කරගන්න උපදෙස් දෙන්නෙ ආභරණ වගේ දේවල් නෙමෙයි. සෘජුවම මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දේයි. මොකද ඔබ නොසිතන කිලෝබයිට් එකොළහක ෆයිල් එකක් අහිමි වීමම මේ වර්තමාන ස්මාට් සමාජයේදි ඔබේ මුළු අනාගතයම අඳුරේ හෙළන්නට ඉඩ තියෙනවා.
1. ස්මාට්වෙන්න

Image Source – digitaltrends.com
ස්මාට්ෆෝනය ස්මාට් වුනාටම වැඩක් නෑ. භාවිතා කරන ඔබත් ස්මාට්වෙන්න ඕනමයි. ෆෝන් එක ඔබේ අතපසුවීමකින් කොහේ හෝ දමා පැමිණියොත් එය හිත හොඳ මිනිසෙකුට ලැබෙන්නත් ඉඩක් තිබෙනවා. එනිසා ඔබේ ස්මාට්ෆෝනයේ ලොක් ස්ක්‍රීන් එකට නෝට් එකක් යොදන්න. එහි අස්ථානගතවී හමුවුවොත් දැනුම් දෙන්නට අංකයක් ලබාදෙන්න. එසේම ගූග්ල් හරහා ලබාදෙන ෆයින්ඩ් මයි ෆෝන් පහසුකම ක්‍රියාත්මක කරන්න. ඔබේ ස්මාට්ෆෝනයේ එමි අංකය ඔබ අසල තබාගන්න. එය පොලිස් පැමිණිල්ලකදී ඔබට අත්‍යවශ්‍ය වන්නක්. වෙනත් අයෙකු වැරදි පාස්වර්ඩ් එකක් ඇතුළු කළහොත් ඔවුන්ගේ ඡායාරූපය ග්‍රහණය කරගන්නා ඇප් එකක් ස්මාට්ෆෝනයට යොදන්න.
2. කාර් ලොකේටර් එකක්

Image Source – amazon.com
ජීපීඑස් හරහා ක්‍රියාත්මක වන වයර්ලස් කාර් ලොකේටර් එකක් ඔබේ මෝටර් රථයේ නොපෙනෙන තැනක රඳවා තැබීම මගින් යම් අයෙකු ඔබේ මෝටර් රථය සොරකම් කළහොත් එය ඇති ස්ථානය ඔබේ ස්මාට්ෆෝනයට ලබාගන්න හැකිවේවි. ඒ වෙනුවෙන් ලාබදායී උපාංගයක් ඊබේ හරහා මිලට ගෙන භාවිතා කරනවා වෙනුවට ආරක්ෂාව සහතික කරන, වගකීමක් ඇති සමාගමකින් එම උපාංගය මිලදීගන්න. එය මෝටර් රථයකට පමණක් නොව ලැප්ටොප් බෑග් එකකට වැනි වෙනත් වටිනා යමකට වුවත් ආරක්ෂිත පියවරක් ලෙසින් භාවිතා කරන්නට ඔබට හැකියාව තිබෙනවා.
3. පෙන් ඩ්‍රයිවු එකට නෝට් එකක්

Image Source – pl.aliexpress.com
පෙන් ඩ්‍රයිවු කියන්නෙ අති සාමාන්‍ය මුදලකට ගන්න තියෙන, හැමදෙනා අතේම තියෙන අති සාමාන්‍ය ගැජට් එකක්. එනිසා පෙන්ඩ්‍රයිවු එකක් හොරකම් කිරීමක් සිද්ධ වෙන්නෙ අතිශය කලාතුරකින්. මේ නිසා අනිවාර්යෙන්ම පෙන්ඩ්‍රයිවු එකේ පිටත ඔබේ දුරකතන අංකය වගේම, ස්ටෝරේජ් එක තුළත් ඔබේ දත්ත ඇතුළත් කුඩා නෝට් එකක් සේවු කර තබන්න. එවිට එය ලැබෙන පුද්ගලයා ඔබට එය ඇති තැන දන්වාවි. එසේම පෙන්ඩ්‍රයිවු එකේ ඇති ඔබේ වැදගත් තොරතුරු මුරපදයක් යොදා ආරක්ෂණය කරන්න. පහසුවෙන්ම නැතිවීමට ඇති උපාංගයක ඔබේ වටිනා දත්ත ගෙනයාමේදී හැකිතරම් පරෙස්සම් වෙන්න.
4. ගෙදරට කැමරා

Image Source – medium.com
ඔබේ නිවසට සීසීටීවී කැමරා සවිකිරීම අනවශ්‍ය වියදමක් ලෙසින් ඔබට දැනෙන්නට පුළුවන්. එසේම එයින් අනවශ්‍ය අවධානයක් නිවසට ඇතිවෙන්නත් පුළුවන්. එනිසා නිවස තුළට අංශක 360 ක්‍රියාත්මක වන වයිෆයි හරහා පාලනය කළ හැකි සරළ කැමරා සවි කරන්න. එය ඔබට සොරසතුරු උවදුරුවලට සාක්ෂි ලෙසිනුත්, නිවසේ සිටින කුඩාදරුවන් ගැන පරිස්සම් වෙන්නට වගේම සුරතල් සතුන් ගැන ඇස දවටාගෙන සිටින්නත් ප්‍රයෝජනවත් වේවි.
5. කාඩ් හැක්ස්

Image Source – howkidscanearnmoney.com
කිසිම මොහොතක ඔබ එදිනෙදා ගනුදෙනු වලට භාවිතා කරන බැංකු කාඩ්පත සමග එහි රහස්‍ය අංකය රඳවා තබන්නට එපා. ඒ වගේම එය අස්ථාන ගත වුවහොත් කල් නොයවා බැංකුව දැනුවත් කරන්නට පියවර ගන්න. එලෙසම ඔබේ කාඩ්පත ඩෙබිට් කාඩ්පතක් නම් ඔබේ ඉතුරුම් ගිණුමේ සියළු මුදල් වෙත ඒ හරහා පිවිසුමකට ඉඩ දෙන්න එපා. එනිසා එදිනෙදා භාවිතයට ගිණුමක් අරඹා එම කාඩ්පත ඔබ අතේ තබාගන්නටත්, ඉතුරුම් ගිණුමක් වෙනම පවත්වාගෙන යෑමටත් ක්‍රියාකරන්න.
6. බැක්පැක් එකට ලොක් එකක්

Image Source – blog.tortugabackpacks.com
බැක්පැක් එකක් කියන්නෙ තරුණයෙකුගේ බොහෝ වටිනා දේ තියෙන තැනක්. එනිසා අනිවාර්යෙන්ම බැක්පැක් එකට ලොක් එකක් භාවිතා කරන්න. එය ඔබට කරදරයක් යැයි සිතා භාවිතා නොකර නොසිට, සෑම විටකම ගමනාගමනයේ යෙදෙද්දී අගුළු ලා තබන්න. එසේම මෝටර් රථයකට යොදාගත හැකි ලොකේටර් එකක් බැක්පැක් එක වෙනුවෙනුත් භාවිතා කරන්න. ඔබට බෑගයේ සිපර්ස් කීපයක් ඈඳා ලොක් එක දැමීමටත් හැකියාව තිබෙනවා. එනිසා දිගු කොක්කක් ඇති ලොකර් එකක් මිලට ගන්න.
7. ඉන්ෂුවරන්ස්

Image Source – moneysense.ca
මෙය අති සාර්ථක ක්‍රමයක්. ඔබේ තාක්ෂණික උපාංග අතිශයින් මිල අධික ඒවානම්, ඒවා රක්ෂණය කර තැබීම ඔබේ හිතට නිදහසක්. හදිසි අනතුරකින් කැඩී බිඳීමකට ලක්වුවහොත්, අකුණු අනතුරක් සිදුවුවහොත්, සොරකම් කිරීමකට ලක් වුවහොත් ඔබට සිදුවන පාඩුව මගහරවා ගන්නට ඔබට එය ප්‍රයෝජනවත් වේවි. ඔබට ඒ වෙනුවෙන් මාස්පතා කරන වියදම දැරිය නොහැකි යැයි හැඟෙන්නට ඉඩ තිබුනත්, ඔබේ වටිනා උපාංගයකට සිදුවන අනතුරකින් පසු ඒ හැඟීම නැතිවී යාවි.
Cover Image Source -accenture.com
Leave a Reply