පොඩ්ඩො සම්බන්ධයෙන් අම්මලාගෙ තියෙන ලොකුම නෝක්කාඩුව මොකද්ද? ඒ තමයි අපේ එකානං කන්නෙ නෑ කියන එක. මේ නිසාම අම්මලා තමන්ගෙ දරුවන් නොකන එකට දඬුවම් කිරීමත් බොහෝවිට දකින්නට පුළුවන්. ඒ නිසාම අපි අද කියන්නෙ කද්දි කරදර කරන ඔබේ පොඩ්ඩට කවාගන්න සැළසුම් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. මේ කතාවේ බොහොමයක් තැන් අදාළ වෙන්නෙ අවුරුද්දකට වඩා වැඩි වයසක ඉන්න, යම් දැනුමක් තේරුමක් තියෙන බබාලට විත්තියත් මතක් කරන්නම උවමනායි.
1. රස වෙනසක්
පොඩ්ඩා කෑමට අදිමදි කරන්නෙ එකම දේ කාලා එපා වෙලා වෙන්නත් පුළුවන්. ඒ නිසා හැකි සෑම වෙලාවකම පොඩ්ඩාට වෙනස් රසයන්ගේ කෑම වර්ග හදා දෙන්න අම්මලාට පුළුවන්. හැමදාම හදන එළවලු නැතුව අලුත් එළවලු වගේම අන්තර්ජාලයෙන් සොයාගන්නා රෙසිපිවලින් අලුත් රසයක් දිවට දැනෙන ආහාර පොඩ්ඩාට දෙන්න. හැම මොහොතකම කෑමවල විවිධත්වයක් තියාගන්න එකත් ලේසියක්. එතකොට එකම දේ දවසක් ඇර දවසක් දුන්නත් පොඩ්ඩා බෑ නොකියා කාවි. පොඩ්ඩාට කවන්න පුළුවන් අලුත් දේවල් මොනවාද කියලා දොස්තර මහතෙකුගෙන් විමසා දැනගන්න.
2. අවුලක් ද?
පොඩ්ඩන්ගේ ලෙඩ රෝගවලට දෙන බෙහෙත් නිසාත් පොඩ්ඩන්ට කෑම අරුචිය ඇති වෙන්නට පුළුවන්. ඒවගේම අලුතෙන් දත් එද්දී පොඩ්ඩන්ට අපහසුතා ඇතිවෙන්නට පුළුවන් වගේම පොඩ්ඩන්ගේ රෝගී තත්ත්වයක් නිසාත් මේ දේ වෙන්න පුළුවන්. එනිසා කෑම නොකන එක ගැන පොඩ්ඩාට බනින්න, ගහන්න හෝ සැර කරන්න කලින් පොඩ්ඩා අපහසුවකින් සිටිනවාද කියා සැළකිලිමත් වෙන්න. එය නුවණට හුරුයි.
3. නිවු ලුක්
පොඩ්ඩාගේ ඇහැට වෙනසක් විදියට දැනෙන කෑමක් හැදීමත් හොඳ උත්සාහයක්. හැමදාම කන කැරට් වුනත් පොඩ්ඩාට වෙනස් විදිවලට සකසා දෙන්න. කැරට්වලින් යම් නිර්මාණයක් කරන්න. එම නිර්මාණශීලීත්වය පොඩ්ඩාට නොදැනුවත්වම කෑම එකට තියෙන ආශාව වැඩි කරවන්නට සමත් වේවි. හැම විටම වර්ණ සංයෝජනයක් සකසන කෑම එතුළ තබාගැනීමත් වැදගත්. පොඩ්ඩන් විවිධ වූ පාට තියෙනවාට කැමතියි. ඔවුන්ගේ ඒ අවශ්‍යතාවය සැපිරීම පහසුවෙන්ම ඔවුන්ගේ කුස පිරවිය හැකි ක්‍රමයක්.
4. කළු කපුටෙක්
පොඩ්ඩා යම් තරමකට මුරණ්ඩු වෙලා කෑම නොකා ඉන්නවානම් ඒ මොහොතේ හැටියට පොඩ්ඩාගේ අවධානය වෙනතකට හරවන්න දෙමවුපියන්ට පුළුවන් විය යුතුමයි. තැනේ හැටියට ඇණේ ගහනව කියන්නෙ ඒකනෙ. පොඩ්ඩාට සතෙක්ව පෙන්නන්න. පොඩ්ඩාව කිති කැවීමක් හෝ සුරතල් කිරීම් කරන්න. ඔබේ උත්සාහය පොඩ්ඩාගේ කුස පුරවන්නට බව පොඩ්ඩාට අමතක කරවන්න. ඉන්පසු ඔබේ පොඩ්ඩා ආහාර ගැනීම මගහරින්නට දරණ උත්සාහය අත්හැර දමාවි.
5. කතා බහක්
ඔබේ දරුවා තනියෙන් පිඟානක් අතට ගෙන ආහාර ගන්නා දරුවෙකු වුවත්, ඔබ විසින් කවන දරුවෙකු වුවත් කවන අතරතුර ඔබේ අවධානය ජංගම දුරකතනයකට හෝ වෙන යමකට කොටු වෙන්නට දෙන්නට එපා. හැම තිස්සේම දරුවා සමග කතාකරන්න. ආහාර ගන්නා අතරතුර කතාව ආකර්ෂණීය කරගන්නට ඔබට පුළුවන්. බත් පිඟානේ තියෙන එළවළුවල පාට ගැන පොඩ්ඩාගෙන් ප්‍රශ්න අහන්න. මේ ආහාර නිසා පොඩ්ඩාට ලොකු වෙලා කරන්න පුළුවන් වැඩ ගැන කතන්දර කියාදෙන්න.
6. පිඟානක්
පොඩ්ඩෙකුගේ කෑම පිඟානක් කියන්නෙ මහා ලොකු වියදමක් දරන්නට සිදු වන දෙයක් නොවෙයි. එනිසා පොඩ්ඩෙකුට කෑම පිඟන් දෙක තුනක් තබාගන්නට හෝ කෙටි කලකට වරක් එක් පිඟානක් සඟවා තබා අනෙකක් මාරු කරන්නට පුළුවන්. පිඟානේ අවධානයට පොඩ්ඩා නතු කරවාගන්නට පුළුවන්. පිඟාන සම්බන්ධ ක්‍රියාකාරකමක් දෙකක් පොඩ්ඩා එක්ක කරන්නත් පුළුවන්. ඒ හා බැඳෙන පොඩ්ඩා නිසැකවම ආහාර ගන්නටත් පෙළඹේවි.
7. පෙර සූදානමක්
පොඩ්ඩන්ගේ ප්‍රධාන ආහාර වේල ගැන දෙමවුපියන් හොඳ අවධානයකින් සිටිය යුතුමයි. පොඩ්ඩන් ප්‍රධාන ආහාර වේලක් ගන්නට ආසන්න අවස්ථාවකදී කිසිම විටක ජලය, කිරි හෝ බනිස් වැනි වෙනත් කෙටි ආහාර ලබාදෙන්නට එපා. නොයෙක් වූ කෙටි ආහාරවලට වඩා වටිනාකම ඇත්තේ ප්‍රධාන ආහාරයේයි. එනිසා යම් කිසි වේලාවක් කුසගින්නේ සිට පොඩ්ඩා ආශාවෙන් කෑම කන්න වාඩිවේවි. ඒවගේම කෙටි කාලයක් කුසට අහරක් නොමැතිව සිටියාට පොඩ්ඩෙකුට කිසිඳු හානියක් වෙන්නේ නෑ. එයින් පසුව පෝෂණීය ආහාර වේලක් ඔවුන් විසින් ආශාවෙන් ආහාරයට ගැනීමේ සතුට මවුපියන්ට නිතැතින්ම හිමිවේවි.
නමුත් ඔබත් සමග තරහකින් හෝ අමනාපයකින් කෑම මගහරින පොඩ්ඩාට ඔහු කන්නට කැමති පෝෂණීය පළතුරකින් සැළකිය යුතු තරමක් කවා එක් ප්‍රධාන වේලක් මගහරවා ගන්නටත් හැකියාව තිබෙනවා. නමුත් මෙම තත්ත්වය සැමවිටෙකුම සිදු නොවන්නටත් දෙමවුපියන් වගබලාගත යුතුමයි.
Cover Image Source – twitter.com / youtube.com / huffpost.com
Leave a Reply